සාමාන්‍ය

අකල් මිනිසා

උදෑසන අවදිව සරසවි යාමේ අදිටනින් නින්දට ගිය මා, අලුයම දැනුනු අධික ශීතල නිසාවෙන් ඉබේම ඇහැරිණි. අපහසුවෙන් දෑස් විවර කලද, පොරෝනාවෙන් පිටතට ඒමට තරම් සවිමත් පණක් ගත සතු නොවූ නිසාවෙන්, සයනය මත සිටම, තත්වය කුමක් වුවත් මවට හඬ ගෑමේ ජන්ම පුරුද්ද නිසාවෙන් හැකි වෙර යොදා මව ඇමිතීමි. සයනයේ අනෙක් පස වූ නැඟණිය බඹ හත අටක් උඩ ගොස් ඇඳේ ඉන්දවන අයුරු කවුළු දොරින් එන්නා වූ මද ආලෝකයෙන් නෙත ගැටුන ද, ඒ සඳහා අවධානය යොමු කිරීමට තරම් යහපත් මානසිකත්වයක් මා සතු නොවීය. නොතේරුණු නමුත්, කුමක් හෝ අඬ නින්දෙන් කියවූ ඈ, නැවතත් අනෙක් පස හැරී නිදන්නට විණි. පරිපූර්ණ අත්දැකීම් පූර්වව අත් විඳ ඇති මා, ඒ ගැන වැඩිපුර තැකීමට නොගියේ කියූ දේ කුමක් වුවත් අවස්ථානුකූලව එය ආශිර්වාදාත්මක වදනක් නොවිය හැකි බව සක් සුදක් සේ පැහැදිලි වූ නිසාවෙනි.

හඬ ගෑමේ සඵලත්වය මත මවගේ තනියට පියාණන් ද පසෙකින් විය. අපහසුවෙන් නමුත් අහිංසක සිනාවක් මුවඟ දවටා ගෙන පොරෝනාව තුලටම ගුලිව සිටියේ මහ පාන්දර හඬලන කුකුළාගේ රාජකාරිය මා විසින් බාර ගෙන ඉටු කරලීම නිසාවෙන්, පියාණන්ගෙන් ඇසීමට සිදුවන දීර්ඝ දේශනයෙන් බේරීමටය. දඟ වැඩ හමුවේ කෙතරම් බැනුම් ඇසුව ද නවතම මාදිලියේ දඟ වැඩක් සමඟ නැවතත් කරලියට පැමිණීමේ පුරුද්ද තවමත් කුඩා කල පරිද්දෙන්ම මා සතුවන නිසාවෙන් පිහිටට සිටින එකම වස්තුව වන්නේ ද උපතින්ම සතු වූ සිනහවයි. එය ආධාරයෙන් මෙවරද මා දීර්ඝ දේශනයෙන් ගැලවුණි. සිටි තත්වය වහා වටහා ගත් මව, නළලට අත තබා බලා උණෙන් වෙව්ලමින් පීඩා විඳිමින් සිටි මා හට සුපුරුදු පරිදි අවශ්‍ය කරන්නා වූ සාත්තු සප්පායම් කටයුතු සිදු කිරීම ඇරඹීය. පියාණන් ද පසෙකට වී අවශ්‍ය කළමණා සපයන්නට විණි. නැගණිය තවමත් සුව නින්දේය. මවගේත් පියාගේත් සාත්තු සප්පායම් මැද මා ද හෝරා හය හතක සුව නින්දකට පසුව අවදි වීමි.

ඒ වන විටත් නැගණිය පාසල් ගොස් සිටි අතර පියාණන් ද සුපුරුදු පරිදි රැකියාවට ගොස් පැවතිණි. දණි පණි ගා ඇඳෙන් නැගිට ගත් මා බිත්ති ඔරලෝසුව දෙස බැලූයේ ඒ වන විටත් නිදන කාමරය හොඳ හැටි උදෑසන සූර්යාලෝකයෙන් ඒකාලෝකමත්ව තිබූ නිසාවෙනි.

දුටු දෙයින් දෙලොව රත් විය. බිත්ති ඔරලෝසුවේ උදෑසන අට පසුව විනාඩි හතලිස් පහක් සටහන්ව තිබුණි. දැන් ඉතින් වාෂ්ප වූවොත් මිස විභාගය සඳහා පෙනී සිටීමට වෙනත් කිසිඳු අවස්ථාවක් නොවිණි. දෙදිනක මහන්සියත්, නිදි වර්ජිත ද්විත්ව රැයත් ගඟට කැපූ ඉනි මෙන් ඵල රහිත විය. සමාසිකයක් වෙනුවෙන් මහන්සි වූ දෙදින අපරාදේ ය. කළ හැකි කිසිවක් ද නොවූ නිසාවෙන් මව හා රජයේ රෝහලට ගොස් ඖෂධ ද ගෙන, වෛද්‍ය වාර්තාවක්ද රැගෙන ලබන වර විභාගයට පෙනී සිටීමට තීරණය කළෙමි.

සියලු කටයුතු අවසානයේ රෝහල් භූමියෙන් පිට වීමට ආ අප දෙදෙන, හදිසියේ ආ ත්‍රී රෝද රථයක් නිසාවෙන් පසෙකට වීමි. රුධිරයෙන් නැහැවුණු විසි වියැති පමණ වූ තරුණයකු සමඟ වයෝවෘධ වූ මවක් රථයේ විය. රථයෙන් පිටතට ගත් සැණින් තරුණයාගේ හිස කඩා වැටුණු අයුරින් ඔහුගේ අවසන් සුසුම් වා තලය සිපගත් බව අවට සිටි සියල්ලන්ටම පැහැදිලි විය. වයෝවෘධ කාන්තාව දෑත් ගුවනට දිගුකර හඬ නගා දෙවියන් යදිමින් වේදනාවෙන් හඬන්නට විණි. මවකගේ වේදනාවට, අවට සිටියවුන් ද සහකම්පිත විය. මද වේලාවකින් හැඬූ කඳුලින්ම සංසුන් වූ ඈ, නිහඬ වූ පසු ඈ අසලට මමද මව හා කැටිව ගියෙමි.

ඈ සතු වූ කතාව, චිත්තාභ්‍යන්තරයෙන් ගෙතූ කතාවට කිසිසේත් ආදේශ කළ නොහැක්කක් විණි. ඈ ඔහුගේ මෑණියන් නොවූ අතර මහ මග හුවමාරු වීමට අපහසුව සිටි ඈ හට අත දී, ඇයව මග හුවමාරු කළ නන්නාඳුනන තරුණයා ඔහු විය. ඈ හට සහය වී ආපසු හැරුණු ඔහු අනෙක් පසින් ආ ලොරි රථයට බිල්ලක් වී ඇත්තේ වයෝවෘධ මාතාවගේ දෑස් පනාපිටදීම ය. දරා ගත නොහැකි සොවින් ඈ හඬා වැළපී ඇත්තේ ඒ කාරණය කරණ කොට ගනිමිනි.

සොබාදම් නිර්ණය මත අවසන් ගමන් ගිය ද, ඔහු මනුෂ්‍යයකු ලෙසින් විශිෂ්ටයෙකු විය යුතු බව සත්‍යයකි. පෙර හැඳුනුමක් නොමැති වුවද ඔහුගේ ක්‍රියාවට උපහාර පිණිස මා හදවතින්ම ඔහු වෙනුවෙන් නිවන ප්‍රාර්ථනා කළෙමි. අකල් මරණයක් වුව ද, මිය යන මොහොතේ පවා ඵලදායි යමක් කිරීමට තරම් ඔහු කෙතරම් පුණ්‍යවන්ත වන්නට ඇත්දැයි සිත් කීය. උක්ත සිදුවීම තැන්පත් වූ සිතත් සමඟ, නැවතත් නිවස කරා පැමිණි මා, සයනයට වී විවේක සුව අත් විඳින අතරතුර, එය මෙසේ දුරකතන තිරය මත රචිත කරවීය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment