Colombo Beacon සාමාන්‍ය

අගුපිලේ සාගින්න…

හැත්තෑ හතර වසරක්
උඹට මට යහපත් රටක් යැයි පවසමින් කුකුළන් මෙන් 
පොර කමින්…
ඌරන් සේ මඩ නාමින්
සෑදූවාලූ  සුඛිත මුදිත පුරවරයක්…

කලක් ඇවෑමෙන් බොහෝ දුබලතා මැද  
පුරවරයට අඩිය තැබු මා… 
දැක්කා මුල්ලකට සඟවා තැබූ අගුපිලක්…
සෙමෙන් යන්නට වුණා ඒ දෙසට 
මෙන්න එහි මිනිසුන් 
නමුත් පුරවරයෙහි මෙන් නොව 
බඩ පිටපොත්තටම ඇලී ගොස් ඇත…

සාගතයක්ලු…

දුක්මුසු බැල්මක් මා වෙත හෙළමින් මගේ මව් වැනි කතක් 
තෙරක් නොපෙනෙන හිස් අහස තුළ දෑස් ගිල්වාගෙනම හති අරින්නට වුණා…
අනේ..! ඒ දෑස් තුළ කඳුළු
මදක් බලා හිඳි මා ද තිබූ  විඩාව නිවී තිබුණෙන් ඇදුනි නැවතත් ඉදිරියට…

ඉදිරියෙන් හිඳිනවා කොලු රැලක්
ඉරී ගිය කඩමළු හැඳ ගත්…
කලකින් කෑමක් දැකි කෑදර ගිජු ලිහිණි කැලක් මෙන්…
මෙන්න ඇදෙනවා මගේ වට…
විටෙක දෑස් විසල් කරමින් හකුළුවමින්…
ටිකකින් අයෙකු දෙදෙනෙකු හා සමඟ කතාබහක්…

දූවිලි තැවරුණු දෑත් ගසමින් කුඩා කොලු ගැටයෙක් දැවටෙමින් මා අසළ…
දිගු කරන්නට විය දෑත…

මොකද මේ…
මගේ දෑසත් පුදුමෙන් මුව අයා…
කඩමළු දෑතින් තෙරපමින් දූලි පිරි මුව මත සිනහ මලක් හිටිවනම…

“ඔයාද නිදහස?”

ඔහුගෙන් පැනයක්… 
නෑ ,මම නෙවෙයි ඒ.
පැනයට පිළිතුරු මගෙන්… 
ඒත්,
සිනහ මල පිරි ඒ මුව මුකුලිත වූවා සැනින්…

ඇයි මේ…
අපුල බව පසෙකින් තබා තුරුළු කරගතිමි ඔහුව මම…
ආයෙත් ඉන්න වෙයි නේද තව කාලයක්…

“ඒ මොකටද?”

“නිදහස එනකල්…”
නිදහස ඒවිද… ඉක්මනට
ඒ පැනය මගෙන්.
“ඔව් ඒවි… ඒත්,”

“ඇයි ඒත්?”

කරනවද එක ප්‍රාර්ථනාවක්…

“ඒ මොකද්ද?”

බඩගිනි දැනෙන්නෙපා කියලා 
විසල් කරමින් මගේ දෑස් ඔහු වචන ගලපනවා ඉක්මනට.
ඉක්මනින් පැන මගේ තුරුලින් දිවගියා පසෙකට බිරාන්තර වූ මුවෙන්
වලාවක් දූවිලි කැත කළු පැහැයෙන්…

බේරීමට මමත් පැන්නා පසෙකට…
විසිව ගොස් වැටුණේ තවත් අගු පිලක  දොරක් අභියසට…
ඇසෙනවා කසුකුසුවක් ඇතුළින්…
හනික නැගිටගත් මා දිව ගියා දොර හැර කුටිය තුළට…
සිනාමුසු මුවින් බලා හිඳිනවා ඔවුන්…
අයකු පැමිණෙන්න යැයි ඉඟි කරමින් මා වෙතට දිගු කළා දෑතක්…

“එකතු වෙන්න අපිට …..”

“මොකටද?”

“ශක්තිමත් කරන්න ඇතෙක් වගේ හයියට අපේ හඬ…”

“ලැබෙන්නේ මොනවාද මට?”

“මට නෙවෙයි අපිට… 
ඒකයි හරිම වචනෙ.
ඒක අයෙක් සිනා සෙමින් මගේ හිස පිරිමදිනවා.”

“මොනවද අපිට ලැබෙන්නේ?”

“අමන රැලගෙන් ගැලවෙන්න.
මඩ නාන ඌරා එළවන්න අපේ පුරවරයෙන්, සීමා මායිම් බිඳින්නත්…”
ඒ තවත් අයෙක්.

“අපේ නිදහස”

“නිදහස, එසේ මිමිණූ මට මතක් වුණේ කඩමළු දරුවගෙ වචන ප්‍රාර්ථනාව
දෙවරක් නොහිතාම නැගී හිඳිමින් මම එකඟ වූවා ඔවුනට 
මට නැතත් ඔහුට වටීවි එය…
“එකතුයි මම ඔබලාට…..”
පවසමින් නැගී හිඳියෙ දිවයන්ට, පෙර හමු වූ ඔහු සොයා…

“කොහෙද යන්නේ?”

“කියන්න,ප්‍රාර්ථනාව ළගදීම ඉෂ්ට වෙනවා කියල…”

දිවගියත් පුරුදු පාරවල් දිගේ මං
කුඩා කොලුගැටයා සොයා
තවම නෑ මුණගැහුනෙ 

ඉදිරියෙන් කෑ ගසන
ලඳක දුටිමි මම, හිස අත තබා
මගේ කකුල්ද ඒ දිහාවට

දෙයියනේ..!
දෙපා පණ රහිතව
ඇද වැටුනි මා
කිසිම හැලහොල්මනක් නැතිව
හිඳිනවා ඔහු පෙර සිනාවෙන්ම
ඒත් නිසොල්මන්ව දෑස් පියා ගෙන….
ඔව් ඒ ඔහු…
ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා
නිදහස මග එනගමන් 
කියන්නට වුවමනා වුණත්
පලක් නැහැ දැන්
ගිහින් ඔහු හුඟක් දුර
මියැදිලාලු 
බඩගින්නෙලු දවස් ගානක්…

මහල්ලෙක් සාප කරමින් 
මඩ නාන ඌරන්ට…
එපමණයි ඇහුනෙ මට 
මමත් සාප කරනවා අමන රැලට ඔව් දැන් ඉඳන්….
මේ දැන් ඉඳන්…..  
දැකපු ,පෙන්නපු හීන පොදි….
උඩු හුළඟට ගහගෙන යන්න දුන්නට…
නැගී හිඳිනව ඔවුන් එක්කම 
අපේ ඒ හීනෙට යන්න…

      මඩ නාන ඌරට ඉන් එහා ලෝකයක් පේනවා අඩුයි. මොකද ඌ මඩටම හුරුවෙලා. ඉතින් අපිත් ඒ සතා වගේම වෙන්න ඕනිද?
කඩතුරාවෙන් එළිය බලපු දවසට, අපිට අපිම වෙන්න පුලුවන්.
අපිව කොටු කරපු පවුර අපේ අතින්ම බිඳල අපේ හීන බලාපොරොත්තු පුස් වදින්න නොදී අපි එක්කම හුස්ම ගනීවි.

Image Source :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හශ්මිනි භාග්‍යා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment