“ඔච්චර ගොඩක් අරගෙන දීලත් තවම ඇතිවීමක් නැද්ද……..ආයෙත් සරුංගල් පස්සෙ දුවල තිබ්බොත් කන පලනව …… තේරුනා නේ………..”
නුඹේ වෙනස්වීම දරාගන්නට බැරි තරම් පුදුමාකාරය……..
මා අසා ඇති පරිදි අපේ ආච්චිලාගේ කාලයේ
මුලු පාසල් ජීවිතයම නුඹ වාගේය….
ඇළ , දොළ , ගංඟා , කඳු , මිටියාවත් සමඟ හැප්පී
වැඩිහිටියන් හා හරි හරියට වගකීම් කරට ගෙන
නුඹ ගෙවී ගියසැටි පුදුමාකරය……
මට කියා ඇති පරිදි අපේ අම්මලාගේ කාලයේ
අගෝස්තුව හරි සුන්දරය……..
ගමේ ළමුන් සියලු දෙනා එකට එකතුවී
එල්ලේ පිත්තත් රබර් බෝලයත්
හවස් වෙනතුරු බිමින් නොතියූ හැටිද
සව් කොළ ගන්නට සත ගණන් ඉල්ලා හඬා වැටුන හැටිද
සරුංගල් පස්සේ වෙල් එලි වල දුවගෙනගිය හැටිද
සුන්දරය…
මා කුඩා කාලයේ මට මතක හැටියට
මා කවරදාටවත් වඩා අගෝස්තුට ආදරය කළෙමි…
වෙනදාට වැඩියෙන් මට ඇඳේ ගුලිවී දහවල් වනතුරු නිදාගැනීමට හැකි නිසාය…
එකක් ඉවර වන විට එකක් ලෙස රූපවාහිනියෙන් විකාශය වූ හැරීපොටර් කතා බැලීමටය…
හවසට යහලුවන් සමඟ එකතුවී සෙල්ලම් කිරීමට අම්මාගෙන් බාධාවක් නැති නිසාය…….
මිදුලට ගොස් අහස බැලූ විට පෙනෙන නෙක නෙක වර්ණයේ සරුංගල් ගණං කිරීමටය..
ගෙදර සියලු දෙනා සමගින් කොහේ හෝ චාරිකාවක් යෑමටය……….
අද මට පෙනෙන පරිදි අගෝස්තුවට ආදරේ ලැබෙන්නේ නැති තරම් ය……..
ලමා ළපටි හිතේ උපදින අගෝස්තු ආදරේ අම්මලා තාත්තලා පාසල් වාරය අවසානයේදීම මරා දමති…….
සරුංගල් වලට පෙම් බඳින ළමයින්ට කඩෙන් අරං දෙන සරුංගලය රැගෙන ගේට්ටුවෙන් ඇතුලේ දිවීමට සිදුවී ඇත…
වැඩිපුර රූපවාහිනිය බැලුවොත් හිටි හැටියේම නිවසේ විදුලිය ඇණසිටිනු ඇත…
රූපවාහිනිය දැමූවද බලන්නට හැරීපොටර් ද එහි නැත…
අගෝස්තුවේ පොත්පත්වල බැදෙන දුහුවිලි ඉවත් කරන්නට ටියුෂන් පන්ති නම් ඇත..
ඉතින් අගෝස්තුව …………..
මේ ගෙවෙන්නේ නුඹේ සැදෑ සමයයි …..
අපෙන් පසු අපේ දරුවන්ගේ යුගයේදී නැවත අප මුණ නොගැසෙනු ඇත ..
සමුගත් අගෝස්තුව …….
නුඹ ජීවිතයට එක්කල දෑ බොහෝමය ………
ඉතින් අදත් හෙටත්
නුඹ නැතත්
මා නුඹට පෙම් කරනු
වැලැක්විය නොහැකිය………
Leave a Comment