විශේෂ දිනයන්

අතරමං වූ මිලියන ගණනක් සොයා…

2020 ජූලි 28, එනම් අද දින “ලෝක හෙපටයිටිස් දිනය” ලෙස නම්කර ඇත. ශ්‍රී ලංකාව තුළ බහුලව කනට වැටෙන මාතෘකාවක් නොවුනත් නිතරම ඇසෙන එච්.අයි.වී වෛරසය මෙන්ම මෙම හෙපටයිටිස් වෛරසය ද ලෝක ජනගහනය තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙහි පවතින බරපතලම කාරණය වනුයේ වෛරසය ශරීරගත වූවන් මිලියන 325ක් තරම් වන අතර ඉන් මිලියන 290ක්ම මෙම වෛරසය ශරීරගත වී ඇති බව නොදැන සිටීමයි. ඒ අනුව 2020 වසරේ ලෝක හෙපටයිටීස් දිනයේ මූලික අරමුණ වී ඇත්තේ මෙම මිලියන ගණනක් වූ රෝගය වැළඳුණු නමුත්, ඒ පිළිබඳ නොදැනුවත් පිරිස නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීම හා ඔවුන්ගෙන් තවදුරටත් මෙම රෝගය පැතිරීම නැවත්වීම සඳහා ඔවුන් දැනුවත් කිරීම යි.

හෙපටයිටිස් කියන්නේ ඇත්තටම ඉතාම පුළුල් පරාසයක විසිරුණු රෝග ගණනාවක් කියලා හඳුන්වන්න පුළුවන්. පොදුවේ හෙපටයිටිස් රෝගය මගින් අක්මාවේ පටක ඉදිමීමට ලක් කොට එහි ක්‍රියාකාරීත්වයට බාධා කරන රෝගයක් ලෙස හඳුනා ගත හැකියි. මෙහි විවිධ ප්‍රභේද වන අතර ඒවා එකිනෙකට බෝ වන ආකාරය, ක්‍රියාකාරීත්වය, හානිදායක බව, අවශ්‍ය ප්‍රතිකාර වගේ බොහෝ අංශවලින් වෙනස් වෙනවා.

හෙපටයිටීස් රෝගය පැතිරී යන්න ප්‍රධානතම හේතුව වෛරස වුණත් අධික ලෙස මත්පැන් පානය, වෙනත් රෝගවල අතුරු ප්‍රතිඵලයක් ලෙස, විවිධ විෂදායක සංඝටක ශරීර ගත වීම, ඇතැම් බෙහෙත් වර්ග විෂ වීම (විශේෂයෙන්ම පැරසිටමෝල් අධික මාත්‍රා නිතර ගැනීම), ප්‍රතිශක්ති පද්ධතියේ ගැටළුත් (විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්මා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීම) විවිධ හෙපටයිටිස් ප්‍රභේද වැළඳෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේම අධික මත්පැන් භාවිතයට අමතරව වෙනත් හේතු නිසා අක්මාවේ මේද අධික ලෙස තැන්පත් වීම නිසා ඇති වන ඇල්කොහොල් රහිත මේදාශ්‍රිත හෙපටයිටිස් (non-alcoholic steatohepatitis – NASH) ද හෙපටයිටීස් ප්‍රභේදයක් ලෙසයි සැළකෙන්නේ. මීට අමතරවත් තවත් හෙපටයිටීස් ප්‍රභේද ගණනාවක්ම තිබෙනවා.

වෛරස මගින් බෝ වන හෙපටයිටීස් ගත් කල අනු කාණ්ඩ 5 ක් තිබෙනවා. ඒවා හෙපටයිටිස් A, හෙපටයිටිස් B, හෙපටයිටිස් C, හෙපටයිටිස් D සහ හෙපටයිටිස් E නමින් හඳුන්වනවා.

හෙපටයිටිස් A සහ E ආහාර සහ ජලය මගින් බෝ විය හැකි අතර එය එතරම් දරුණු තත්ත්වයක් නොවෙයි. එම රෝගය මාරාන්තික වීම සදහා පවතින්නේ 0.5% ක අවස්ථාවක්. එලෙස රෝගය මාරාන්තික වුවහොත් අක්මාව සම්පූර්ණයෙන් නරක්වී මරණය පවා සිදුවිය හැකියි. නමුත් සාමාන්‍යයෙන් හෙපටයිටීස් A සහ E සති ගණනක් තුළ සුව වීමේ හැකියාවක් පවතී.

හෙපටයිටීස් A සහ E සදහා ප්‍රතිකාර වශයෙන් විශේෂ වූ ඖෂධ නොමැති අතර මෙහිදී රෝගියාගේ රෝග ලක්ෂණ සදහා ප්‍රතිකාර කිරීමක් සිදු කෙරේ. මෙහි දී antiviral ලබාදීමක් සිදු නොකරන අතර උණ පවතී නම් පැරසිටමෝල් ද, වමනය පවතී නම් ඊට අදාල ඖෂධ ද ලබාදෙනු ලබයි. මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ රෝගියා හට අනවශ්‍ය පරිදි බෙහෙත් ලබා නොදීමයි. එයට හේතු වන්නේ අක්මාවට බෙහෙත් මගින් හානි පැමිණිය හැකි බැවිනි. බොහෝ රෝගීන්ට රෝහල්ගත නොවී නිවසේ සිටම ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය සුවපත් කරගැනීමේ හැකියාවක් පවතී.

හෙපටයිටීස් A සහ E සදහා එන්නත් පවතින අතර එය ලබාගත් පසු නැවත වසර 6ත් 8ත් අතර කාලයකට ප්‍රතිශක්තියක් ඇතිවේ.

මෙහිදී යහපත් සනීපාරක්ෂක ක්‍රම භාවිතා කිරීම මගින් රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ හැකියාවක් පවතී. මෙහිදී යහපත් සනීපාරක්ෂක ක්‍රම වශයෙන් උණු කරන ලද පිරිසිදු පානීය ජලය පානය කිරීම, රෝගීන්ගේ තුවා, කෑම පිඟන් ආදී පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ පොදුවේ භාවිතා නොකිරීම දැක්විය හැකියි. එසේ කිරීම මගින් පවුලේ සහ අවට සිටින අයට රෝගය බෝ වීම වළක්වාගත හැකිය. ඒ අනුව නිවැරදි සනීපාරක්ෂක ක්‍රම භාවිතා කිරීම මගින් හෙපටයිටීස් A සහ E සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කිරීමේ හැකියාවක් පවතී.

හෙපටයිටිස් B සහ C යන දෙකම රුධිරය සහ ශාරීරික තරල මිශ්‍ර වීම මගින් බෝ වන රෝග දෙකකි.

හෙපටයිටීස් B තරමක් භයානක රෝගයකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එය දිගු කාලීන තත්ත්වයට ගිය පසුව සුව කරලීමට නොහැකි වීමයි. කෙසේ නමුත් හෙපටයිටීස් B වලින් ආරක්ෂා වීමට එන්නතක් පවතී. 2003 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ හෙපටයිටීස් B එන්නත සියලුම දරුවන්ට නොමිලේම ලබා දීම ආරම්භ කෙරුණි. මේ නිසා සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව පුරාම හෙපටයිටීස් B අවදානම තියෙන්නේ බොහොම අඩු මට්ටමක බව පෙනෙන්න පුළුවන්. කෙසේ නමුත් රටේ ඇතැම් ප්‍රදේශවල තරමක් ඉහළ ආසාදන මට්ටමක් දැක ගන්න පුළුවන්. හෙපටයිටීස් D වල විශේෂත්වය තමයි එය වැළඳීම සිදු වන්නේ දැනටමත් හෙපටයිටීස් B ආසාදනය වී සිටින අයට පමණක් වීමය.

හෙපටයිටීස් C ගත් විට එය ඉතාම භයානක රෝගයක්. නිසි ප්‍රතිකාර නොලැබුණොත් ඉතා පහසුවෙන්ම මෙය දිගු කාලීන අක්මා ආබාධවලට හේතු වෙන්න පුළුවන්. හෙපටයිටීස් C ආසාදනය දිගු කාලීන තත්ත්වයට යාමේ අවදානම 85%කටත් වඩා ඉහළයි. අක්මා ආබාධවල විනාශකාරීම අවස්ථාවක් වන සිරෝසීස් (cirrhosis) සහ අක්මාවේ පිළිකා පවා අතුරු ආබාධ ලෙස ඇති කරන්න කල්පවතින තත්ත්වයට පත් වූ හෙපටයිටීස් C ආසාදනයකට ඉහළ හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් මුල් තත්ත්වයේ දී ප්‍රතිකාර මගින් සුව කරන්න තිබෙන හැකියාව නිසා මේ අවදානමෙන් බේරෙන්න හැකියාව තිබෙනවා.

මේ තත්ත්වයේ භයානකකම ගැන දැන් ඔබට හොඳ අදහසක් ඇති. නිතරම ප්‍රවේශම් වීම ඉතාම වැදගත් වෙනවා. මෙතෙක් ලබා ගෙන නැති නම් අනිවාර්යයෙන්ම හෙපටයිටීස් B එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන්න. ලිංගික කටයුතුවලින් බෝ වෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්නට නිතරම කටයුතු කරන්න. එන්නත් කටු භාවිතා වන අවස්ථා වල දී ඒවා නිසියාකාරව ජීවානුහරණය කර ඇත්දැයි විමසිලිමත් වන්න. මීට අමතරව වෛරස් මගින් බෝ නොවන අනෙක් හෙපටයිටීස් ප්‍රභේදවලිනුත් ආරක්ෂා වෙන්න මත්පැන් භාවිතය අවම කිරීම, නිතරම පැරසිටමෝල් ලබා නොගැනීම ආදිය ගැන සැළකිලිමත් වීමත් ඉතා වැදගත්.

වැදගත්ම කරුණ වන්නේ මෙම වෛරසය වැළඳුණු පුද්ගලයෙක් සතු වන රෝගී ලක්ෂණ එනම්,

  • ඇස් කහ වීම
  • බඩේ කැක්කුම
  • වමනය ඇති වීම
  • කෑම අරුචිය
  • උණ

යම් පුද්ගලයෙක් සතු වේ නම් එම පුද්ගලයාව නිසි පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමු කරවීමයි.

මෙලෙසින් නිසි දැනුවත් කිරීම්, පරීක්ෂණ, එන්නත් සහ ප්‍රතිකාර මගින් මුළු ලෝකයෙන්ම මෙම රෝගය තුරන් කිරීමට මන් පෙත් සැලසෙනු ඇත.

Design by Manishka Dhananjaya

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පැතුම් සඳරුවන්

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment