අම්මේ ආවේ නෑ නෙව අප්පච්චී තාම..
වැරදුනේ කොහොමදැයි නොදනිමි තාම..
කලුවරේ ගිලෙන ගේ පිල හැමදාම..
මූසලයි අදත් වෙනදට වැඩියෙන්ම..
“එන්න එපා උඹ එලියට ඌ ආවාම”..
“පොතේ පතේ වැඩකරහන් නොහිතාම”..
කියා කියා මට තරවටු දැම්මාම..
හිතුවද අඩන්නෑ කියලා රහසේම..
ආවේ දෙගොඩහරියක හොදටම නැවිලා..
කිසිඳා අහන්නෑ තොපි කාලද කියලා..
කන්න මදි උනොත් මැටි කොරහත් බිදලා
යන්නේ බුදියන්න අම්මට තඩිබාලා..
නැගිටලා යන්නේ ආයෙත් පදමට එන්න..
හංදියේ කඩේ ණය පොත පිරිලා මෙන්න..
යන්තම් මාලුවක් දවල්ට වත් කන්න..
පොල් අතු විකුණුවේ අපි ජීවත් වෙන්න..
දුම් මැස්සේ ඇති මන්නෙත් පරණ වෙලා..
ගත්තේ නිකමටයි එය මුවහත් තියලා..
හිතුන්නෑ කරුමේ අද නිම වෙයි කියලා..
ආනන්තරිය පවකට මා තල්ලු වෙලා..
වෙනදා වගේ ආවේ වැනි වැනි රෑක..
අම්මට නම් දැන් හුරුපුරුදු උනත් ඒක..
අම්මට නිදහස දෙනවා අද ඉවරයි මේක..
අප්පචීගේ ජීවීතේ අවසන් දවසයි මේක..
Leave a Comment