සංගීතය යනු, භාවමය වින්දනය තුළින් මිනිස් චිත්ත සන්තානගත සියුම් මනෝභාවයන් පුබුදුවාලිය හැකි සහ ඒවාට ආමන්ත්‍රණය කළ හැකි අපූර්ව වූ කලාවකි. එවන් වූ සංගීතයේ නියම රසය මනුෂ්‍යයාගේ හදවතට රැගෙන යනු ලබන නාලිය වන්නේ සංගීතවේදියා ය.
එවන් වූ සංගීතවේදීන් අතුරින් සිය ආත්මයටම කැටිකොට ගත් ආවේණික සංගීත ලීලාවකින් රසිකයා හා භාව භාෂණයක යෙදෙන ශ්‍රී ලාංකේය සිංහල ගීත වංශ කතාවේ නිම් වළලු පුළුල් කළ මහා යුග පුරුෂයාණන්ගේ දිවි ගමනේ සොඳුරු ඉසව් පිළිබඳව තබන සටහනයි මේ.
ඔහු නමින් වික්ටර් රත්නායක නම් විය. පියා වූ දොන් ජේම්ස් රත්නායක මහතාට දාව මව වූ අබේකෝන් මායාදුන්නේලාගේ සුමනාවතී මැතිණියගේ කුසින් මහනුවර පුරවරයේ දී සහෝදර සහෝදරියන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක තුන් වැනියා ලෙස මොහු මෙලොව එළිය දුටුවේය.
කඩුගන්නාව කණිෂ්ඨ විද්‍යාලයෙන් හා කඩුගන්නාව මහා විද්‍යාලයයෙන් අධ්‍යාපනය හදාරනු ලැබූ මොහු කුඩා කල සිට ම සංගීතයට අතිදක්ෂයෙකු විය.
සංගීතඥ සිරිල් පෙරේරා යටතේ මුල්ගම්පල පිහිටි M.G.P ආයතනයෙන් වාදනය සහ ගායනය හදාරනු ලැබූ මොහු රාජ්‍ය සංගීත විද්‍යාලය ලෙස හැඳින් වුණු වර්තමාන සෞන්දර්ය කලා ආයතනයෙන් පසු කාලීනව අධ්‍යාපනය ලැබීය. එසේම මෙතුමා මහනුවර ලේක් සමාජ ශාලාවේ සංගීත ප්‍රසංග සංවිධානය කළ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන හා එක්ව වාද්‍ය ශිල්පියෙකු හා ගායන ශිල්පියෙකු වශයෙන් ශිල්පීය ප්‍රාගුණ්‍ය ලැබී ය.
ගුවන්විදුලියේ ආධුනිකයෙකු ලෙස මොහු ප්‍රථමයෙන් ගීතයක් ගායනා කරනු ලැබුවේ ‘එයා ෂිප්’ නම් වූ වෙළෙඳ වැඩසටහනක ආධුනික ගීත තරඟයක් සඳහා ය. එය ඔහුගේම තනුවකට ගැයූ “යන්නට සිදු වේ මරණය ආ දා – මරුවා හට නෑ කිසිවිට බාධා” නම් වූ ගීතයයි.
ඔහුගේ පටිගත කළ ප්‍රථම ගුවන්විදුලි ගීතය වූයේ මණිචෝර නම් ගුවන්විදුලි ගීත නාටකයේ එන “දෙවඟන පරදන කොමළ ලියා” නම් වූ ගීතයයි.
මොහුගේ නමින් බිහි වූ ප්‍රථම ගුවන්විදුලි තැටිය වූයේ මඩවල එස් රත්නායකයන්ගේ “පංච මධුර” වැඩසටහන සඳහා ගැයූ “හදේ සුසුමක් පතිත වීමෙන්” නැමැති ගීතය යි.
ගායකයෙකු වශයෙන් මෙතුමා එකල සිටි ප්‍රවීණයන් රැසක් සමඟ සම්බන්ධ වී චිත්‍රපට විශාල සංඛ්‍යාවකට ගීත ගායනයෙන් දායකත්වය ලබා දී ඇත. මොහුගේ ප්‍රථම චිත්‍රපට ගීතය වූයේ “හන්තානේ කතාව” චිත්‍රපටයට නන්දා මාලනී හා එක්ව ගැයූ “සරා සොඳුරු මල් පැටලී” නම් ගීතය යි.
මෙසේ මෙතුමන් විසින් අතිවිශාල ගීත සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඉන් නූතනයේ ද අතිශය ජනප්‍රිය ගීත අතර ‘සඳුන් සිහින සිහිල් අඳුන, පාළු ප්‍රේම නගරයේ, අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා, හිනැහෙන්න රෝමියෝ මමයි, නීල බිඟු කැළ, ගහ කොළ මල්’ ආදී ගීත දැක්විය හැකි ය.
මෙතුමන් ගායකයෙකු පමණක් ම නොවේ. පරිණත සංගීත ඥානයකින් යුතු වූ සංගීත අධ්‍යක්ෂකවරයෙකි. මාතර ආරච්චි චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. ‘සිරිබෝ අයියා, සරුංගල්, හුලවාලි හා අතුරු මිතුරු’ ආදී චිත්‍රපට ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු නිර්මාණයන් ය. මීට අමතරව ‘අඹු සැමියන්, ඉරැස්මා, ආදරෙයි මම, තවලම, සයුරු තෙර, වජිරා’ ආදී චිත්‍රපට සඳහා සංගීත නිර්මාණ දායකත්වය ලබා දී ඇත.
මෙතුමන් සංගීතවත් කළ ටෙලි ටෙලිනාට්‍ය අතර ‘හිම හංසි, මුතු කුමාරි, යාළුයි අපි යාළුයි, පුංචි යාලුවෝ, පහන් තරුව, ඉරට හඬන මල්’ ආදිය දැක්විය හැකි ය.
එපමණක් නොව, මෙතුමන් වේදිකා නාට්‍ය කිහිපයක්ම සංගීතවත් කර ඇත. ඒ අතර ‘සහෝදරයෝ, ව්‍යාග්‍ර, අත්තික්කා මල් පිපිලා’ ආදී වේදිකා නාට්‍ය දැක්වේ.
මෙතුමන් කොළඹ ලුම්බිණි රඟහලේදී “ස” ප්‍රසංගය පවත්වමින් ප්‍රථම සජීව ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත් වූ ලාංකේය ගායකයා ලෙස ඉතිහාසයට එක් විය. එසේම මොහු වැඩිම වාද්‍ය වෘන්දයක් යොදා ගීතයක් පටිගත කළ පළමුවැනි ගායන වේදියා ය. එසේම අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදාගෙන ගීතයක් නිර්මාණය කළ පළමුවැන්නාද වේ. එපමණක් ම නොවේ, ගී තැටිය ධාවනය වන වේග දෙකක් ඇති අතර එම වේග දෙකම උපයෝගී කර ගනිමින් ගුවන්විදුලි ගීත සාහිත්‍යය තුළ ප්‍රථම වරට ගීතයක් නිර්මාණය කිරීමේ භාග්‍යය ද මෙතුමන් හිමි කරගනී.
අතිදක්ෂ වයලීන් වාදකයෙකු වන මෙතුමන්ගේ සංගීත හැකියාව පිළිබඳව ඩබ්. ඩී. අමරදේව මහතා වරක පැවසූවේ,
“වික්ටර් නිවැරදි ස්වර ස්ථාන භජනය කිරීමේ හසළ බවක් දක්වයි. වික්ටර් කිසිම විටෙක අපස්වර නොගයයි. ඔහු මේ කුසලතාවයෙන් අනූන ගායකයෙකු බව මම ප්‍රකාශ කරමි”
යනුවෙනි. ඒ තුළින් ප්‍රකට වන්නේ මෙතුමන් තුළ පැවති විශිෂ්ට සංගීත කුසලතාවය යි.
සංගීත උපදේශකවරයෙකු වශයෙන් අධ්‍යාපනය අමාත්‍යාංශයට සම්බන්ධ වී කටයුතු කළ මෙතුමා ඊට අමතරව රජයේ පාසල් කිහිපයකම සේවය කර ඇත.
මෙතුමන්ගේ සංගීත කුසලතාව සහ මෙම ක්ෂේත්‍රයට දක්වන දායකත්වය අගයමින් සම්මාන රැසකින්ම මෙතුමන් පිදුම් ලැබී ය.
ඒ අතර 1980 දී “සිරිබෝ අයියා” චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. 1986 දී “අතුරු මිතුරු” ළමා චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානයෙන් ද පිදුම් ලැබී ය. මීට අමතරව චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සඳහා කරන ලද අනුපමේය සේවය අගයනු වස් කලාකරුවෙකුට ජීවිතයේ එක් වතාවක් පමණක් පුදනු ලබන යූ. ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් ද මෙතුමන් පිදුම් ලැබී ය.
එසේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ගීතය හා සංගීතයට සිදු කරන ලද මෙහෙවර අගයමින් දර්ශනශූරී ආචාර්ය උපාධිය ද මෙතුමන්ට පුදනු ලැබී ය.
කලාකරුවෙකුට අත්‍යන්තයෙන්ම තිබිය යුතු අභිමානය මුසු වූ නිහතමානී චරිතයක් වන මෙතුමන් තුළ බුදුගුණ, මව් ගුණ, පිය ගුණ, දේශානුරාගය, ප්‍රේමය, විරහව ආදී සියලු තේමාවන්ට අදාළ වන පරිදි පවතින සංගීත කුසලතාව අසමසම ය. එසේම ඒ තුළින් සංගීත ක්ෂේත්‍රය තුළ මෙතුමන් සිදු කරනු ලබන සේවය ද අපමණ ය.
පෙරදිග සංගීතයේ පවත්නා භාවමය වින්දනය පිළිබඳ අපූරු සංකේතයක් බඳු මෙතුමා ගීතයක පද මාලාවට ජීවයක් එක් කරමින් ගායනා කරන අයුරු සැබැවින් ම විශ්මයජනක ය. මෙතුමන්ගේ නිර්මාණයන්ට සමවැදී රසවිඳිය හැකි වන්නේ ද එනිසාම ය.
දශක ගණනාවක් මුළුල්ලේ හෙළ ගීත කලාවේ මධුර තනු උල්පත බඳු වික්ටර් රත්නායක සොඳුරු, ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයාණෙනි, ජීවන ගමනේ තවත් නැවුම් වියකට පා තබන අද දින ඔබතුමන් හට නිදුක් නීරෝගී බව සහ දීර්ඝායුෂ සපිරි සුබ ම සුබ උපන්දිනකට ආසිරි එක් කරමු. තව ද ඔබතුමන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! යි Colombo Beacon අපි පැතුමන් එක් කරන්නෙමු.
Images :
- https://bit.ly/3h1eLQU
- https://bit.ly/3oXOt6u
- https://bit.ly/3rVHGMK
- https://bit.ly/3vfMi2v
- https://bit.ly/3uZUWlx
- https://bit.ly/3I8scuE
- https://bit.ly/36bX13d
- https://bit.ly/3LHvIy4
- https://bit.ly/356CpsS
- https://bit.ly/356SM8P
- https://bit.ly/36ob99Q
- https://bit.ly/3v0soZ8
- https://bit.ly/3JDsiKO
- https://bit.ly/3gYhM4w
Leave a Comment