ආලෝකය, අන්ධකාරය , ඔබට කුමක් හැඟේද?? සත්තකින්ම දෙඅන්තයකි. නමුදු එකිනෙක හා බැඳී පවතින්නකි. ඔබ ඔබෙන්ම විමසා බලන්න,
ආලෝකය පවතින තැන අන්ධකාරය පවතින්නේද??
පිළිතුර ‘නැත’ නම් ඔබ සිටින්නේද අන්ධකාරයේමය. ඒ කිමදයත්, අන්ධකාරය නිරන්තරයෙන්ම පවතින්නක් වන නිසාත්, සත්‍ය නම් ආලෝකය නැමැති සාධකය හමුවේ එය යටපත් වීමය. අන්ධකාරය තුළ සිටින තෙක් මසැස හොඳින් පෙනෙන අයකු වුවත් හැසිරෙනුයේ අන්ධයෙකු පරිද්දෙනි. කිමද යත්, ආලෝකය නොමැති නිසාවෙනි. මෙකී අන්ධකාරයේ හා ආලෝකයේ ද පැතිකඩ බොහෝ ය. නමුදු මා මෙහිලා විවරණය කරනුයේ චින්තනය තුළින් ඔබ්බට ගොස් දැන දැක ගත යුතු අන්ධකාරයක් හා ආලෝකයක් පිලිබඳව ය.
වෙසක් සඳ බැසගොස්, පොසොන් සඳ මෝරා වැඩෙන්නට විය. ගෝලීය වසන්ගතයක් හමුවේ නිවස්නයට කොටු වුවත් මේ කාලය බොහෝදෙනාට තම අධ්‍යාත්මික සුවය කොතැනක ඇත්දැයි විමසීමට හොඳම කාලයක් බව නම් නිසැකය. වෙසක් සමය මෙන්ම පොසොන් සමයද, බුදුන් වැඩි දේශයට තවත් එක් සුන්දර සමයකි. මක් නිසාද යත්, අනුබුදු හිමියන් වන මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සත්තිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය. ඒ බව ඉතිහාසය සාක්ෂි දරයි.
අනුබුදු හිමියන් ප්‍රමුඛ බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමඟ පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේ ය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා,
“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”
“අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ.
සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා විශිෂ්ට ය. බුද්ධි පරීක්‍ෂණය අවසානයේ ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම දේශනා කළහ.
ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්මදූත මෙහෙවරේ ප්‍රතිඵලයක් ලෙස, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යා හැකි එකම උතුම්ම සරණවන නිර්මල බුදුදහම ලක් වැසියන්ගේ සෝතයන් ස්පර්ශ වන්නේ මහින්දාගමනයෙන් පසුවය. එතෙක් ගස්, ගල් ඇදහූ හෙළයෝ එතැන් පටන් පිරිසිදු බෞද්ධයන් වීමට මග උපදවා ගත්හ. තම මානසික සුවය ගස් ගල් තුළින් සෙවූ හෙළයන්ට බෞද්ධ දර්ශනය නිරාමිස සුවයට මග කියාදෙන්නට විය. මෝහාන්ධකාරය දුරලන්නට බෞද්ධ දර්ශනය ආලෝකයක් විය.
“සත්තකින්ම මෙලෙස ලැබුණු නිර්මල බුදුදහම බෞද්ධයන් යයි කියා ගන්නා අප වටහාගෙනද??” එය පැනයකි. මන්දයත් පොසොන් පොහොය දිනය සමරන බොහෝදෙනා දනුයේ එදින හෙළ දේශයට මහින්ද හිමියන් බුදුදහම ගෙන වැඩම කළ බවය. ඔවුන්ට එය කැලැන්ඩරයේ තවත් එක් දිනයක් පමණි. එම නිසාම ඔවුන් නිර්මල බුදුදහම තම ස්වබුද්ධියෙන් වටහා ගෙන මෝහාන්ධකාරය දුරලීමට උත්සහ කරනවා වෙනුවට, පොසොන් දිනය තම මසැස පිනවීමට පමණක් යොදාගැනීම කණගාටුවට කරුණකි. එය කිසිවිටෙකත් වැරැද්දක් නම් නොව, එහෙත් මසැස පිනවීම නිවනට මඟ නොවන බව වටහා ගත යුතු ය..
“සැබවින්ම වත්මන් බෞද්ධ සමාජය පිවිතුරු සද්ධර්මය පිළිගෙන ද??”
“පිළිගත්තේ නම් එය කෙතරම් දුරට වටහාගෙන ද??” යන්න පැනයකි.
මීට පිළිතුරු ඔබ ඔබෙන් අසා දැනගන්නේ නම්, එය බුද්ධි ගෝචර වනු ඇති. මක් නිසාද යත්, බුදුදහම යනු මා දකින අයුරින් බුද්ධියකින් තවත් බුද්ධියකට ආමන්ත්‍රණය කිරීමක් වන නිසාවෙනි. එයට කළ්‍යාණ මිත්‍රයකු අවැසිම ය. ඒ කළ්‍යාණ මිත්‍රයා අන්කවරකුවත් නොව සද්ධර්මයම පමණි. ධර්මය නම් කළණ මිතුරා මාර්ගය පෙන්වනුයේ අඳුරෙන් එළියට පැමිණීමටය. මේ අන්ධකාරය නම්, පෘථග්ජන පුදුගලයා වසා සිටින මෝහාන්ධකාරයයි. තවත් අයුරකින් කියතොත් ප්‍රභාශ්වර සිත වසා වැසුණු කෙලෙස් කන්දරාවයි.
ස්ව කාය දිට්ඨියට වහල් වී මේ යන ගමන කෙතරම් සිනහවට කාරණයක්ද කියතොත්, උදේ අවදිවූ තැන පටන් නින්දට යනතෙක්ම සිදුකරනුයේ කෙලෙස් අනුභව කිරීමම පමණකි. තම ජීවිතය සතුටින් සිටීමට නම් ධනය, ආදරය ප්‍රමාණවත් බව සිතා බොහෝදෙනා කරනුයේ හැකිතාක් ධනය හා ආදරය ලුහුබැඳීම පමණකි. නමුඳු ස්ථිර සතුටක් යයි සිතා තමා මේ හබා යන්නේ අස්ථිර සතුටක් බවවත් වටහා ගැනීමට උත්සුක නොවීමට තරම් ඔවුන් මේ අන්ධකාරය සැපයක් කරගෙන හමාරය. එයම ඔබ අප සියළුදෙනා මෝහාන්ධකාරය තුළ ගිලී එය සැපයක් යයි සිතන අන්ධයන් බව ප්‍රනිශ්චය කිරීමට සාධකයකි.
සර්පයා අල්ලා ගත යුත්තේ ඔලුවෙනි. වලිගයෙන් අල්වාගතහොත් නිශ්චිතවම දෂ්ඨ කරනු ඇති. මෙහිදී බෞද්ධයන්ට සිදුව ඇත්තේ ද එයමය. අවාසනාවට අල්වාගෙන ඇත්තේ සර්පයාගේ වලිගයෙනි. සත්‍යනම් පංචස්කධය තමාගේ වහලෙකු කරගන්නවා වෙනුවට තමා පංචස්කධයේ වහලෙකු වී හමාරය. මෙකී වහල්කම හේතුකොටගෙන තමා තමාට සිදුකරගන්නා හානිය කෙතරම් ද කියා වටහාගන්නාතෙක් ඔහු හෝ ඇය සිටින්නේ අන්ධකාරය තුළමය.
මුළු සත්ත්ව, පුද්ගල සංහතියේම දුකට මුල්වන එකම හේතුව මේ එක්රැස් කරගත්, උපාදානය කරගත්, පංචඋපාදානස්කන්ධයම මිස අන්කිසිවක් නොවේ.
”සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා” ලෙස දුක්ඛ අරිය සත්‍යය පැහැදිළි කෙළේ මේ උදෙසාය.
ලෝකයෙහි යථා ස්වභාවය නිවැරදිව දැන දැක ගැනීමට නම් ප‍්‍රඥාව උපදවා පහදා ගත යුතුමය. මෙයම යථාභූත ඥාන දර්ශනය ලෙසින් ද පැහැදිලි කරයි. රාග, ද්වේෂ, මෝහ යන මායාවෙන් මිදි නිදහස් වු සිතින් ලෝකය දෙස බලන්නට හැකි පිරිසිදු ශක්තියක් මතුකර ගත හැකි වන්නේ ද යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන මිනිසෙකුටමය. විපරිණාමයට, වෙනස්වීමට, භ‍්‍රමණයට, ගෙවීයාමට මුල් වූ හේතුව පටිච්ච සමුප්පන්න බව ලෙසින් ද තේරුම් ගතයුතුය. මේ චර බවට මුල්වූ හේතුව පටිච්ච සමුප්පන්න බවයි. මේ අනුව පෘතග්ජන සිතකම උපත ලබන, සිතකම ක‍්‍රියාත්මක වන හේතුඵල පරම්පරාවක් මේ සියල්ලටමත් මුල්වන බවත් තේරුම් ගතයුතු ය. මේ නිසා හේතු කරන්නෙකු බිහිවෙයි. ඵල භුක්ති විඳින්නෙකු ඵල භුක්ති විඳියි. මේ ජීවිත පැවැත්මයි. මෙය ආත්ම හෝ අනාත්ම තත්‍වයක් නොවන බවත්, නියති වාදයක් නොවන බවත් නිච්ච සේ පවතින සිදුවන ධර්මතාවයක් ලෝකයේ නැති බවත් තේරුම් ගත යුතුය. මේ අනුව අනිච්ච, දුක්ඛ, අනත්ත, තේරුම් ගන්නට උත්සාහ කළ යුත්තේ තමන්ගේම සිතට අරමුණු වන අරමුණු හය ආශ‍්‍රයෙනි. පෘතග්ජන ලෝකයා යලි යලිත් උපදි උපදී මරණය කරාම ගමන් කරන්නේ නිවැරදි මරණානුස්සතිය හා බුද්ධානුස්තිය වඩන්නට තේරුම් නොගත් හේතුව නිසාමය.
හැම කෙනෙක්ම කරන, කියන කර්මවලට අනුරූපවම, ඒ අයට ධර්ම නියාමයෙන් උරුම වන ඵලයක්, විපාකයක් ද අයිති වේ. එක එක සත්ත්වයින්ට, පුද්ගලයින්ට එක එක ආකාරයේ ශරීර කූඩු මහා බ‍්‍රහ්මයා මවා දුන්නා නොවේ. බලයෙන් පැටවූ දේවල්ද නොවේ. මොන ආකාරයේ ශරීර කූඩුවක් ලැබුණත් විඤ්ඤාණය ඒක සතුටින්ම භාර ගනී. සංසාර ගමන යන්නට උපකාරී වන යම් යම් දේ, පංචස්කන්ධය එකතු කර උපාදානය කරගන්නට හැකි නම් විඤ්ඤාණයට මේ එකතු කිරීම ඉතාමත් වටී. තණ්හා යනු අලුතින් තැනක හා වීමයි. සිත අලුතින් තැනකට, දෙයකට අවස්ථාවකට සම්බන්ධවීම තණ්හාව නිසාත් අවිද්‍යාව නිසාත් සිදුවන්නකි. මේ අනුව සංසාර රිය ගමනක් සකස්වෙයි. සිතින්ම රෝද ගසා සංසාර රිය ගමන දිගටම පවත්වාගෙන යාම සඳහා ද හැම සත්වයෙක්ම පර්යේෂණයක් කරයි. එය අනරිය පර්යේෂණය නමින් බුද්ධ ධර්මයේ සඳහන් ය. රිය ගමන නැවැත්වීම සඳහා රෝද ගැසීම නවතා සිත නිරෝධ කිරීම සඳහා කරන පර්යේෂණය අරිය පර්යේෂණය යි. මේ අනුව සංසාර රිය ගමන අත්හැරීම අරමුණු කොට,තණ්හාව අවිද්‍යාව අත්හැරීම අරමුණු කොට කරන පර්යේෂණය අරිය පර්යේෂණයයි. සත්තකින්ම පොසොන් පොහොය දිනය අනුස්මරණය කරනුයේ මහින්දාගමනය පමණක් නොව අන්ධකාරයේ තතු අවබෝධ කර ආලෝකයට පැමිණීමට පෙන්වා දෙන ලද අරිය පර්යේෂණයයි.
කාලය රන් හා සමානය. “ඔබ ගෙවන දිවියෙන් මේ වනවිටත් කෙතරම් ගෙවී ගොස්ද??” ඔබ, ඔබ වෙනුවෙන් කිනම් ආයෝජනයක් ආධ්‍යාත්මිකව ලබාගෙන ඇත්දැයි විමසීමට කාලය එළඹ ඇත. “තවදුරටත් අන්ධකාරයේම සිටිනවාද? ආලෝකය උපදවා ගන්න උත්සාහ කරනවාද?” තීරණය ඔබේ අතේය.
ඉදින්, තවමත් ප්‍රමාද නැත. යථාවබෝධයෙන් ගත කිරීමට මෙවර පොසොන් පොහොය යෝග්‍යතාවයෙන් උපරිම ය. නිවසේ සිට වුව ද ප්‍රතිපත්තියෙහි පිහිටා ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්හි ද පිහිටිය හැක.
ඉදින්, රෝ බිය මධ්‍යයේ උදාවන්නා වූ මෙවර පොසොන් පොහොය, සකල ලෝ වාසී සියළු සත්ත්වයින්ට අන්ධකාරය ඉරා ආලෝකය උදාකර ගන්නට මහත් උපකාරයක් වේවා!! කියා පතමින් ලෝ වාසී රෝ පීඩාවන්ගෙන් පෙළෙන්නා වූ සියලු සත්ත්වයෝ සුවපත් වේවා!!! යැයි Colombo Beacon අපි සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
Image Courtesy – Senarath Dharmatilake
Leave a Comment