මිනිසාට තරම් දියුණු මනසක් නැතත්, සතුන් යනු පරිසර සංවේදනය ඉතා ඉහළ ජීවී කාණ්ඩයකි. කාලගුණික හා දේශගුණික තත්ත්ව නිර්ණය කරන නූතන උපාංග සොයා ගැනීමට ප්‍රථම ඈත අතීතයේ දී කාලගුණ අනාවැකි කීමට මිනිසා ඇතැම් සත්ත්ව හැසිරීම් රටා පදනම් කරගත් බව ඉතිහාසයේ පවා සඳහන්ව ඇත. එසේම මෙම ඇතැම් හැසිරීම් රටා සහ පරිසර වෙනස්වීම් අතර විද්‍යාත්මක සම්බන්ධයක් ද ඇති බව විවිධ නූතන පර්යේෂණ මගින් ද සොයාගෙන ඇත. පරිසර වෙනස්වීම් මත විවිධ සංඥා ලබාදෙන සතුන් හා සබැඳි විශ්වාස හා ඒ පිළිබඳ තොරතුරු මෙම ලිපියේ අන්තර්ගත වේ.
වර්ෂාවක් අත ළඟ බව අපට පවසන සතුන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ගෙම්බන් ය. මෙය බොහෝ දෙනෙකු හට හුරුපුරුදු අනාවැකියක් ද වේ. වර්ෂාවක් ඇද වැටීමට ආසන්න වනවිට ගෙම්බන් උස් හඬින් කෑ ගැසීමට පටන් ගනී. මෙහි විද්‍යාත්මක පසුබිමක් ද පවතී. ගෙම්බන් ජීවත් වන ජලාශයේ හෝ ජලාශ්‍රිත වටපිටාව වර්ෂාවකට පසුව හොඳින් ජලය පවතින අතර එය ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පහසු කරයි. එබැවින් ප්‍රජනන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා සහකරුවන් සමඟ සන්නිවේදනය කිරීමක් වර්ෂාවකට ආසන්නව ඔවුන් විසින් සිදු කරයි. ඒ අනුව ගෙම්බන්ගේ කෑ ගැසීම වර්ෂාවක පෙර නිමිති පෙන්නුම් කරයි. එසේම වර්ෂාවක් ආසන්න වූ විට පූසන් කිවිසුම් යවන බවට ද මතයක් පවතී. කෙසේ වෙතත් කිවිසුම් යැවීම වෙනත් හේතූන් මතද පහසුවෙන් සිදුවිය හැකි නිසා මෙය සාර්ථක සංඥාවක් නොවන බවට ද මත පවතී. බල්ලන් කන්පට ගැසීම ද වැස්සක් ළඟ එන බව පවසන අනාවැකියකි. ඔබේ නිවසේත් සුරතල් පූසකු හෝ බල්ලකු සිටී නම් මෙම මතයන්හි සත්‍යතාව නිරීක්ෂණය කළ හැකියි. වර්ෂාවක් ළංවත්ම හරකුන් තුළ කලබල ස්වභාවයක් දැකිය හැකි බව ගොවීන්ගේ මතයකි. වේගයෙන් වලිගය වනමින් මැස්සන් එළවීම ද ඊටසමගාමීව සිදු වේ. ඇතැම් විට ඔවුන් ඉන්පසුව බිම දිගාවී සිටිනු ද නිරික්ෂණය කළ හැකිය. වැස්සට පෙරම වියළි බිම් කොටසක් ඉතුරු කර ගැනීමට ඔවුන් මෙසේ සූදානම් වන බව ද කියැවේ.
සමනළයන් හා මී මැස්සන්ට ද වර්ෂාව වැනි පරිසර වෙනස්වීම් සංවේදනය කළ හැකිය. එනිසාම අවට පරිසරයේ වෙනදා දක්නට ලැබුණු සමනළයන් හා මී මැස්සන් දක්නට නොලැබෙන්නේ නම්, එය වර්ෂාවක මං සලකුණු පවසන බව සිහි තබාගන්න. වේයන් හා කූඹීන් ද වැස්සක් ආසන්න වනවිට දැඩි ලෙස ක්‍රියාශීලි වන සතුන් ය. විශාල වශයෙන් එහා මෙහා දුවන කූඹීන් වැස්සක පෙර නිමිති විය හැක්කේ එබැවිනි.
වර්ෂාවක් හෝ හිම වැටීමක කලින් හඳුනාගැනීමට බැටලුවන්ගේ හැසිරීම් රටාවන් ද උපයෝගී කරගත හැක. වර්ෂාවක් හෝ හිම වැටීමක් ආසන්න වූ විට ඔවුන් කිහිප දෙනා බැගින් එකිනෙකාට සමීප වී, එකතු වී ගුලි වෙමින් හෝ රංචුවක් ලෙස සකස් වනු දැකිය හැකි අතර මෙය උණුසුම රඳවා ගැනීමට දරන වෑයමක් ලෙස හඳුන්වාදිය හැකිය. මොණරුන් පිල් විදහා නටන්නේ ද වර්ෂාවක් අත ළඟ එන විට දී ය.
කුණාටුවක පෙර නිමිති පැවසීමේ හැකියාවක් කුරුල්ලන් සතුව පවතී. එනම්, කුණාටුවක් පැමිණීමට ආසන්න වූ විටෙක කුරුල්ලන් තරමක් පහළ අහසේ පියාසර කරයි. නමුත් පැහැදිලි යහපත් කාලගුණයක් පවතින විට දී ඔවුන් සාමාන්‍යයෙන් ඉහළ අහසේ පියාසර කරයි. මීට හේතුව ලෙස විද්‍යාඥයන් දක්වන්නේ, කුණාටුවක් සමඟ ඉහළ අහසේ වෙනස් වන වායු පීඩනය කුරුල්ලන්ට දරා ගැනීමට අපහසු නිසා ඔවුන් පහළ අහසේ පියාසර කරන බවයි. මීට අමතරව, ඇතැම් කුරුලු විශේෂයන් කුණාටුවකට ප්‍රථම එම අදාළ ප්‍රදේශයෙන් ඉවත්වන බවට නිරීක්ෂණ සිදු කර ඇත. ඒ අනුව එම කුරුලු විශේෂ වෙත අතිධ්වනිත තරංග හරහා කුණාටුවක සංවේදනය ලැබුණු විගස එම ප්‍රදේශයෙන් ඉවත්ව වෙනත් ප්‍රදේශයකට පියාසර කළ බවත්, කුණාටු නිම වූ පසු යළිත් එම ප්‍රදේශයට පැමිණි බවත් පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව කුරුල්ලන්ගේ සියුම් හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් කාලගුණික පෙර නිමිති ලබා ගැනීමට හැකි වේ. මීට අමතර, සැඩ කුණාටුවලට පෙර මෝරුන් ගැඹුර වැඩි ස්ථාන වෙත පිහිනන බවට ද නිරීක්ෂණය කර ඇත.
විශාල කන් සහ පාද හිමි අලියන්ට ද ඉහළ සංවේදනයක් පවතී. එබැවින් පොළොවේ සිදුවන වෙනස්කම්, භූමිකම්පා ආදිය ඔවුන්ට අපට වඩා ඉක්මනින් සංවේදනය වන අතර එවැනි සංවේදනක් ලැබුණු විටක ඔවුන්ගේ සංචලන වෙනස්කම් දැකිය හැකි වේ. ඔවුන් වඩා ආරක්ෂිත උස් ස්ථාන කරා යනු දැකිය හැකි වේ. මෙවැනි අවස්ථාවන්හි දී පූසන්ගේ ද වෙනදාට වඩා කලබලකාරී හැසිරීම් නිරීක්ෂණය වන බව කියැවේ.
මේ පරිසර වෙනස්වීම් වලට සංවේදී සතුන් අතරින් කිහිප දෙනෙකු පමණි. මීට අමතරව තව බොහෝ සතුන්ගේ හැසිරීම් කාලගුණික වෙනස්වීම් වල පෙර නිමිති විය හැකිය. එබැවින් නිතරම ඔබේ වටපිටාවේ සතුන්ගේ හැසිරීම් පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න. ඔවුන් ලබාදෙන සංඥා පණිවිඩ ගැන විමසිලිමත් වන්න, දැනුවත් වන්න. මන්ද, බොහෝ සතුන් අපට වඩා සංවේදනයෙන් ඉහළ අනාවැකි කරුවන් ය.
මූලාශ්‍ර –
Image Resource –
Leave a Comment