විවිධ රස මවන නිර්මාණකරුවන් අතර භීතිය මැවිය හැකි ඇත්තන් අල්ප ය. ඒ විරල හැකියාව උපතින් රැගෙන එන්නන් ඊටත් අල්පය. කියවන්නා භීතියෙන් මුසපත් කිරීමේ සහජ දක්ෂතාවක් සතු අද්භූත නවකතා ලොව රජු ගැනයි මේ සටහන.
1947 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ දී උපත ලැබූ ස්ටීවන් කින්ග් දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. ස්ටීවන් කුඩා කලදීම ඔහුගේ පියා පවුල අත හැර යාමෙන් පසු මව වූ නෙලී කින්ග් විසින් කුඩා ස්ටීවනුත්, වැඩිමල් සොයුරු ඩේවිඩ්වත් හදා වඩා ගත්තාය.
කුඩා කල සිටම ස්ටීවන් කින්ග් අන්ධකාරය, සර්පයන්, මීයන් සහ ඉඩකඩ අඩු ස්ථාන වැනි බොහෝ දේවලට ඉමහත් බියක් දැක්වූයේය. ඔහු නිතරම සිය ඇඳුම් අල්මාරිය තුළ යමෙක් සැඟවී සිටී යැයි සිතින් මවාගත් බියකින් ජිවත් වූ බව පැවසේ. සිය මවගේ අනුදැනුම මත නිතර පොත්පත් කියවූ ස්ටීවන් ලිවීමට පෙළඹෙන්නේ මනස පිරීගත් බියජනක සිතුවිලි වලින් මිදීම සඳහා ය. අද්භූත කතා රචනය ඔහුගේ සිතෙහි ඇති බිය සමනය කිරීමට උපකාර වී ඇත.
සිය සොහොයුරා විසින් අරඹන ලද ‘Dave’s Rag’ නම් සඟරාවට කතා ලිවීම තුළින් ස්ටීවන් කින්ග් ගේ දක්ෂතාවන් දැකගැනීමට ප්‍රදේශවාසීන් සහ මිතුරන් ට අවස්ථාව හිමි වූ අතර ඔහුගේ රචනයන් ඔවුන් අතර ජනප්‍රිය වන්නට විය.
උසස් අධ්‍යාපනය සඳහා මේන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන ස්ටීවන් කින්ග් විශ්ව විද්‍යාල සඟරාවක් වූ ‘The Maine Campus’ වෙත ද සතිපතා ලිව්වේය. විශ්ව විද්‍යාල දේශපාලනය තුළද ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිධරයෙකු ලෙස විශ්ව විද්‍යාලයෙන් පිටවිය.
නමුත් රැකියාවක් සොයාගැනීම පහසු නොවූ අතර ඔහු විවිධ රැකියා ගණනක නිරත විය. මේ වන විට ටබීතා ස්පෙන්සර් හා විවාහ වී සිටි කින්ග් සිය ජීවිකාව සොයාගත්තේ සුළු සුළු රැකියාවල නිරත වීමෙන් හා ඉඳහිට සඟරාවල පළවූ කෙටිකථා සඳහා ලැබුණු මුදලෙනි. අවසානයේ ඔහුට ගුරුවරයෙකු ලෙස රැකියාවක් ලබාගත හැකි වුවද ගුරු වෘත්තිය සමඟ අතිශයින් කාර්යබහුල වූ ඔහුට ලේඛනය මග හැරෙන ලකුණු පෙනෙන්නට විය. සති අන්තයන් හි ලිවීමේ නිරත වුවද, බොහෝවිට වෘත්තීය වගකීම් සමඟ ලිවීමට අවශ්‍ය මානසික නිදහස ඔහු සතුව නොතිබිණි.
දිනක් හදිසියේ පහළ වූ අදහසක් මත අලුත් අද්භූත කතාවක් රචනා කිරීම සඳහා කටු සටහනක් නිර්මාණය කළ ඔහු කතාවේ මුල් පිටු තුනක පමණ කොටසක් ලියා අවසන් කළේය. නමුත් එය කියවා බැලූ පසු ඉන් අසතුටට පත් කින්ග් එය කසළ බඳුනට විසිකළේය. පසුදා ඔහුගේ බිරිඳ විසින් කසළ බඳුන ට දමා තිබූ කොළ ගුලිය දිගහැර කියවූ අතර ඉන් විස්මයට පත්ව කතාවේ ඉතිරියද ලියන ලෙස ඉල්ලා සිටියාය. ඔහුට වාසනාව ගෙන දුන් අතිශය ජනප්‍රිය අද්භූත කතාව ‘Carrie’ නිර්මාණය වූයේ එලෙසය.
‘Carrie’ අලෙවියෙන් ලැබූ ලාභය හේතුවෙන් ගුරු වෘත්තියෙන් ඉවත්ව පූර්ණකාලීන ව ලේඛකයෙකු බවට පත්වූ ස්ටීවන් කින්ග් එතැන් සිට අද්භූත කතා 150 ක ට අධික සංඛ්‍යාවක් රචනා කළේය.
ඔහු ගේ රචනයන් අතර IT, The Shining සහ The Stand ඇතුළු කෘති ගණනාවක්ම මේ වන විටද ලෝකයේ වැඩිම වේගයෙන් විකිණෙන පොත් අතර ප්රමුඛස්ථානයක් දිනාගෙන ඇත. ඒ අතරින් The Sunset නිර්මාණය සඳහා Alex Awards සහ හඬ පොත් හෙවත් Audio Books බවට හැරවූ ඔහුගේ කෘති ගණනාවක් සඳහා Audie Awards ද හිමිවිය.
කින්ග් රචනා කළ නවකතා සහ කෙටිකතා ගණනාවකටම සත්‍ය ස්ථාන හෝ පුද්ගලයන් පාදක වී ඇති බව ඔහු බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළේය. The Shining කෘතියේ ප්‍රධාන චරිතය සැබවින්ම ඔහුගේ චරිතය ට බෙහෙවින් සමාන බව ඔහු විසින් පවසා ඇති අතර, Pet Sematary ඔහු ට දක්නට ලැබුණු සුරතලුන්ගේ සුසානයක් මත පදනම් වී ඇත.
ඔහුගේ අද්භූත කතා ගණනාවක්ම මේ වන විට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම ආභාෂය වී ඇත. IT, The Castle Rock, Pet Sematary වැනි නිර්මාණ ඒ අතරින් කිහිපයක් පමණි. එමෙන්ම IT Chapter Two, Diary of the Dead, Fever Pitch වැනි නිර්මාණ කිහිපයකට ඔහු රංගනයෙන්ද දායක වී ඇත.
මෙලෙස ඔහුගේ කෘති චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා යොදාගැනීමත් සමඟ ඔහු Dollar Babies නම් ව්‍යාපෘතියක් ඇරඹිය. ඔහුගේ කෙටිකතා අතරින් නම් කළ ලැයිස්තුවක් සිය වෙබ් අඩවියේ පළ කළ ඔහු, ඒවායින් ඕනෑම එකක් ඇමෙරිකානු ඩොලරයක මුදලක් ගෙවා චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා වෙන් කරගැනීමට අවස්ථාව ලබා දී ඇත. මෙය විශේෂයෙන් ම සිනමාව හදාරන සිසුන් සඳහා වටිනා අවස්ථාවක් වූ අතර මේ වන විටද කෙටිකතා දහයකට වැඩි සංඛ්‍යාවක් සිනමා නිර්මාණ සඳහා විවෘතව පවතී.
King of Horror හෙවත් භීතියේ රජු ලෙස නම් ලැබුව ද, ස්ටීවන් කින්ග් අංක දහතුනට අසාමාන්‍ය බියක් දක්වන්නෙකි. පොතක් යතුරුලියනය කරද්දී දහතුන්වන පිටුව හෝ දහතුනේ ගුණාකාරයක් ඇති පිටුවක් හමුවූවිට එය පසුවන තුරුම නොකඩවා ලිවීම ඔහුගේ පුරුද්දක් බවට පත්වී ඇත.
ස්ටීවන් කින්ග් ගේ පරිකල්පන ශක්තිය හා භීතිය මැවීමේ හැකියාව අද්භූත කතා ප්‍රිය කරන පාඨකයන් රැසකගේ හදවත් දිනා අවසන් ය. වර්තමානය වන විට ලෝකයේ ජනප්‍රියම කතුවරුන් අතර ඉහළම ස්ථානයක් දිනා සිටින ඔහු අද සමරන්නේ සිය හැත්තෑ හතරවෙනි ජන්ම දිනයයි. සාහිත්‍ය ලෝකය උඩුයටිකුරු කළ භීතියේ රජුට අපගේ සුභ පැතුම් මෙලෙස එක්කරමු.
Design by : Shanaka Vishwantha
References :
Images :
Leave a Comment