දැනුම

අඳුරු මායාවක සිරවූ අද්භූත කතා රචකයා

මායාව සහ භීතිය කැටිකොට ගත් නිර්මාණ රස නොවිඳින්නෝ දුලබය. එවන් නිර්මාණ තුළ නොඅඩුව ඇති කුතුහලය, රසවින්දනයේ උපරිමය වෙත අප රැගෙන යයි. විශේෂයෙන්ම මායාවේ ඇති සිත් ඇදගන්නාසුළු බවත්, ත්‍රාසය හා භීතියත් මනාව සංකලනය වූ සිනමා සිත්තමක ඇති ආකර්ෂණය මෙතෙකැයි කියා විස්තර කළ නොහැක්කේ මනසින්, සවනින් මතු නොව දෑසින් ද එවන් නිර්මාණයක රස උරා බොන්නට හැකි බැවිනි. මේ ඒ රස සියල්ල මැදි කොටගත් මෑත කාලීන සිනමා නිර්මාණයක රස විමසුමයි.

ඇලෙක්ස් කුඩා වියේදීම අද්භූත කතා ලිවීමේ හැකියාවක් සතු අති දක්ෂයෙකි. එක්තරා රාත්‍රියක තමා ලියූ කතා සියල්ලත් රැගෙන හොර රහසේ නිවසින් පිටව යන ඔහුගේ අරමුණ වන්නේ ඒ සියල්ලම පුළුස්සා විනාශ කිරීමයි. යම් කිසි හේතුවක් නිසාවෙන් ඔහු තුළ අද්භූත කතා කෙරෙහි වූ ආශාව ගිලිහී ගොස් ඇත. ඔහු විසින් සිය නිවස පිහිටි නිවාස සංකීර්ණයේ බිම් මහලේ ඇති බොයිලේරුව තම කතා එකතුවේ ආදාහනාගාරය ලෙස තෝරාගන්නා අතර, ඒ වෙත යාම සඳහා විදුලි සෝපානයට පිවිසෙයි. නමුත් එය හදිසියේම සිව්වන මහලේදී ඇණ හිටීම නිසා පිටතට පැමිණෙන ඇලෙක්ස් කිසිදා නොසිතූ අයුරින් මායාකාරියකගේ ග්‍රහණයට හසුවෙයි. 

ඇගේ මායා නිවස තුළ සිරකරුවෙකු ලෙස හෝ ජීවත් වීම සඳහා ඇලෙක්ස් කළ යුත්තේ එක් දෙයක් පමණි. එය නම් ඇය විසින් නියෝග කළ පරිදි දිනපතා බිය උපදවන සුළු කතා ලියා, ඒවා ඇයට ඇසෙන්නට කියවීමයි. එහෙත් තවදුරටත් අද්භූත කතා රචකයෙකු වීමේ බලාපොරොත්තුවක් නොමැති ඇලෙක්ස්ට ඒ සඳහා සිත යෙදවීම අපහසුය. ඔහුට උවමනා වන්නේ මේ සුන්දර එහෙත් අනුකම්පා විරහිත මායාකාරිය, නටාෂාගේ ග්‍රහණයෙන් මිදී නැවතත් සිය පවුල වෙත යාමටයි. ඔහුට පෙර මායා නිවසට ආකර්ෂණය වූ තවත් සිරකාරියක වන යැස්මින් හා නටාෂා ගේ සුරතලා වන ලෙනෝර් සමඟ ගෙවන්නට වන්නේ කුමන ආකාරයේ ජීවිතයක් ද? පිටවීමේ දොරටුවක් නොමැති නිවසක සිරකරුවෙකු වන ඔහුට නිදහස ලබා ගත හැකි වෙයිද?

අඳුරු මායා (Dark Fantasy) ගණයේ චිත්‍රපටයක් වන Nightbooks, 2021 වසරේ සැප්තැම්බර් 15 වන දා Netflix ඔස්සේ නිකුත් වූයේ දරුවන් සඳහා නිර්මාණය වූ චිත්‍රපටයක් ලෙසය. නමුත් එය හුදෙක් කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය වූ ‘සරල’ චිත්‍රපටයක් නම් නොවේ.

David Yarovesky ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි යොදාගෙන තිබූ සංගීතය, විශේෂ ප්‍රයෝග හා සීමිත පසුතල සඳහා විශේෂ අවධානයක් දක්වා ඇති බව මෙම චිත්‍රපටය නරඹන කවරෙකුට වුව ද පැහැදිලිව පෙනෙනු ඇත. නිර්මාණය තුළ සිදුවන සියලු සිදුවීම් සඳහා මනාව ගැළපෙන ලෙස සංගීතය යොදාගෙන තිබූ අතර, චිත්‍රපටයේ වැඩි ම සිදුවීම් ගණනකට පසුතලය වන මායා නිවස ඉතා සැලකිල්ලෙන් යුතුව ප්‍රේක්ෂකයා හට ඉදිරිපත් කිරීමට සිනමා නිර්මාණකරුවා සමත්ව ඇත. පූර්ව ප්‍රචාරක පටයේ සිටම මගේ ද ආකර්ෂණය දිනාගත් මායාකාරිය සතු දැවැන්ත පුස්තකාලය එක් නිදසුනක් පමණි.

සිනමා නිර්මාණයක සාර්ථකත්වය සඳහා අතිශයින් වැදගත් වන වේශ නිරූපණය, ඇඳුම් පැළඳුම් හා ආලෝකකරණය වැනි අංශ සඳහා චිත්‍රපටය පුරාවට දක්වා තිබූ අවධානය ප්‍රශංසනීයය. 

විශේෂයෙන්ම මායාකාරිය හෙවත් නටාෂා ගේ ඇඳුම් පැළඳුම් හා වේශ නිරූපණය ප්‍රේක්ෂක බහුතරයකගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ සාම්ප්‍රදායික ‘මායාකාරියගේ’ ස්වරූපයෙන් බැහැරව එම චරිතය වෙනස්ම ආකාරයකින් ගෙන හැර දැක්වීමෙහි අදාළ ශිල්පීන් දැක්වූ දක්ෂතාව නිසා විය යුතුය.

සීමිත චරිත ගණනක් යොදාගෙන නිර්මාණය වූ සාර්ථක නිර්මාණයක් බවට පත් කිරීම සඳහා එහි නළු නිළියන්ගේ දායකත්වය පිළිබඳව පැවසිය යුතුමය. ප්‍රධාන චරිතවලට පණ පෙවූ Winslow Fegley (ඇලෙක්ස්), Krysten Ritter (නටාෂා) සහ Lydia Jewett (යැස්මින්) සිය චරිත වලට උපරිම සාධාරණයක් ඉටු කර ඇත.

සාමාන්‍ය අද්භූත චිත්‍රපටයක් ලෙස මතුපිටින් පෙනුණද, Nightbooks හි අභ්‍යන්තරයෙන් දිවෙන පණිවිඩය සරල නොවේ. සෙසු සම වයස් දරුවන්ට වඩා වෙනස් අදහස් හා හැකියාවන් සහිත ඇලෙක්ස් හා යැස්මින් වර්තමාන සමාජය තුළ නිරන්තරයෙන් විහිළුවට ලක්වන ‘වෙනස්’ දක්ෂතාවන් හා රුචිකත්වයන් සහිත පුද්ගලයන් නිරූපණය කරන සංකේතයන්ය.

“The thing that makes you weird makes them ordinary…So ordinary
people are gonna try and take that away from you by calling you names like
Tryhard or – Creepshow.”

නමුත් සිය දක්ෂතාවයන් ගැන විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට Nightbooks ඔස්සේ නරඹන්නන් අතර ඉන්නා ඇලෙක්ස් වැන්නන් හට ධෛර්යය සපයයි.

එමෙන්ම සත්‍යයෙහි බලයද මෙම චිත්‍රපටය තුළ සාකච්ඡාවට ලක්වන ඉතා වැදගත් පණිවිඩයකි. චිත්‍රපටය තුළ පෙරළියක් ඇති කරන සිදුවීම් මාලාවකට වස්තු විෂය වන්නේ ඇලෙක්ස් විසින් ඥානාන්විතව යොදාගන්නා සත්‍යයේ බලයයි.

“Every good story hints at truth. The more truth, the more powerful the story.” 

J.A. White විසින් රචිත සුප්‍රකට Nightbooks ග්‍රන්ථය ඇසුරු කර ගත් මෙම සිනමා සිත්තම මුල් කෘතියට වඩා සියුම් වෙනස්කම් සහිතව සහ ඇතැම් චරිත ඉවත් කොට නිර්මාණය කර ඇත. නමුත් චිත්‍රපටයකට හිමිවන සීමිත කාල සීමාව උපරිමයෙන් භාවිත කොට සිනමා නිර්මාණය තුළ ‘හිස්තැන්’ නොතබා නිර්මාණය කිරීමට සිනමා නිර්මාණකරුවා සමත්ව ඇත. සමස්තයක් ලෙස ගත් විට නැවත නැවතත් නැරඹිය හැකි රසවත් නිර්මාණයක් වන Nightbooks ඔබේ හදවත ද ඇද බැඳ ගනු ඇති බව නිසැකය.

Design by : Pathum Lakshan

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හේෂානි ධර්මපාල

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment