Interview

‘අඳෝනාව’ – ඩබ්.ඒ වරුණ ප්‍රියංකර සමඟ පිළිසඳරක්…

විසිපස් වසරකට පසුව වුව ද අදටත් සිත් කම්පා කරවන ගුණයෙන් යුත් ඇඹිළිපිටියේ  1889-90 සමයේ දී පැහැරගෙන ගොස් අතුරු දහන් කරන ලද පාසල් සිසුන්ගේ කඳුලු  කතා පුවත,  “අඳෝනාව” ග්‍රන්ථය පිලිබඳව එහි රචකයා වන වරුණ ප්‍රියංකර සමඟ Colombo Beacon අපි මෙසේ කතා කලෙමු.

Q: ඔබේ පුද්ගලික පසුබිම ගැන මුලින් ම දැනගන්න කැමතියි.

මගේ නම ඩබ්.ඒ වරුණ ප්‍රියංකර .මගේ ගම ඇඹිලිපිටිය.මගේ පාසල මෙම ශිෂ්‍ය අතුරුදහන් කිරීම හා සම්බන්ධ ඇඹිලිපිටිය මහා විද්‍යාලය.දැනට උසස් අධ්‍යාපනය හදාරනවා.මේ වෙද්දී මම පොත් කිහිපයක් රචනා කරලා තියනවා.

Q: “අඳෝනාව” , දැන් ඔබේ ග්‍රන්ථය  ගැන කතා කරමු ද?

අඳෝනාව කියන්නේ නීතිය හා අපරාධ විද්‍යාව හා සම්බන්ධ පර්‍යේෂණ ග්‍රන්ථයක්.එයට වස්තු බීජය වුනේ 1989-90 වසර වලදී සිදුවූ ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතනය.මේ ග්‍රන්ථයේ විශේෂත්වය තමයි අධිකරණ ඉතිහාසයේ සඳහන් වන එකම නඩු කාරණාවක් හා සම්බන්ධව වැඩිම අධි චෝදනා, වැඩිම සාක්ශි ගණනක් සහිත ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතනය හා සම්බන්ධව පර්‍යේෂණය කල ග්‍රන්ථයක් වීමයි.

Q: දැන් භීෂණය ඉවරයි.ඒ බියකරු  අඳුරු සෙවනැලි පවා දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.විසිපස් වසරක් පමණ ඈත  අතීතයක් සහිත ඛේදනීය සිදුවීමක් , එහෙමත් නැත්නම් යටගියාව ආයෙමත් මේ විදියට හාරා අවුස්සන්න  හිතුවේ ඇයි?

ලංකාව ඉහල සාක්ෂරතාවයෙන් යුක්ත රටක් වුවත් අපේ රටේ බහුතරයකට අපරාධ විද්‍යාව හා ඝාතනය පිලිබඳව දැනුම අල්පයි. ඒත් අපරාධ පාලනයට එය අවශ්‍ය ම යි.එදා වුනෙත් සාමාන්‍ය ජනතාව රටේ දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් වෙනුවෙන් නිකරුනේ අතකොළුවක් වුණ එක. ඒ හැගීම මූලික කරගත් නොදැනුවත්කම උඩ.අපේ රටේ දේශපාලන පක්ෂ බාහිරට ඔහුන් අතර ප්‍රතිවිරෝධී බවක් පෙන්නුවට, හැමදාමත් අභ්‍යන්තරව ඔහුන් හැමෝම හැමදාමත් වගේ සුරක්ෂිත වෙන වැඩපිලිවෙලක් අනුගමනය කලේ. අන්තිමට පීඩනයට පත් වුනේ අපේ රටේ සාමාන්‍ය ජනතාව.පාලකයා හා පාලිතයා අතර සම්බන්ධීකරණය දුර්වලයි.මට ඕන වුණා වැලළුණු අතීතය ආපස්සට හාර අවුස්සනවට වඩා සාමාන්‍ය මිනිසුන්ට නීතිය හා අපරාධ විද්‍යාව සම්බන්ධව මනා සමාජාවබෝධයක් ලබා දෙන්න මූලිකවම.

Q: “අඳෝනාව” පර්‍යේෂණ ග්‍රනථයක්.ඔබ භාවිත කල පර්‍යේෂණ මූලධර්ම ගැනත් කතා කරමු ද?

මහාචාර්‍යය නන්දසේන රත්නපාල මහතා මෙවනි ග්‍රන්ථ සඳහා යොදාගත් මූලධර්ම මම ත් මෙම ග්‍රන්ථය සම්පාදනයේ දී භාවිත කලා.ඒත් ඊට වඩා මට ම ආවේණික වුණු ක්‍රමයක් පස්සේ දී මම යොදා ගත්තා.මගේ ක්‍රමය මෙහෙම යි.

1.මෙම ශිෂ්‍ය ඝාතනය හා සම්බන්ධ විත්තිකාර හා පැමිණිලිකාර පාර්ශවයන්ගේ සාක්ශි දාසය දාහක් මම මුලින්ම කියෙව්වා.ඊට පස්සේ ඒ කාල වකවානුවේ මේ හා අදාලව ගනුදෙනු කල මාධ්‍යවේදීන් හා මේ පිලිබඳව නිහඩ පිලිවෙත් අනුගමනය කල වගකිය යුතු පුද්ගලයන් සමඟ කතා කලා.

2.සිදුවීමට අදාලව අතරමැදි පාර්ශවයන් සම්බන්ධ කරගැනීමේ මාර්ග අධ්‍යයනය කලා.

3.අදාල පුද්ගලයන් සමඟ සම්බන්ධතාවන් ගොඩ නඟාගෙන මෙම ශිෂ්‍ය ඝාතනය සම්බන්ධව උපක්‍රමශීලීව හැකි තරම් සත්‍ය තොරතුරු ලබා ගත්තා.

4.අවසානයේ ලබාගත් සියලු තොරතුරු සාමාන්‍යකරණය කර ගොනු කරගත් සියලු තොරතුරු වල පිටපත් මේ සිදුවීමට ඍජුව සම්බන්ධ ජීවතුන් අතර සිටින පාර්ශවන්ට ලබා දී අඩු පාඩු හෝ තවදුරටත් අන්තර්ගත විය යුතු යැයි හැඟෙන කරුණු විමසා මේ පොත අවසානයේ දී සකස් කලා.වසර තුනක් පමණ කාලයක් ඒ සියල්ලටම ගත වුණා.

Q: මෙම ග්‍රන්ථය රචනාවේ දී ඝාතනයට සම්බන්ධ ජීවතුන් අතර සිටින පාර්ශවන්ගෙන් ඔබට බලපෑමක් ඇති වුනේ නැද්ද?

නෑ.ඒ විධියේ බලපෑම් නම් කොහෙත්ම ඇති වුනේ නැහැ.

Q: මේ ග්‍රන්ථය පරිශීලිනයේ දී මට දැනුණු දෙයක් තමයි ඔබ එවකට පැවති දේශපාලන අධිකාරියට මෙම ඝාතනය සම්බන්ධයෙන් දැඩිව චෝදනා කරනවා යන්න.මට කියන්න ඔබ මගේ මතයට පක්ෂ ද? විපක්ෂ ද?

ඒක මෙහෙමයි.මෑත දාශක දෙක තුන ඇතුලේ ලංකාවේ බලයට පත් වූ සෑම දේශපාලන අධිකාරියක් ම කලේ තමන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් තම තමන් රක්ෂණය වුණු එක.බලයට පත් වුණු සෑම පක්ශයක් ම ක්‍රියාවට නැංවූ කාර්‍යක්ෂම ජාතික ප්‍රතිපත්තියක් තිබුනෙ නැහැ.මෙවනි ඛේදනීය සිදුවීම් වලට ඒ නිසා ඒ සෑම දේශපාලන අධිකාරියක් ම ඍජු ව හෝ වක්‍රව වගකිය යුතු යි.

Q: මෙවනි ග්‍රන්ථයක් සම්පාදනයේ දී බොහෝ  කතුවරුන්  කරන්නේ අවසානයේ දී තමන්ගේ දේශපාලන මතය ගොඩනඟන එක.ඔබේ පොත සම්බන්ධයෙන් මගේ අදහස කොපමණ දුරකට වලංගු ද?

ඔව්.මගේ පෞද්ගලික දේශපාලන මතයක් නිරූපණය වෙනව තමයි.ඒත් මේ කතාව සම්පාදනයේ දී මම දේශපාලකයන්ගේ හා විධායකයේ සහයෝගය ලබා ගැනීමට පුලුවන්කම තිබුනත් එසේ නොකලේ මෙම ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතනය මුලුමනින් ම දේශපාලනීකරණය කරන ලද සිදුවීමක් ලෙසට මගේ ග්‍රන්තය හරහා ඉදිරිපත් කරන්න අකමැති වුණ නිසා.

Q: “අඳෝනාව” ග්‍රන්ථය සමාජයේ මොන වගේ පාඨක ප්‍රජාවකට වැඳගත් වෙයි කියල ද ඔබ හිතන්නේ?

හැම පාඨකයා ම විවිධ පරාසවල ඉහළ දැනුවත් බවකින් යුත්ක යි.ඒත් මේ ග්‍රන්ථය සමාජවාදී විශයන් හා සම්බන්ධ දේශපාලන නඹුුරුතාවයන් දක්වන පුද්ගලයන්ට, නීතිය හා අපරාධ විද්‍යාව හදාරණ පුද්ගලයන්ට වගේම විශේෂයෙන් ම  නීති පීඨ හා නීති විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරණ සිසුන්ට ඉහල වැඳගත් කමකින් යුක්තයි.ඒ නෛතික වටිනාකමක් සහිත තොරතුරු සමඟ ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතනය හා සම්බන්ධ බාහිර සමාජ වටපිටාව අධ්‍යයනය කිරීමට.

Q: මේ ග්‍රන්තය මිලට ගන්න පුලුවන් ස්ථාන , මිල හා මේ සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කිරීමට විමසීමකට කැමති කෙනෙක්ට ඔබ හා සම්බන්ධ විය හැකි මාධ්‍ය ගැන කතා කරමු ද?

මේ ග්‍රන්තය දිවයින පුරා ඇම්.ඩී ගුණසේන , සරසවි හා ගොඩගේ ප්‍රකාශකයන්ගේ පොත් සාප්පු තුලින් ඔබට මිලට ගත හැකියි රුපියල් හයසීයක මුදලකට.ඒ වගේම නුදුරු අනාගතයේ දී ම අන්තර්ජාලය හරහා ගෙවීම් කොට මේ පොත මිලට ගැනීමට අවස්ථාව උදා වෙනවා. [email protected] යන මගේ විද්‍යුත් තැපෑල හරහා හා මගේ දුරකතන අංකය වන 0719597071 මඟින් ද ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වීමට අවස්ථාව තියනවා.

Q: අවසානයේ දී මෙම ග්‍රන්ථය ආරම්භයේ සිට අවසානය දක්වා ම ඔබට උපකාර කල මතක් කල යුතු බොහෝ දෙනෙක් ඇති.ඒ අයත් කෙටියෙන් මතක් කරමු ද?

ඔව්.මගේ අම්මට යි, තාත්තටයි,මගේ සහෝදරයාටයි මුලින් ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම චරිත දිසානායක රසායනික විද්‍යාව  ගුරුතුමාත්, ප්‍රසාද් හසන්ක මහතාත් , සත්‍යානන්ද භෞතික විද්‍යා ගුරුතුමත් ආදරයෙන් මතක් කරනවා.

“දිනය 1989 නොවැම්බර් 21.මෙය මූසල රාත්‍රියකි.බැල්ලියක මහ හඬින් උඩුගුරු ලෑවාය.ඝන අඳුර අවට වෙලාගෙන ඇත.වෙලාව රාත්‍රී 1.20 ට ආසන්න ය.තැබුවේ විද්‍යාලීය හිසට වෙඩි පහරකි…

නිමි.

ඒ හඬ යලිත් ඇසුනේ නැත.”

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment