සාමාන්‍ය

අප්පච්චි…

“පොඩ්ඩියේ,
උඹ හොඳින්යැ? විස්ස විද්‍යාලෙ නිවාඩුවක් හම්බෙන්නෙ කවදයි? අවුරුද්දටවත්  එන්න හැටියක් නැතෙයි? අප්පොච්චිට ටිකක් අමාරුයි. උඹ ගැන අහනව නිතර දෙවේලෙ. මටත් ගෙදරක ඉන්න හැටියක් නෑ. හේනෙ කරල් කඩනව මේ ටිකේ. ඉඩක් තියේ නම් විතරක් ඇවිල්ල පලයන්. උඹට රත්නත්තරේ පිහිටයි.”

–  අයියා –

හංදියේ කොමිනිකේසන් එකේ ජගත් අයියට කියල ලියවගත්තු ලියුම් කරදහියක් අයිය හොස්ටල් එකේ ලිපිනෙට මට එවල තිබුනෙ සති දෙකකට විතර කලින්. පිලිතුරු ලියමනක් යැව්වත් ලැබෙන්නම සති දෙකක්වත් යන එකේ තව සති දෙක තුනකින් විභාගෙ ඉවර වෙලාවම ගෙදර යන්න හිතාගෙන මන් අයියගෙ ලියුම් කෑල්ල සිය පාරක් විතර කියව කියව මුකුත් නොලියාම පොත අස්සටම දැම්ම. ඒත් හිත නම් මොකක්දෝ හිස් කමකින් පිරිල තියනව කියලයි හැම තිස්සෙම දැනුණෙ.

ඔරලෝසුවෙ පැයේ කටුව හරියටම උදේ එකට ලං වෙන්න තත්පර දෙකයි තුනයි. මං නිදි කිරාගෙන පොත උඩට වැටෙන්න පටන් ගත්ත. මේ අවුරුද්දෙ අවසාන සෙමෙස්ටරේ විභාගෙ අන්තිම පේපරේ හෙට. තව පැය ගානයි තියෙන්නෙ ඔලුවෙ එක බරකින් නිදහස් වෙන්න. දින කපපු කැලැන්ඩරේ මගේ ඇස් දෙක නවතිද්දි ආයිමත් පපුව ඇතුලෙන් හීන් කෙඳිරිල්ලක් එන්න පටන් ගත්තෙ විභාගෙට තියන බයකට නිසා නෙමෙයි. මාස ගානකින් ගෙදර යන්න බැරිවෙච්ච නිසා. අම්මල ලඟ ඉන්නම ඕනි දවස්වල දෙයියො මාව ඒ අසරණයින්ගෙන් ඈත් කරල. අඩුම තරමෙ වේල් තුනට කන්න ටික හදල දීල ගෙවල් මිදුල් අතුගාල හරි අහිංසක අම්මට හයියක් වෙන්න තිබ්බ එක මේ කරුම කොළඹ ජීවිතේ හරි පුදුම විදියට අහුරල දාල.

තව පාඩම් කරන්න නම් ටිකක් තියනව. ඒත් අන්තිමට කියවපු පිටුව එහෙම්මම කොනකින් නවල තියල මං නැගිට්ටෙ නිදාගන්න යන්න හිතන්. ගෙදරක හිටියනම් නිදිමත යන්න තේ ඩිංගක් හරි හදල දෙන්න අම්ම නිදි මරාගෙන මං ගාවින් හිටිය. එක සැරේටම අම්මගෙ  අහිංසක මූණ හරියටම මගේ පපුව මැද රිද්දගෙන මගේ ඉස්සරහ මැවිල පේන්න පටන් ගත්ත. ඒ අහිංසක මූණෙ ලොකු කඳුළු කතාවක් ඉස්සර ඉඳන්ම ලියවිලයි තිබුනෙ. ඒත් අම්ම හැම තිස්සෙම ඒක හිනාවකින් වහගෙන ඉන්න උත්සාහ කලා. උසස් පෙල කරන කාලෙ අම්ම මගේ ලඟ පැදුරක් එලාගෙන කකුල් දෙකේ වහන මදුරුවො එලෙව්ව මතකයි. පැයෙන් පැයට කහට කෝප්පෙ ලඟටම අල්ලන අම්ම ඒ වෙලාවෙත් ඉරිද පොලට ගෙනියන්න කියල පැදුරු වියන්නෙ ඒකෙන් කීයක් හරි වැඩියෙන් අතට එන නිසා. වැඩියත්ම පොලී මුදලාලි ගාව උකස් කරපු චේන් පොට බේරගන්න සල්ලි ඕනි නිසා කියලයි ඈ නිතර දෙවේලෙ කියෙව්වෙ.

කල්පනා ලෝකෙන් හීන ලෝකෙට මාරුවෙලා උදේ නැගිටිනකොට හොස්ටල් එකේ අනිත් උන් ඔක්කොම විභාගෙට යන්න ලෑස්තිත් වෙලා. ඒ හින්ද නවය වෙද්දි හෝල් එකට දුවා ගත්තෙ පුදුම අමාරුවෙන්. කොහොම හරි දුවල හති වැටිච්ච එකෙක් වගේ විභාගෙ ඉවරවෙලා හෝල් එකෙන් එලියට එද්දි දැනුනෙ පුදුම සැහැල්ලුවක්. අන්තිම පේපරේනෙ. ගෙදර යන්න පැක් කරගත්තු මලු ටිකත් අතින් කටින් එල්ලගෙන 138ක පිටකොටුවට ආවෙ පුදුම හදිස්සියකින්. උතුරන්න සෙනඟ. පේමන්ටෙකේ කඩ කෑලි ටිකත් පහු කරන් මං ලංගම බස් ගහන තනට ඇදුනෙ අඩියට දෙකට්

ඒ අතරෙ පිටකොටුවෙ ගිනි තපින වෙලෙන්දොන්ගෙ දුක මගේ හිත අවුලල දැම්ම. ඉටිකොළ කෑලි ටිකක් වට කරගෙන  අව් කාස්ටකෙන් බේරෙන්න මොකක් හරි අටමගලක් අටෝගෙන බඩු විකුණන හැම එකෙක්ගෙම දෛවයේ මගේ වගේම කඳුළු කතාවක් ලියවිලා ඇති නේද කියල ඒ වෙලාවෙ මට හිතුණා. උගුර කැඩෙනකන් ලාභයි….ලාභයි…. කිය කිය බෙරිහන් දෙන උන්ගෙ ඒ වචන ටික අස්සෙම දුක හැංඟිලා තිබුණත් ඒ දුකම උන්ගෙ ශක්තියක් වෙලා ජීවන අරගලය වෙනුවෙන් දෝංකාරයක් විදියට එලියට පිටවුණා. මහා ලොකු ලාභයක් නැතත් දරු පවුල එක්ක දවස ගැට ගහගන්න උන් විකුණන බඩු ගන්න ආපු කොළඹ හතේ “පොෂ්” නෝනල දිගින් දිගටම කේවල් කරන හැටි දැක්කම මගෙ පපුව හෝස් ගාල පිච්චිල ගියේ වෙන මුකුත් නිසා නෙවෙයි උන් මේ කේවල් කරන්නෙ අර අසරණයින්ගෙ ජීවිතේ එක්ක නේද කියල හිතෙනකොට.

විටින් විටේ ජනේලෙ අස්සෙන් මගේ පැත්තට ඇදුණ හුළඟ ඇඟේ ඇවිල්ල හැප්පෙනකොට මට දැනුණෙ පුදුම තරම් සනීපයක්. ඒ තරම්ම බස් එක ඇතුලෙ තියෙන්නෙ තැම්බෙන තරමෙ රස්නයක්. මං සැකේටම ඔරලෝසුව දිහා බැලුවෙ හොඳටෝම දවල් වෙලා ඇති කියල හිතාගෙන. කොහේ වරදින්නද..ඉර මුදුන් වෙලා හරියටම විනාඩි දහයයි ගිහින් තියෙන්නෙ. සිලි කවරෙ ඔතපු වතුර බෝතලේ බෑග් එකෙන් අරන් උගුර කට තෙමා ගත්තෙ දිව ගිලෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි. මං ආයිමත් බෝතලේ සිලි කවරෙ එතුවා.

“මොකෝ බන් ඔය වතුර බෝතලේ ශොපින් එකක ඔතාගෙන..”

“වතුර හැලෙනව බන් බෑග් එක සේරොගෙම. වතුර යනවට එතුවෙ.”  මං උත්තර දුන්නෙ පුදුම වෙලා බලන ගමන්.

ර්‍ඊ..යා.. බන්. මහපොළ දැම්මහමවත් අලුත් බෝතලයක් ගනින්කො ඕකෙ වතුර යනවනම්.”
“අනික හැටි බලපන්කො. කොළඹ ආව නම් පොඩ්ඩක් පොෂ් වෙලා හිටපන් බන්. කැම්පස් එකේ එවුන්ට ඕවගේ අපේ පොඩි දේවලුත් ජුවල් බන්. බලහන් මම. හද්ද වන්නියෙ කියල දැන් හොයන්නවත් පුලුවන්ද..”

දවසක් ලෙක්චර් එකක් අතර මැද්දෙ වතුර බොද්දි බෝතලේ සිලි කවරෙ දාන් හිටිය කියල එක එක ඒව කියපු සුරේඛා මතක් වෙලා එක සැරේටම මට හිනා ගියා. බස් එකේ මිනිස්සු දැක්කනම් හිතයි ඇත්තටම මට පිස්සු කියල. එදත් මං අන්තිමේදි දෙන්න උත්තරයක් නැතිව යාන්තමට හිනාවෙලා බිම බලාගත්ත මතකයි. ඒ තරම් පුංචි දේකින් මාව කිරපු  මැනපු සමාජයට මං හිත යටින් හිනාවුණා. ඒත්….. මොකක්දෝ කියාගන්න බැරි දෙයක් පපුව මැද්දෙ පත්තු වෙච්ච දවසක් එදා. මනුස්සයෙක් වැදගත්ද නැද්ද කියල වැඩකට ඇත්තෙම නැති පුංචි දේවල් වලින් තීරණය කරන අබුද්දස්ස කාලයක් මේක.
මං ගෙට වෙච්ච දවසෙ අම්ම දැනමුතුකම් දෙද්දි කියපු කතාවක් මගේ ඔලුවට ආවෙ එක සැරේටම.
” උඹ කවදකහරි උඹේ මේ අම්මටයි, අප්පච්චිටයි, අයියටයි නම්බුවක් වෙන විදියට වැදගත් කෙල්ලෙක් වෙයන් මයෙ දුවේ..” අම්ම එහෙම කිව්වෙ ඇඟේ දවටන් හිටපු රෙද්දෙ කොනක් උස්සල ඇස් දෙකට ආපු කඳුළු පිහින ගමන්. අම්මලගෙ කාලෙ වැදගත් අය කොහොම මැන්නද කියන්න මන් දන්නෑ හරියටම. ඒත් අද කාලෙ නම් මට වැදගත් කියන ගොඩට වැටෙන්න කොහෙත්ම වුවමනාවක් නෑ අම්මේ..
අම්ම මේ වෙලාවෙ මගේ ලඟ නැතත් මං මටම  කියාගත්තා.අම්මට කිව්වොත් නන් හිනාවේවි මටම.

යන්න කියල ස්ටාට් කරපු බස් එක තාමත් එක තැන පැද්දි පැද්දි  සෙනග එක්කාසු කරනව. යනපාටක් නම් පේන්නම නෑ. මට මහ ලොකු හදිස්සියක් නැතත් අවුරුද්දට  ගෙවල් වල යන්න දින ගැනපු බස් එකේ හිටපු ගොඩක් එවුන්ගෙ මූණු මේ සුනංගුවට බෙරිවෙලා ගිහින් තිබුණෙ. පොල් පටවන්න වගේ සෙනඟ පටවලා තියෙද්දි රස්නෙ ගැනනම් අහන්නත් දෙයක්ද.. ඒ මදිවට, තව නග්ග ගන්නත් දඟලනව.බලනකොට කොයි කාටත් තියෙන්නෙ තණ්හාව. උන්ට ටිකකින් සෑහෙන්න නම් කොහොමත් අමාරුයි.

ඇඟෙන් ගිනිදාන තරම් රස්නෙ මැද්දෙ මිනිස්සුන්ගෙ අරියාදු අහන්නත් බැරිම තැන බස් එකත් කතරගම එන්න පිටත් වුණා. ඒ එක්කම වගේ ඉස්සරහ දොරෙන් එල්ලිල බස් එකට ගොඩ වුණු අඹ අච්චාරු සීයා, මට මතක් කලේ මගෙ පුංචි කාලෙ.
ගෙයින් එලියට බහිනකොටම ටිකක් දකුණු පැත්තට වෙන්න තියන සීනි අඹ ගහේ එක ගෙඩියක්වත් ඉදෙනකන් පැහෙනකන් ඉන්නෙ නැතුව අයියයි මමයි ඒ දවස් වල අච්චාරු හදන් කාපු හැටි අදටත් ජීවිතේ ලස්සනම මතකයන්.
” උඹල ඔය ගහේ එක ගෙඩියක්වත් හැදෙන්න දෙන්නෙ නැද්ද මං අහන්නෙ..”
පෙලක් දවසට අප්පච්චි අඹ ගැට පිටින්ම කඩාගෙන ඒ මදිවට අඹ කිරිත් එක්කම ඔහේ ලුණු වල ඔබාගෙන කන අපි දෙන්නට තරවටු කරා.

“ඔච්චරටම බොලාට කන්න ඕනෙ නම් ඔය කිරි යන්න හොඳට හෝදල නංගිටත් දීල කාපන්..”

කොච්චර සැර වුණත් ඒ අපිට තියන ආදරේට කියල අපි දැනගත්තෙ ඊලඟට අප්පච්චි අයියට කියන වචන ටිකෙන්. වත්තෙ තියන කන්න පුලුවන් කියල හිතෙන හැම ගහකම ගෙඩියක් හරි හැංඟිලා තියනව බොරු. ඒ තරමටම ගහක ගෙඩියක් පේන්න බැරි කාලයක් අයියටයි මටයි තිබුණා. ඇල අයිනෙ වතුරට නැමිල තිබිච්ච පේර ගහේ අයියව නග්ගල කඩල දෙන ඔක්කොම ගෙඩි පල්ලෙහා ඉඳන් ලෑටි ගාල කෑව මතකයි.

” මටත් තියපන් ගෙඩියක්.තෝ ඔක්කොම කනවද..ආහ්..”  කියල අහද්දිත් ඔක්කොම ගෙඩි ටික කාල අන්තිමට අයියගෙන් මදි පාඩුවට ගුටිත් කෑවා.

“අතීතය සිහිනයක් පමණයි…
සැබෑ සුවඳක් නෑ…”

කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සින්දුවක් බස් එකේ රේඩියෝ එකේ අතරින් පතර කැඩි කැඩි ඇහෙද්දි මන් ආයිමත්  ජනේලෙන් එලිය බැලුවෙ හිස් බැල්මකින් ඕනවට එපාවට.

එක පිම්මට ඇදෙන බස් එක දෙපැත්තෙ තියන ගස්, ගෙවල් වේගෙන් පාස් කරගෙන ගියා. ජීවිතෙත් හරියට බස් එක වගේ.. කාලය අස්සෙන් ඔහේ ගතවෙලා යනව. ගිය අවුරුද්දෙ වෙච්ච දේවල් අද ඊයෙක වුණා වගේ. ගිය පාර අවුරුදු තිබුණෙ නෑ. මේ පාර නම් කොහොමත් නෑ.. අප්පච්චි ලෙඩ ඇඳේ තියන් කිරිබත් කපන්න තරම් හයියක් අම්මගෙ අත් දෙකේ තාම නෑ. හිනාවෙවී රතිඤ්ඤා කරලක් පත්තු කරන්න තරම් හිතට සතුටක් තවම අපිට නෑ. අප්පච්චි ලෙඩ නොවී හිටියනම් අපිටත් ඉතින් හැමදාම අවුරුදු තමයි. අප්පච්චි පැරලයිස් වෙන්න කලින් තිබුණු හැම අවුරුද්දකම මුළු ගේම උතුරල යන්න තරම් සතුට අපිට නොතිබුනා නෙවෙයි. දුප්පත්කම අස්සෙ කොච්චර අගහිඟකම් තිබුණත් අපේ පුංචි ගෙයි වහල යට අවුරුදු තිබුණා. ගමේ අවුරුදු දැක්ක කාලයක් මතකයෙ අස්සකවත් නෑ. ඒ දවස් වල අම්ම කියන කියන සැරේට චරු චුරු ගගා අයියයි මායි මාරුවෙන් මාරුවට හන්දියෙ මෝලෙ පිටි කොටන්න පෝලිමේ හිටිය මතකයි. අයිය නම් දහයෙ අයිස් පැකට් එකක් ලැබෙනව කිව්වොත් මිසක් ඔය වගේ වැඩ වලට ගියේ නෑ. ඒත් අම්ම විඳින දුක අස්සෙ මට තත්පරයකටවත් අම්මගෙ හිත රිද්දන්නෙ ඕනි වුණේ නෑ. අවුරුදු මාසෙ ලබන්න කලින් එන මාර්තු මාසෙ කොහු මෝලෙ අම්මට වැඩ වැඩී. කොහු මෝලෙ වැඩ වැඩිවුණා නෙවෙයි ඇත්තම කිව්වොත් අම්ම අපි වෙනුවෙන් වැඩියෙන් වැඩ කළා. අවුරුද්දටවත් අපිට හරියට ඇඳුමක් අරන් දෙන්න, අවුරුද්දෙ ගෙදරට එන අයට දෙන්න කැවිලි පෙවිලි ටිකක් හදන්න අමතරව එකතු කරන හැම සතයක්ම අම්ම පරිස්සම් කළා. අප්පච්චි ඒ සල්ලි පිරිමහගෙන පොලේ ගිහින් අවුරුද්දට  බඩු අරන් ලෑන්ඩ් මාස්ටරෙන් එනකොට අපිට තියෙන්නෙ පුදුමාකාර සතුටක්.
හැබැයි අයියගෙ මගෝඩි වැඩ ටිකක් නිසා අවුරුදු දෙක තුනකම අපිට අවුරුදු නැති වුණා අද වගේ මතකයි. අපේ ගෙදරට එන්න හැරෙන තැනම තියන සියාතු සීයගෙ පොල් ඉඩමෙ අතරින් පතර තියන කජු ගස් වල කජු කැඩුව කියල අයිය බැනුම් ඇහුවෙ නවයෙ පන්තියෙ විතර ඉද්දි. ඊට පස්සෙ නම් ඉතින් කොයිවෙලේ ගංජ හේන අල්ලන්න පොලීසියෙන් ගෙට පනීද කියල බයෙන් තමයි අපි අවුරුදු ගත කළේ. ඒ කොහොමවුණත් මේ පාර අලුත් අවුරුද්ද කිසිම හැඟීමක් නැතිව ඔහේ ගතවෙලා යයි කියල මට නිකමට හිතුණා.

බස් එකේ කට්ටිය ඔක්කොම කලබලයෙන් වගේ බහින්න පොර කද්දි තමයි කතරගමටම ඇවිත් කියල දැනුණෙ.  සීට් එකේ ඔලුව හැප්පෙද්දිත්  මහන්සිය වැඩි කමට මන් දාපු පැය ගානක නින්දයි, පොඩි එකෙක් වගේ ජනේලෙන් එලියට මූණ දාගෙන කපාගෙන එන හුළං රැල්ලට අහුවෙවී කල්පනා ලෝකවල අතරමං වෙච්ච කාලයයි මාව කතරගමටම ගෙනල්ල තිබ්බ. ගමට යන්න තියන අන්තිම බස් එක අල්ලගන්න මම දිව්වෙ බස් ස්ටෑන්ඩ් එක කෙලවරටම. කරුණෙ මාමගෙ පරණ “ලොරි බස් එක ” තාම ඒ විදිහමයි. ගම් උදාවට  කාලයක් තිස්සෙ දුවන එකම බස්සෙක ඒක. සෙරෙප්පු දෙක අතට අරන් දිග සායත් දණ කට්ට ගාවට උස්සගෙන මං බස් එකට නැග්ගෙ ටිකක් විතර අමාරුවෙන්. ඉරිද පොලේ ගියපු ගෑනු උදවිය තඩි එලවලු මලු අහුරගෙන බස් එකේ ඉඳගෙන හිටිය. පොලේ අමු රටකජු තියන් විකුණන සුමනාවතී ආච්චි, තිලකෙ නැන්ද, මිරිස් විකුණලම ගමේ ප්‍රසිද්ධ රතු මාම වගේ ගමේ අඳුරන මූණු දෙක තුනක්  සෙනග  අස්සෙන්  මං අඳුරගත්ත.
බස් එකේ ඉන්න හැමෝටම මං වෙනද විදියටම මගේ පුරුදු ලෙන්ගතු කමින්ම කටපුරා හිනාවුණා. ඒත් ආපස්සට මාත් එක්ක හිනාවුණේ නැති හැමෝම මං දිහා අමුතු විදියට බලල අහක බලාගත්තා.නැග්ග වෙලේ ඉඳන් බහිනකන්ම වෙනද මාත් එක්ක කොළඹ ගැන විස්තර කියවන මංජු අයිය ටිකට් එක කඩල මගේ අතේ තියල අහක බලගත්ත.මන් ලොරි බස් එකේ දෙපැත්තට ගහල තියන රීප්ප පටි දෙකක් අස්සෙන් ගම දිහා බැලුවෙ හැමෝගෙම වෙනසට හේතුවක් හිතා ගන්න බැරිව. ගමෙත් පොඩි වෙනසක් නැතුවම නෙමෙයි. අලුතින් පාරට තාර නම් දාල. ඒක නම් ලඟදි පළාත් සභා මැතිවරණෙ තිබිච්ච නිසා වෙන්න ඇති කියල මං හිතුවා.

කවුරු වෙනස් වුනත් මොන වැරැද්ද කරත්  ජීවිතේ අපි ගාව හැමදාම අපිත් එක්ක ඉන්නෙ අම්මයි අප්පච්චියි විතරයි. උන්දැලට පුලුවන් කාලෙ උන් අපි වෙනුවෙන් නැහුනා. අපිව එතෙර කරන්න කියල නොකරපු දෙයක් නෑ. දැන් ඉතින් යුතුකම් ඉෂ්ට කරන්න ඇවිල්ල තියෙන්නෙ මගේ වාරෙ. කලු කෝට් එක දාල උසාවියෙ දිවුරුම් දෙන දාට උඹලයි ඇස් දෙකේ සතුටු කඳුලු විතරක්ම දකින්න තිබුනොත් ඇති. පෙරකදෝරු නෝන කිය කිය ගම්මු ඇවිල්ල මන් ගැන උඹල එක්ක කියවනකොට, කෙල්ලෙ අනේ මේං මේ කලබැගෑනියට මොකක්ද කරන්න ඕනි කියල මගෙන් උපදෙස් ගන්නකොට හිත ඇතුලෙන් උඹල හිනාවෙවී ආඩම්බර වෙනව දකින්නයි මට ඕනි.අපි පුංචි කාලෙ අප්පච්චි දාඩිය මහන්සියෙන් උදැල්ල එක්ක හැප්පිල හරි හම්බ කරපු දේකින් අපිට කියල ගත්තු ඉඩම් කෑල්ල බලෙන් අල්ලගෙන වැට මායිම් වලට රණ්ඩු කර කර අහිංසක මගෙ අප්පච්චිට අසාධාරණ කම් කරපු කලු මාමල වගේ සමාජෙට වැඩක් නැති හැතිකරේ නැත්තටම නැති කරල දාන්න, උන් වගේ අසමජ්ජාතීන්ගෙන් වෙන කරදර උහුලන අහිංසක මිනිස්සුන්ට අප්පච්චි කියන වගේ හයියක් වෙන්නයි මට කවදහරි ඕනි. අන්න එදාට අම්මටයි අප්පච්චිටයි ගෙවන්න තියන ණය වලින් ටිකක් හරි අඩු කර ගන්න පුලුවන්. ඒත් ඉතින් ඉස්කෝලෙ දෙකේ පංතිය විතර වෙනකන්ම අම්මගෙ තනේ ලොට වෙනකම් බීපු කිරිවලටයි අප්පච්චිගෙන් හැලිච්ච සගරයක් වගේ  දාඩිය බිංදුවලටයි ණය ගෙවන්න තව ආත්ම හතක්වත් මට ඉපදෙන්න වෙයි. අද ඉඳන් ඉතින් දවස් හය හතක් හරි අම්මගෙයි අප්පච්චිගෙයි තුරුල්ලෙ සතුටින් ඉන්න පුලුවන් කියල හිතන ගමන් මං ආයිමත් කල්පනා ලෝකෙන් එලියට ආව. බහින්නත් හොඳටෝම ලඟයි. සියඹලා ගහ හන්දිය ලං වෙද්දි මං බෙල් එකට ලණුව ඇද්දා. බඩු මලු ටිකත් උස්සන් ගෙදර යන්න කියල බොරලු පාර කෙලවරේ හිටගත්ත විතරයි එක පාරටම ඇහැ ගිහින් නැවතුණේ පාර අයිනෙම තිබිච්ච ලයිට් කණුව ගාව. අප්පච්චි මරණ දැන්වීම් කඩදහියකට වෙලා මං දිහා දුකින් බලාගෙන හිටියා. ඊළඟ තත්පරේ බෑග් ටික මගේ අතින් ගිලිහුණා. එනගමන් එකදිගට මවපු හීන ඔලුව වටේ බොඳවෙලා කැරකෙන්න පටන්ගත්ත.ලෙඩ ඇඳේ ඉඳන් පොඩ්ඩියේ කිය කිය කෑගහන අප්පච්චිගෙ රත්තරං මූණ මගේ පපුව  ඩිම් ලයිට් එකක් වගේ ගැහි ගැහි පත්තු කලා.වෙන කරන්න දෙයක් නෑ දැන්. සිහිය එලවගන්න බැරිව තත්පර ගානක් හිටපු මං ඊලඟ තත්පරේ පුලුවන් තරම් හයියෙන්  කෑ ගහල ඇඬුවා.

“අප්ප්.. අප්පච්..අප්පච්චී……”

–  නිමි-

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

එරංගා දිසානායක

නීති පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment