දුඹුරු පාට වෙච්ච
සුදු මල් මාලෙකින් සැරසිච්ච
බිත්තියේ
දිරච්ච අැණේක එල්ලිච්ච
කළු සුදු පොටෝවක්
අපේ සාලේ තිබිච්ච
හය හතර තේරිච්ච
දා සිට අැහිච්ච
මගේ කන්කලච්චලේට
අප්පොච්චිගේ හිත හීල්ලිච්ච
උත්තරය
“ඔය නුඹේ අම්මා මගේ මැණික”
“ක්‍රෑහ් තුඃ පව්කාරයා”
වත්ත පහළ උපාසක අම්මාගේ
කටේ තිබිච්ච වචන ටික
මුලිච්චි වුණාම මාව
පව්කාරයට ගල් ගැහුව
පාප මිත්‍රයෝ අැති
අපමණ හිනා වෙච්ච
අාන්න එනවා
“අම්මා මරං උපන් එකා”
අැති අනන්ත වාර අැහිච්ච
පසළොස්වක පෝයක
පන්සලට ගොඩ වෙච්ච
දාක වදාළා බණට
“අානන්තරීය පාපයක් මව මැරීම”
කනට කරලා අැහුවම
අප්පොච්චිගෙන්
“අනේ නෑ රත්තරං නුඹ නෙවෙයි”
උත්තරය කදුළු බිංදුවක් එක්ක
බිමට වැටිච්ච
හැම දුකක් තුනී වෙච්ච
අෑ නැති පාලු මැකිච්ච
මටත් තිබුණා
රෑ එළිවෙනකන්
ගුලි වෙලා අඩන්න
උණුහුමක්
අප්පොච්චිගෙන් නමින් ලියවෙච්ච
සුදු මල් මාලෙකින් සැරසිච්ච
පෝටෝවක් එල්ලුවා
නුඹේ තනියට
නුඹේම ළගින්
අම්මේ,
“අප්පොච්චිගේ හත් දොහේ බණ අද”
Leave a Comment