දැනුම

අභිමානය සහ අගතිය

Pride and Prejudice හෙවත් අභිමානය සහ අගතිය, ජේන් ඔස්ටින්ගේ තෙලිතුඩින් ලියැවුනු අතිවිශිෂ්ට නිර්මාණ අතරින් තවත් එක් ලෝකප්‍රකට කෘතියකි. ජේන් ඔස්ටින් ඇයගේ කතන්දර බොහෝමයක ඇයගේ සමයේ එංගලන්තයේ කාන්තාවන්ට සමාජ ස්ථාවරයක් හා ආර්ථික සුරක්ෂිතාවයක් ලබා ගැනීම උදෙසා විවාහය මත යැපීමට සිදුවූ ආකාරය ආමන්ත්‍රණය කරයි. 

Pride and Prejudice කතන්දරය ගෙතී ඇත්තේ එලිසබෙත් බෙනට් නම් සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක දියණියක් වටායි. එසමයෙ හි කාන්තාවන්ට පවුලේ දේපල හිමිකරගැනීමට හැකියාවක් නොතිබූ අතර අනාගතයේ මහමගට නොවැටීමට ඔවුන්ට තිබූ එකම විසඳුම වූයේ විවාහයයි. මේ හේතුවෙන්ම එලිසබෙත්ගේ මව සැම විටම ඇගේ දියණියන්ගේ විවාහයන් පිළිබඳව සිතමින් ආර්ථිකව ශක්තිමත් පිරිමින් ඔවුන් හා හාද කර වීමට උත්සාහ ගනියි. එක් දිනක ඔවුන්ගේ ගම්පියස වන නෙදර්ෆීල්ඩ් වෙත (Netherfield) ටික කලක් නැවතීමට සිය බංගලාවට පැමිණෙන මිස්ට බින්ග්ලි හා ඔහුගේ මිතුරු මිස්ට ඩාසි එලිසබෙත්ලාගේ මවගේ අවධානයට හසු වීමත් සමඟ කතා පුවත ආරම්භ වේ.

මිස්ට ඩාසිගේ අභිමානයත් ඊට නොදෙවෙනි එලිසබෙත් බෙනට්ගේ අභිමානයත් (pride), ඔවුන් දෙදෙනාම එකිනෙකා ගැන වැරදි ලෙස වටහා ගැනිම (prejudice) නිසා මුහුණ දෙන හැලහැප්පීම් රාශියක් අභිමානය හා අගතිය කතාවේ අන්තර්ගත වේ. වික්ටෝරියානු සමයට පසුව පැමිණි රීජන්සි සමයේ (Regency era) දුප්පත් සහ පොහොසත් මිනිසුන් අතර පැවති සුවිශාල පරතරය ද මේ කතාව තුළ මැනවින් නිරූපණය වේ. එලිසබෙත් බෙනට් තම කාලයට වඩා වසර ගණනාවක් ඉදිරියෙන් සිතූ ජේන් ඔස්ටින් වැනිම කෙල්ලකි. 

කාන්තාවන්ට ආර්ථිකව ස්වාධීන වීමට නොහැකි වීමට හේතුව ඇයට නොවැටහේ. තනිවම ඇවිදීම, පොත් කියවීම ප්‍රිය කරන ඇය ඇයගේ මව මෙන් නොසිතා මිනිසුන්ගේ වටිනාකම ඔහු වසරකට උපයන මුදල නොසලකා ගතිගුණ වලින් හඳුනා ගැනීමට තැත් කරයි. නෙතර්ෆීල්ඩ් වෙත එතුවක් පැමිණ ඇති පොහොසත්ම තරුණයා වන මිස්ට ඩාසිගේ විවාහ යෝජනාව ද වරදවා වටහාගැනීම් නිසා ඇය තුළ ඇති වන අමනාපය නිසා ඇය ප්‍රතික්ෂේප කරන්නේ මේ හේතුවෙනි. එහෙත් ඇය කෙරෙහි ඇති ප්‍රේමයෙන් තම “ධනපති පාන්තික” චින්තනය වෙනස් කරගන්නා මිස්ට ඩාසි අවසානයේ ඇයගේ හිත දිනාගැනීමට සමත් වේ.

Pride and Prejudice ඉතා රසවත්, අනර්ඝ කෘතියකි. නූතන ප්‍රේම කතාවල ගැබ් වූ අන්‍යෝන්‍ය අවබෝධය හා සන්නිවේදනයෙ හි විරල බවින් තොර, ඉතා සියුම්ව ගලා යන අහිංසක, එහෙත් හැඟීම් වලින් අනූන ප්‍රේම වෘතාන්තයක් ලෙස මෙය හැඳින්විය හැකිය. එමෙන්ම ඒ තුළ ගැබ් වී ඇති උපහාසය මුසු වූ සමාජ විචාරය ද ඉතිහාසයේ එක්තරා අවධියක සමාජ පැතිකඩක් වෙත අපේ මනස විවෘත කරයි. 

Design by : Pathum Lakshan

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නමාදී ශාක්‍යා කහටපිටිය

පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment