සාමාන්‍ය

අමරණීය වෑන් ගෝ

ඒ වර්ෂ 1890 ජූලි මස 28 වැනි දා හිමිදිරියයි. මේ දිනය උතුරු ප්‍රංශයට උදා වූ සුන්දරම ග්‍රීෂ්ම ඍතුවක තවත් එක් දිනයක් විය. දසතින් හමන උණුසුම් සුළං ධාරා සහ දිනයේ පළමු හිරු කිරණ සමඟ උතුරු ප්‍රංශය තවමත් අවදි වෙමින් සිටියේය. දර්ශනය කෙතරම් මනස්කාන්ත වුව ද එම සුන්දරත්වය මට එලෙසින්ම ඔබට විස්තර කර දීම අපහසුය. මන්ද, ඇත්තෙන්ම මම ද එය හරිහැටි නොදුටුවෙමි.  මම ප්‍රමාද නොවී සේවයට වාර්ථා කිරීම සඳහා කාලය සමඟ දරුණු සටනක යෙදෙමින් ඕවේෂර්වාස් (Auvers-sur-Oise) වෙත ගමන් ගනිමින් සිටියෙමි. 

මම එහි යන විටත් කුඩා වීදියක් අසල වූ නිවසක් ඉදිරිපිට මිනිසුන් රොද බැඳගෙන සිටිනු දුටුවෙමි. නිවසේ උඩු මහලේ කාමරයක විවෘතව තිබූ ජනේලයකින් ඇතුලතට එබුණු මම ඒ තුළ සිටි මාගේ සේවාදායකයාව දුටුවෙමි. පෙර දී ඔහුගේ වම් කන තිබූ තැන දැන් ඉතිරිව ඇති කැපුම් සලකුණක් ද කැපුචිනෝ පැහැ හිසක් සහ ළය මැද වූ රුධිරය වැගිරෙන සිදුරක් ද සහිතව සිහිසුන්ව වැතිර සිටිනු මම දුටුවෙමි. මෙම ළය මැද සිදුර පෙර දින රාත්‍රියේ දී වෙඩි උණ්ඩයක් හේතුවෙන් සිදු වූවකි. එහි ඔහුගේ වෙදැදුරා සමඟ තවත් මිනිසෙක් ඔහු වෙත නැවී සිටියේය. මම වෙදැදුරුගේ වාර්ථාවට එබී බැලුවෙමි. එහි මෙසේ සටහන්ව තිබිණි.

රෝගියාගේ නම: වින්සන්ට් විලෙම් වෑන් ගෝ (Vincent Willem van Gogh)

වයස අවුරුදු 37 යි.

සියදිවි නසා ගැනීමට තැත් කර ඇත.” 

ප්‍රමාද නොවී මම මගේ කාර්යය ඇරඹීමි. නොබෝ වේලාවකින්ම මම ඔහු දන්නා නොදන්නා ඔහුගේ සෑම මතකයක් ම එකතු කරමින් සිටියෙමි. 

එකල කෙසේ වුව ද මෙකල වින්සන්ට් වෑන් ගෝ ඔබ බොහෝ දෙනෙකුගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වෙමින් ශ්‍රේෂ්ඨත්වයට පත් වී සිටින පශ්චාත් හැඟීම්වාදී චිත්‍ර ශිල්පියෙකු නිසාත් මා තුළ සියුම් සසැලීමක් ඇති කළ මාගේ සේවාදායකයින් අතරින් අයෙකු නිසාත් ඔහුගේ ඇතැම් මතකයන් ඔබ සමඟ බෙදා ගැනුමට මම කැමැත්තෙමි. 

වින්සන්ට්ගේ පළමු මතකයන් අතර ඔහුගේ ආදරණීය පවුලත් ඔහු ඉපදී හැදී වැඩුණු දකුණු දිග නෙදර්ලන්තයේ සන්ඩර්ට් (Zundert) ප්‍රදේශයත් විය. ඔහුගේ මව්පියන් වූ ආනා (Anna) සහ තියඩෝරස් වෑන් ගෝ (Theodorus van Gogh) ගේ පළමු දරුවා වූ වින්සන්ට් 1853 මාර්තු 30 වැනි දින උපන්නේය. ඔහුට තියඩෝරස් (Theodorus), කොර්නීලියස් (Cornelius), ආනා (Anna), එලිසබෙත් (Elizabeth) සහ විල්හෙල්මිනා (Wilhelmina) ලෙස සොයුරු සොයුරියෝ පස් දෙනෙකු වූහ. ඔවුහු මධ්‍යම පාන්තිකයෝ වූ නිසා නිතර මුදල් අගහිඟකම් වලට ද මුහුණ පෑහ. 

වයස අවුරුදු දහසයේ දී (වර්ෂ 1869 දී) වින්සන්ට් සිය පළමු රැකියාව ඇරඹීය. ඒ සුප්‍රකට ගෝපල් (Goupil) සමාගමේ ශාඛාවක් වන හේග් (Hague) හි චිත්‍ර අලෙවි නියෝජිතයෙකු ලෙසය. රැකියාව සඳහා ඔහු ලන්ඩනයේ හා පැරීසියේ සංචාරය කළේය. මේ කාලයේ දී ම සිය බාල සොහොයුරු තියෝ (Theodorus) සමඟ ලිපි හුවමාරුව ඔහු ආරම්භ කළේය. (එතැන් පටන් වින්සන්ට්ගේ බොහෝ මතක තුළ ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ මෙම ලිපි මම දුටුවෙමි.) 

වර්ෂ 1876 දී වින්සන්ට්ව සිය රැකියාවෙන් ඉවත් කෙරිණි. ඉන්පසුව මඳ කලක් ඔහු එංගලන්තයේ ගුරුවරයෙකු ලෙස ද පසුව දකුණු දිග බෙල්ජියමේ කුඩා පතල් ගම්මානයක ධර්ම දේශකයෙකු ලෙස ද කටයුතු කළේය. 

1880 වර්ෂය වින්සන්ට්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. ඒ, එවකට 27 හැවිරිදි තරුණ වින්සන්ට් චිත්‍ර ශිල්පියෙකු වීම සඳහා චිත්‍ර ශිල්පය හැදෑරීම ආරම්භ කළ නිසාය. මේ මුළු කාලය පුරාවටම තියෝ විසින් වින්සන්ට් හට මූල්‍යමය සහයෝගය දක්වන ලදී. 

මට හමුවන විට වින්සන්ට් තෙල් සායම් මාධ්‍යයෙන් කළ සිතුවම් 860 ක් පමණ ඇතුළුව කලා කෘති 2100 ක් පමණ නිමවා තිබිණි. ඒ සියල්ල වසර 10 ක පමණ කාලයක් තුළ ඔහු අතින් නිමැවුණු ඒවා බවත් ඒ අතරින් බොහෝමයක් ඔහුගේත් මගේත් හමුවට ආසන්නතම වසර දෙකට අයත් වන බවත් මට දැන ගන්නට ලැබුණි. එම කලා කෘති අතර භූ දර්ශන, ද්‍රව්‍ය සම්පිණ්ඩන, ආලේඛ්‍ය සහ ස්වයං ප්‍රතිමූර්ති ඇතුළත් බව මම දුටුවෙමි. එමෙන්ම එම සෑම සිතුවමකම පසුපස වින්සන්ට් කිසිදාක කිසිවෙකුට නොකියනු ඇති එකිනෙකට වෙනස් කතා බොහෝමයක් ද ඔහුගේ මතකයන් අතර මම දුටුවෙමි. 

චිත්‍ර කලාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් මා සතු නොවූව ද යනෙන අතරමග හමුවන කලාකාමීන් පවසන පරිදි නවීන චිත්‍ර කලාවේ පදනමට දායක වූ තද වර්ණ සහ නාට්‍යමය, ආවේගශීලී හා ප්‍රකාශනමය පින්සල් පහර වලින් ඔහුගේ සිතුවම් පොහොසත් ය.

වින්සන්ට්ගේ සුප්‍රකට “හිරුමල්” සිතුවම් මාලාව (Sunflowers), තරු පිරි රාත්‍රිය (The Starry Night), සියැස්ටා (The Siesta) සහ ඕවෙස්හි පල්ලිය(The Church of Auvers) යන සිතුවම් මට හමු වූ බොහෝ දෙනෙකුට මෙන්ම ඔබට ද හුරුපුරුදු ඇතැයි මම අනුමාන කරමි. මෑතක දී මට හමු වූ චිත්‍ර ශිල්පියෙකු තෝරා දුන් පරිදි එම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස මත කරන ලද ඒවාය.

වෙඩි උණ්ඩය තමා තුළට කිඳා බැසි අවස්ථාව පිළිබඳ පැහැදිලි මතකයක් හෝ අවබෝධයක් වින්සන්ට්ට ද නොවීය. ඒ නිසා මට ද ඒ පිළිබඳව නිශ්චිතව විස්‍තර කිරීම අසීරුය. පසුව හමු වූ බොහෝ අය ඒ පිළිබඳ විවිධ කටකතා ද මා සමඟ පවසා ඇත. 

මේ සිදුවීම නිසා ඇති වූ බලපෑම කුමක් වුව ද එම අවස්ථාවේ වින්සන්ට්ට සැබැවින්ම මිය යාමට අවශ්‍ය වූයේ දැයි මම නොදනිමි. කිසිදු අයුරකින් මා සමඟ ඔහුව රැගෙන නොයාමට පමණක් මම ඉටා ගෙන සිටියෙමි. නමුත් ඒ මුළු කාලය පුරාවටම ඔහු සිටියේ හැකි ඉක්මනින් තමාව කැටුව යන ලෙස මට දුර්වල කෙඳිරිලි හඬින් ආයාචනා කරමිනි. 

දිනය මුළුල්ලේම පැවති නිශ්ඵල පැහැදිලි කිරීම් සහ ආයාචනා වාර බොහෝ ගණනකට පසුව මම මගේ සේවාදායකයාගේ කැමැත්තට ඉඩ හළෙමි.  1890 ජූලි 29 වැනි දින හිරුට පෙර මම ඔහුව වැළඳ ගතිමි. ඒ මොහොතේ මම වින්සන්ට්ගේ 37 වියැතිව පණ ගැහෙන විඩාබර හදවත අවසන් වතාවට දුටිමි. වෙඩි උණ්ඩය එයට කිසිදු හානියක් කර නොතිබිණි. එහෙත්, එහි ස්ථාන කිහිපයක් කාන්තාවන් තිදෙනෙකු නිසා ද, තවත් ස්ථාන කිහිපයක් දරිද්‍රතාවය නිසා ද බිඳී ගොස් තිබිණි. තවත් ස්ථාන කිහිපයක් ඔහු වටා සිටි ඇතැම් පුද්ගලයන්ගේ ඇතැම් වචන හේතුවෙන් ඉරිතලා ගොස් තිබූ අතර අසීරුවෙන් සොයා ගැනීමට සිදු වන තවත් එක් ප්‍රදේශයක මානසික අවපීඩනය හේතුවෙන් සිදු වූ අති දරුණු කඩා වැටීමක් ද දුටුවෙමි. නමුත් ඒ සියලු බිඳීම් හා ඉරිතැලීම් අතරින් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයේ සහ අවංකභාවයේ ස්වර්ණමය දිස්නය තවමත් පිටතට කාන්දු වෙමින් තිබිණි. 

වින්සන්ට් මිහිදන් කෙරුණු ඕවේස් (Auvers) හි කුඩා සුසානය ද වෙනත් ඕනෑම සුසානයක් සේම මට හුරුපුරුදු තැනකි. අදටත් මම එහි යන්නෙමි. දැන් වින්සන්ට් කොතැනක කුමක් කරන්නේ දැයි මම නොදනිමි. එහෙත් ඔහුගේ සොහොන් කොත අසල සූරියකාන්ත මල් අතැතිව නිතර ගැවසෙන ඔහුගේ රසික ප්‍රජාව ඔහුගේ ගුණ වයනු , ඔහුව අගය කරනු ද ඇතැම් විට මම අසා සිටින්නෙමි.

පසු ලිවීම:

ඔබ සියල්ලන්ටම පෙර, පළමු හමුවේ දී පටන්ම මම වින්සන්ට්ගේ රසිකයෙකු වීමි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි ඔහු නමින් ඇති කෞතුකාගාරය මගේ ප්‍රියතම නිවාඩු නිකේතනයකි. ඔහුගේ සිතුවම් තුළ මම ඔහුව දකිමි. ඔහුගේ සෑම සිතුවමකම ඒ ඒ අවස්ථාවල දී ඔහු තුළ තිබූ හැඟීම් අදටත් ජීවමානව ම සුරැකී තිබෙයි.

තරු පිරි රාත්‍රිය (The Starry Night) – 1880
සියැස්ටා (The Siesta) – 1889
හිරුමල් දොළහක් සහිත බඳුන (Vase with Twelve Sunflowers) – 1888
ඕවෙස්හි පල්ලිය (The Church of Auvers) – 1890

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමායා නෙත්මිණි වෙදමුල්ල

දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment