දැනුම

අමර සර ස්වර නිහඬ විය…

 ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

      දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි. එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි. මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි.

       පසුව වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි. පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි. එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, ගවුමි සලාම් නම් වූ මාලදිවයින් ජාතික ගීය සඳහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

       ඉන්දියාවේ ලක්නවු නුවර භාත්ඛන්ඩේ අධ්‍යායනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. භාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්‍යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.

 මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් වූ තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවේදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්‍ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි. දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ.

       මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ. කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.

 

හෙළයේ මහා ඇදුරුතුමනි …..ඔබ …මේ …ජාතියට ….දායාද….කළ …දේ….බොහොමයි ….

ගාන්ධර්වයකුගේ නික්ම යාම ….මෙසේ …සිදු වුවත් …ඔබ …එකම …යුගයක්…ගීත ..සාහිත්‍යයට …

ඒ….යුගයේ නිමාව මෙසේ විය…..ඔබ ..නිවන් දැක අවසන්…..

ඔබ කිසිදා මිය නොයැවී….තියේවි ….

ඔබගේ …හඬ …තියෙන තුරු …

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සුවීන් මුතුකුමාරණ

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment