නිසදැස්

අම්මා එනතුරු

මුළුතැන්ගෙය තෙමෙයි වැහි බිඳු වැටෙන විට
ගොම ඇතිරූ පොළව රත් වෙයි දහවලට
ගරා වැටුණු පොල් අතු අතරින් රෑට
සඳරැස් වැටෙයි ගොම ඇතිරූ ගෙයි බිමට

කාසි පනම් අතමිට නෑ ගැවසෙන්නේ
ඉඳහිට තමයි පාසල වෙත පිය මැන්නේ
දිනකට රෑ කෑම අපහට නෑ ලැබුණේ
විසඳුම් සොයන්නට මව්පිය වෙහෙසෙන්නේ

සතුට පරදවා අසරණකම දින්නා
කළ හැකි කිසි දෙයක් මව්පිය නොම දන්නා
එකම මඟකි රට යා යුතු බව දන්නා
අප්පච්චී අම්මට අවසර දුන්නා

අවුරුදු කීපයකට පෙර මා පොඩි දිනෙක
අම්මා ගියා ගෙදරින් අමිහිරි රැයක
අහස් යානයක නැගිලා දින දෙකක
ගමනින් පසුව ඇය නැවතුණි දුරු රටක

මම ඒ දවස අම්මාගේ තුරුළෙ හිඳ
සතුටින් සිටිය කල මැවෙනව තුළ මහද
ඇගෙ ආදර දයා කරුණා පිරුණු හද
මතකෙට නැගෙයි ඇස් කඳුළින් වේය බොඳ

දවසින් දවස කාලය ගත්වී යන්නේ
අම්මාගේ ලිපිය හදවත පාරන්නේ
අප්පච්චියි මමයි මඟ බල බල ඉන්නේ
අම්මා ආ දිනෙක අප හද තුටු වන්නේ

අසරණ මුහුණු හසරැල්ලෙන් පුරවන්න
අපගේ සිතේ දුක පාළුව දුරලන්න
දිවි ඇති තුරා ඔබ අප සමඟින් ඉන්න
එදුරු රටෙන් වෙන්වී හනිකට එන්න

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment