සාමාන්‍ය

අම්මා…

     මේ ඔබත් මමත් දැක ඇති අකුරු තුනක් විතරමද?…නෑ මම නම් එහෙම හිතන්නේ නෑ.මොකද හැඟීම් වචන කරනකොට ඒ හැඟීම් වලට ලස්සන වටිනාකමක් දුන්න කෙටිම වචනය තමයි “අම්මා”. මතකය තුලින් අතීතයට ගියොත් ඒ මාවතේ අපිට වැඩිපුරම හමුවෙන්නේ චරිත කිහිපයක් විතරයි.ඒ සීමිත චරිත අතර අම්මා ප්‍රමුඛයා විය යුතුමයි.සිතන්න…
     ඔබ ඉපදුණ මොහොතේ ඔබ හඬන විට ඇයත් හැඬුවේ මිනිසෙක් හට දරාගන්න පුලුවන් උපරිම වේදනාවටත් වඩා වේදනාවක් ඇය ඉහිලු නිසාම නොවේ. ඔබ උපන් දා ඔබේ හඬට සංවේදි වූ ඇගේ දෙනෙතින් කඳුළු වී ගලා ගියේ ඇගේ ලයෙහි ඔබ නිසා උපන් සතුටු කදුළු පමණමයි. ඇගේ සියලු වේදනා මැද ඇගේ සෙනෙහසින් රක්ත වර්ණ රුහිරය කිරට හැරී දෙතොල් තෙමයි. බහ තෝරන කලට දෙතොල් මුමුනණ මුල්ම වචන “අම්මා”වන්නේද ඒ නිසාමයි. ආදරය,කරුණාව යනාදි සෙනෙහසේ උල්පත වන අම්මා ප්‍රකාශිත ආදරේ නොවෙනස් වන සලකුණයි. පුංචි සංදියේ වැටි වැටි නැගිටින විටදි පමණක් නොවෙයි අදටත් ගතේ සිතේ වේදනාවන් හමුවේ සිහියට එන පළමු රුව, මුවින් පිටවන එකම වචනය අම්මා යන්නයි. තාත්තා කියා හඬන දරුවන් අල්පය.ඒ මක් නිසාදයත් පියවරුන්ගේ අප්‍රකාශිත ආදරය ප්‍රතිරෑපනය කරන ප්‍රතිබිම්බය අම්මා වූ නිසාවෙනි. පියවරුන්ගේ කප්පරක් තරම් රැකවරණය; දරුවකුගේ සියුම් වෙනසකට ද සංවේදී මවකගේ සෙනෙහසට දෙවෙනි වන්නට ඇත්තේ ඒ නිසාමයි. මව් තුරුලෙහි හොවා ඇතිදැඩි වෙන දරුවෙකුට ලැබෙන හොඳම රැකවරණය මවකගේ උණුහුමයි. මේ ලොකේ සුදු කලු රෑප අතර වෙනස හරිහැටි පෙන්නවා අඳුර තුළින් එළිය කරා යන මාවත මෙයැයි කියා පෙන්වන හොඳම කැඩපත අම්මාගේ දෙනෙතයි.
     ඇගේ කුසට වේලට අහර වැරදුණද, නෙතට හරි හැටි නින්දක් නැතුවද දරුවන්ගේ හීනවලට ජීවය දෙන හුස්ම ඇය වුවාය. ඒ සිහින හබා යන දරුවන්ට තම අතමිට ඇති සියළු දෑ නිර්ලෝබියව දායාද කරන ඈ , සඵල වන සිහින අභිමුව නිහඬ සතුටක් විඳින්නට සේම බිඳී විසිරෙන සිහින වලට නවමු අත්තිවාරම් දමන කල සවිය වන්නට සිටින්නේ ද ඈ පමණි. තම සියළු සිතැඟින් දරුවන් අභියස දෙවැනි කොට සලකා රෑ දහවල් දෙකෙහිම නොඅලසව වෙහෙසෙන ඈ හොදම දෑ දරුවන්ට යන ඉලක්කයක් සපුරන්නට වෙර දරන ක්‍රියාකාරිනියක්ම වූවාය. හිරු අවදි වන්නට පෙර අවදි වන ඈ නිවසට එළිය කැන්දන හිරු වූවාය. උපාධියෙන් උගත්කම මනින සමාජයක මවකගෙ බුද්ධිය උපාධිය නම් මිනුම් දණ්ඩ තුල සීමාන්තික කල නොහැක. ඈ දරුවන්ගේ පුංචි වෙනසක් වුවද තේරුම් ගැනිමට හැකි තීක්ෂණ බුද්ධිකින් වුවාය. ඇය කාරුණිකය. සංවේදිය. එලෙසම සියල්ල අභිමුව තම දරුවන්ට පෙනෙන්නට හෝ නොපෙනෙන දුරින් හෝ ළඟින් හිඳ පවුරු වළලු සලසන ඈ සිංහ ධේනුවකි. සිටු මැදුරේ හෝ දුගී දුප්පත් පැල්පතේ කවරකු වුවද ජිවන මං තලාවෙන් එගොඩ කර සක්විති රජෙක් කරනු රිසියෙන් මාවත තනන්නේ ඇයයි. දිනන ලොව තම දරුවන් රජුන් වෙන දා මෙගොඩ වී බලා සැනසෙන ඈ රජෙක් වුවත් සැලෙන කලක මවක් සොයා ආවොතින් යළිත් තම තුරුලෙහි හොවා ගන්නට නිහඬව බලා සිටියි. අසීමාන්තික ආදරයේ සීමාන්තික සලකුණ ඇයයි. අම්මා…
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රශ්මි තරංගා

හෙද පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment