සියලු අම්මාවරුන් වෙත ලියමි
එදා මේදා තුර
නොවෙනස්ව නොවඩුව ලැබුණු
එකම ආදරය
ඔබෙන් ලද ආදරයයි
මගේ ආදරණිය අම්මේ
ලියමි ඔබේ ආදරය වෙනුවෙන්
අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. ඇය මෙලොව හිටියත් නොහිටියත් අම්මා නම් වූ ඇය අප තුළ සදා අමරණීයයි. අම්මලාගේ ආදරය කියන්නේ ජිවිතේ අමාරුම තප්පරේදීත් වෙනස් වෙන්නේ නැති දෙයක්. අම්මලාගේ ආදරේ අමරණිය වෙන්නේ ඒ නිසයි. තාත්තලාගේ ආදරය අවතක්සේරු කරනවා නෙවෙයි. හැබැයි පවුලේ ගෘහමූලිකයා තාත්තා උනත් හැම දේකදිම මූලිකත්වය ගන්නේ අම්මා. හැම දේකදිම අපිට මතක් වෙන්නෙත් අම්මා. ඒ අම්මත් එක්ක තියන සංසාරගත බැඳීම නිසා වෙන්න ඕනි.
උදේ පාන්දර ඉර ඇහැරෙන්නත් කලින් ඇහැරෙන්නේ අපේ බඩවල් පුරවන්න. සමහර දවසට එක එක්කෙනා කන්න ආස විදියට එකම එළවලුව දෙතුන් විදියකට හදලා. මාවයි මගේ අයියවයි අක්කවයි මල්ලිවයි හදන්න, අපි අද ඉන්න තැනට ගෙන්න මගේ අම්මා දරපු උත්සාහය සියයට සීයයි. ඇත්තටම විවේකි සුවයෙන් ඉන්න ඕනි මගේ අම්ම තාමත් අපි හතර දෙනා වෙනුවෙන් වැඩ. ඒ තමයි මගේ අම්මා. මගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම අම්මලා එහෙමයි. ඒක ගමේ ඉන්න අම්මා උනත් කොළඹ 7 ඉන්න අම්මා උනත් අම්මලා එහෙමයි.
අපි කොහේහරි ගිහින් ගෙදර ආපු ගමන් හොයන යන්නේ අපේ අම්මාව. ඒ ඇයි කියන්න නම් දන්නේ නෑ. එත් ඒ මුණ දැක්කම දවසෙම තිබ්බ මහන්සිය නැති වෙලා යනවා. ඒ ආවමත් “පුතේ තේ බිව්වද”, “කෑවද දවල්ට”, “ කනවද දැන්ම”, “අද මොකද උනේ” අරකද මේකද ඔක්කොම අහනවා. සමහර වෙලාවට අපිට එක වදයක් වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩකට හිතන්න අපි ගෙදර එනකන් කොච්චර වෙලා අම්මලා බලන් ඉන්නවා ඇද්ද. පොඩ්ඩක් හරි පරක්කු වෙද්දී කෝල් කියක් නම් දීලද. ඒ අම්මලාගේ ආදරේ හැටි.
අපි හැමෝගෙම පවුල්, පවුලක් වෙලා තියෙන්නේ අපේ අම්මලා නිසා. එයාලා ගාව තියන සැනසීම අපි කොහේ ගියත් කා ගාවට ගියත් ගන්න බෑ. අදටත් මම දුක හිතුනම, හොල්මන් ෆිල්ම් බලලා බය උනාම අම්මා ගාව තමයි නිදාගන්නේ. ඒ අම්මා ගාව තියන ආරක්ෂාව සහ උණුහුම නිසා. හරියට අම්මා ගාව ඉන්දෙද්දී යකෙකුටවත් බය නැ වගේ.
අම්මාගේ ආදරය ගැන කොච්චර කිව්වත් මදි. අම්මා කෙනෙකුට දරුවන් වෙනුවෙන් මොනවාද කරන්න බැරි. අම්මලා දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම් අපිට හිතාගන්නවත් බැරි තරම්. තමන්ගේ දරුවෙන් වෙනුවෙන් හිතාගන්නවත් බැරි තරම් දුක් උහුලන අම්මාලාවරුනුත් අද අපි අතරේ ඉන්නවා. සමහර වෙලාවට පාරේ කුණු අදින්නෙත් ගණිකාවක්, හොද නැති ගෑණියෙක් කියල හංවඩු ගහන්නෙත්, ගැහැණුකම අමතක කරලා දරුවන්ගේ හෙට දවස පෝසත් කරන්න උත්සහ කරන අම්මලා වෙන්න පුළුවන්. අපේ අම්මල වගේම මේ විදියට සමාජයේ ගැරහුමට ලක් වෙන මේ අම්මලාටත් උපහාර පිදිය යුතුම වෙනවා.
අපි හැමෝම වගේම අපේ අම්මලාටත් හින තියනවා. මොකද අම්මලා කියන්නෙත් සාමාන්‍ය ගැහැණු කෙනෙක් නිසා. ඒ හින වලින් ඉටු නොවුණු හින මහා ගොඩක් ඇති. ඒ හින සියල්ල මව් සෙනෙහසට යට වෙන්න ඇති. ඉතින් අද මව්වරුගේ දිනය දා මිනිත්තු කීපයක් වැය කරන්න ඔයාගෙම අම්මා එක්ක කතා කරන්න. අපිට කියාගන්න බැරි ගොඩක් දේවල් ඒ හිත අස්සේ තියනවා. මෙච්චර කල් අපි කියපු දේවල් වෙනසක් නැතුව අහන් හිටියා වගේ අද අපි ඒ හිතේ තියන ඒවා අහගෙන ඉමු. අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන අපේ අම්මා වෙනුවෙන් දෙන්න පුළුවන් හොදම දේ කාලයයි. අම්මට තියන ණය බේරන්න මේ ලෝකේ ක්‍රමයක් නැ තමයි. හැබැයි අඩුම තරමින් අද “ අම්මේ මම ඔයාට ආදරෙයි” කියන වචන ටික කියලා ඒ හිතට සතුටක් දෙමු. අම්මට තියන ආදරේ කියන්න තියන හොදම දවස අද.
යන්න, ඔබේ අම්මාව මුණ ගැහි ආදරයේ සුවඳ විඳ ගන්න
“ අම්මේ මම ඔයාට ආදරයි”
Leave a Comment