දැනුම

අයිතිය උදෙසා සටන් වැද

වසර දහස් ගණනක් පුරා දිවයන මානව වර්ගයාගේ ඉතිහාසය දෙස බැලූ කල ආදිතම යුගයේ ශිෂ්ටාචාරයන් ගොඩනැගීම්, බිඳ වැටීම් පිළිබඳ කතා අපට අරුමයක් නොවේ. මිනිසුන් තවත් මිනිසුන් පිරිසක් යටත් කරගන්නා රුදුරු ආක්‍රමණයන් ගැන, යුධ වැද ජය ගනු ලැබූ දේශයන් බිඳෙන් බිඳ වනසා දමා  යටත් වැසියන්ගේ ඊරි මාංශය උරා බොමින් ඔවුන්ගේ ජිවිත හා දේශය සදහටම විනාශ කරන ලද පුවත් දෙස අපි  උපේක්ෂාවෙන් බැලීමු. කාලය ඒ අඳුරු යුගයෙන් නික්මින. මිනිස් සංහතිය මනසින්ද, තාක්ෂණයෙන්ද දියුණුවට පත් මනා ලෙස සංවිධානය වූ සමාජයක් ලෙස  සැලකෙන කලක් උදා විය. 

මහා සාගරය හැමදාමත් වටහාගත නොහැකි අත්භූත දෙයක් ලෙස දුටු  මානවයාට විද්‍යාවේ දියුණුවත් සමඟ එය තරණය කිරීම ඉටු කරගත හැකි ආශාවක් විය. “දේශ ගවේෂණය”  පිරිසකට ධනය හා බලයත් අනෙකුන්ට අවාසනාවත් කැඳවූ පරිච්ඡේදයක ආරම්භයයි. ඒ සමඟම අතීතයේ වැළලී ගිය අඳුරු යුගය යලි උදාවිය.

යටත් විජිත යුගයේ දී ලොව වඩාත්ම අපහරණයට පත් වූ ජාතියක් වේ නම් ඒ අන් කිසිවෙකු නොව අප්‍රිකානුවන් ය. කාර්මික විප්ලවය නිසා දියුණුවට පත් වූ තම තමන් ගේ දේශයන් හි ආර්ථිකයට ආයෝජන හා ශ්‍රමය ලබා ගැනීමට සවි ශක්තියෙන් බල වූ මිනිසුන් ඇති  රත්තරං ඉල්ලමක් බඳු අප්‍රිකානු මහාද්වීපය අත්පත් කර ගැනීම කදිම තෝතැන්නක් බව වටහාගත් බටහිර රාජ්‍යයන් එතැන් සිට  වසර සිය ගණනක් තිස්සේ ඒ මහා රන් භුමියේ භයංකාරම සිහිනය බවට පත් විය. විසි වන ශතවර්ෂයේ මුල් භාගය වන විට අප්‍රිකානු මහද්වීපයේ බොහෝ රටවල් මෙන්ම දකුණු අප්‍රිකාවත් පළමුව පෘතුගීසින්ටද පසුව බ්‍රිතාන්‍යයටද යටත්ව වසර සිය ගණනක් ගතවී තිබුණි. රටේ පාලන අයිතිය මෙන්ම භුමියේද අයිතිය සම්මත කළ පනතක් මඟින්ම  (Natives’ Land Act) ස්වදේශී කළු ජාතික මිනිසාගෙන් උදුරාගෙන තිබූ අතරම තමන්ගේම දේශයේ ඉඩම් වල වහල්කම් කරනු විනා අන් විකල්පයක් දකුණු අප්‍රිකානු කළු මිනිසුන්ට නොවීය. මේ යුගය නිමා වූයේ 1994 දී ප්‍රථම වරට පැවැත් වූ ප්‍රජාතාන්ත්‍රික මහා මැතිවරණයෙන් ස්වදේශී කළු ජාතිකයෙකු දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත් වීමෙනි. මේ ඔහුගේ කතාවයි.

1918 ජුලි 18 වන දින මඩිබා පවුලේ නිකොසි ගාඩ්ලා මැන්ඩෙලා (Nkosi Mphakanyiswa Gadla Mandela) පියාට හා නොකාෆි නොසේකනි (Nonqaphi Nosekeni) මවට දාව උම්ටාටා හි දී රෝලිලාහ්ලා මැන්ඩෙලා (Nelson Mandela) නම් මේ මහා යුග පුරුෂයා  උපත ලැබීය. වයස අවුරුදු 7 දී ඔහු ජීවත් වුනු ක්යුනු නම් ගම්මානයේ මෙතෝදිස්ත පාසල වෙත ඇතුළත් කිරීමෙන් පසු හැම ශිෂ්‍යයෙක්ටම ක්‍රිස්තියානි නමක් තිබිය යුතුය යන සම්ප්‍රදායට අනුව  පන්තියේ ගුරුවරයා විසින් “නෙල්සන්” යන නම ඔහුට තබනු ලබයි. 

මැන්ඩෙලාගේ පියා ජෝන්ගින්ටබා හි රජුගේ ප්‍රධාන උපදේශකයා වශයෙන් සේවය කළ අතර එම තනතුර පරම්පරාවෙන් ලැබෙන පදවියක් ලෙස සඳහන් වේ. කුඩා මැන්ඩෙලාට වයස 12ක් වෙද්දී ඔහුගේ පියා මරණයට පත් වූ අතර ඉන් පසුව මව විසින් ඔහුව රජුගේ උපදේශක තනතුරට පුහුණු කිරීම සඳහා ජෝන්ගින්ටබා හි රජුගේ  භාරකාරත්වයට පත් කරන ලදි. 1933 දී ද්වීතික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එන්කෝබෝහි ක්ලාක්බරි මෙතෝදිස්ත උසස් පාසලට ඇතුළත් වූ ඔහු 1937 දී හීල්ඩ්ටවුන් මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය.

1939 දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ෆොර්ට්-හර් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ නමුත් නේවාසිකාගාරයෙන් ලබා දෙන ආහාර වල අඩු ප්‍රමිතිය නිසා කළ විරෝධතාව හේතුවෙන් ඔහුගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන ලදි. ඔහු නැවත එම විශ්ව විද්‍යාලයට කිසිදා නොපැමිණි අතර පසු කලෙක දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාලයෙන් කලා උපාධිය සම්පූර්ණ කරන ලදි. 1989 දී මැන්ඩෙලා එම විශ්ව විද්‍යාලයෙන්ම ඔහුගේ නීති උපාධිය (LLB) ලබා ගනු ලැබිණි.

1940 දී ෆොර්ට්-හර් විශ්ව විද්‍යාලයෙන් නෙරපූ පසු ඔහු නැවත මාළිගයට ගියත් ජෝන්ගින්ටබා හි රජු විසින් ඔහුට විවාහයක්  සූදානම් කර ඇති බව දැන මාළිගයෙන් පලා ගොස් ජොහැන්නස්බර්ග් නගරයේ පදිංචි වූ බව සඳහන් වේ. එහි වෙසෙන කාලයේ පතලක රාත්‍රී මුරකරුවෙකු ලෙස අඩු පඩියකට සේවය කරන ලද අතර එහිදී ජිවිතයේ ප්‍රථම වරට දකුණු අප්‍රිකානු ධනවාදයේ අහිතකර පැතිකඩක් අත්විඳීමට ඔහුට අවස්ථාව ලැබී ඇත. එම කාලයේ ඔහු විට්වෝටස්ටාන්ඩ් හි ස්වදේශික කම්කරු සංගමයට අයත් නේවාසිකාගාරයක නවාතැන් ගත් අතර එහිදී කම්කරු ජනතාව සමඟ ජිවත් වීම නිසා පීඩිත මිනිසුන්ගේ ජීවිතය ගැන හරියාකාර අවබෝධයක් ලබා ගැනීමට මැන්ඩෙලාට හැකි වී ඇත.

1942 දී ජෝන්ගින්ටබා හි රජු ජොහැන්නස්බර්ග් නගරයට පැමිණ මාළිගාවෙන් පලා යාම ගැන මැන්ඩෙලාට සමාව දී ඇත. 1943 දී කලා උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු  නීති උපාධිය හැදෑරීම සඳහා ජොහැන්නස්බර්ග් නගරයේ දිගටම ජීවත් වීමට මැන්ඩෙලා තීරණය කර ඇති අතර එම උපාධිය හදාරන අතරතුර නීති ආයතනයක ලිපිකරුවෙකු වශයෙන්ද සේවය කර ඇත. 

නීති උපාධිය හදාරන අතරතුර එහි සිටි එකම කළු ජාතික ශිෂ්‍යයා නිසා ඔහුට නොයෙකුත් හිරිහැර වලට මුහුණ පාන්නට සිදු වුනත් දේශපාලනයට යොමු වීමට හේතු වූ ඔහුගේ සගයන් කැළ හඳුනා ගැනීමට එහිදී අවස්ථාව ලැබුණු අතර නෙල්සන් මැන්ඩෙලා ගේ දේශපාලන දිවියට අඩිතාලම වැටීම එලෙස සිදුවිය. වර්ෂ 1944 දී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණ ලීගය පිහිටුවීම සඳහා ඔහු උර දුන් අතර එහි විධායක කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් දේශපාන ගමන ඇරඹීය.

එතැන් සිට නෙල්සන් මැන්ඩෙලාගේ දිවියේ සිදු වූ වැදගත් අවස්ථා සැකෙවින් මෙසේය.

  • වර්ෂ 1947 දී නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකානු ජාතික තරුණ ලීගයේ සභාපති ධුරයට පත්විය.
  • වර්ෂ 1948 දී පැවති මහ මැතිවරණයේදී ජාතිවාදී සුදු ජාතිකයෙකු වූ ඩැනියෙල් මාලන් අගමැති ධුරයට පත්විය. මොහු ගෙන ගිය ආණ්ඩුව විසින්  ප්‍රසිද්ධියේම සුදු  ජාතිවාදයට සහාය දුන් අතර එයට විරුද්ධ වීමක් වශයෙන් නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ අප්‍රිකානු ජාතික තරුණ ලීගය රටපුරා වැඩවර්ජන මාලාවක් දියත් කරනු ලදි.
  • වර්ෂ 1950 දී නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකානු ජාතික පක්ෂයේ විධායක සභාවේ ධුරයකට පත් විය.
  • වර්ෂ 1952 ජුනි 22  අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් ඩර්බන් හි දී වර්ණභේදවාදී නීති වලට විරුද්ධව පවත්වන ලද අවිහිංසා ව්‍යාපාරයේ රැළියකදී නෙල්සන් මැන්ඩෙලා පැමිණි සිටි 10,000කට අධික මිනිසුන් ඇමතීය. නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ නමගිය දේශපාලකයෙකු බවට පත්වීමට මේ අවස්ථාව මහත් රුකුලක් විය.
  • එමෙන්ම 1952 දී කොමියුනිට්ස් වාදය ව්‍යාප්ත කරා යැයි පවසා ඔහු ප්‍රථම වරට සිරගත කරන ලදි. වසර දෙකකට අත්හිටුවන ලද බරපතල වැඩ සහිත මාස 9ක සිරදඬුවමක් එහිදී ඔහුට ලබා දෙන ලදි.
  • වර්ෂ 1953 දී ඔහු තවත් සගයකු සමඟ එකතු වී කළු ජාතිකයින් විසින් මෙහෙයවන ප්‍රථම නීති සමාගම පිහිටුවන ලදි.
  • වර්ෂ 1959 දී එදවස පැවති දකුණු අප්‍රිකානු ආණ්ඩුව විසින් අප්‍රිකානු ජාතික ලීගය තහනම් කරන ලද අතර නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ තවත් පිරිසක් චෝදනා රහිතව අත්අඩංගුවට ගෙන මාස පහක් රහසිගතව සිර කරන ලදි.
  • වර්ෂ 1962 දී ඔහුව කඩාකප්පල්කාරී හැසිරීම යන චෝදනාව යටතේ  නැවතත් අත්අඩංගුවට ගත් අතර වසර 5ක සිරදඬුවමක් නියම කරන ලදි. ඉන් පසුව 1964 දී කඩාකප්පල්කාරී හැසිරීම සහ රජයට විරුද්ධව යුද්ධ කිරීම යන චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්විය.
  • වර්ෂ 1988 අගෝස්තු 12 වන දින සිරගතව සිටියදී ක්ෂය රෝගය වැළඳීම නිසා ඔහු රෝහල් ගත කරන ලදි.
  • වර්ෂ 1990 දී වසර 27 ක සිර දඬුවමකින් පසුව නෙල්සන් මැන්ඩෙලා කොන්දේසි විරහිතව සිරගෙදරින් නිදහස් කරන ලදි.
  • වර්ෂ 1993 දී නෙල්සන් මැන්ඩෙලා නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගනු ලැබීම ඔහුගේ දිවියේ සුවිශේෂී අවස්ථාවකි.
  • වර්ෂ 1994 අප්‍රේල් 27  වන දින පැවති ජනාධිපතිවරණයේ දී  ඔහු ජයග්‍රහණය කරන ලද අතර 1994 මැයි 10 වන දින පැවති දිවුරුම් දීමේ උත්සවයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පත්වුණු දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපතිවරයා බවට තම නාමය ඉතිහාසයේ සනිටුහන් කරන ලදි.

එක් දහස් නවසිය අනූව දශකයේ මුල් භාගයේ සිට දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය හා සුදු ජාතික පාලනයේ බලය ක්‍රම ක්‍රමයෙන් අහිමි වී ගියේය. වත්මන් දකුණු අප්‍රිකානු සමාජය බිහි කිරීම සඳහා නෙල්සන් මැන්ඩෙලා නම් ඒ ශ්‍රේෂ්ඨ මිනිසා තම පෞද්ගලික ජීවිතය ද, තමන්ගේ තරුණ කාලය ද, තමන්ගේ සෞඛ්‍යය ද සියල්ල කැප කළේය. 

වරක් ඔහු පැවසුවේ,

       “නියම නායකයන් ජීවිතයේ සියල්ල තම මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් කැප කිරීමට  අනිවාර්යෙන්ම සූදානම් වී සිටිය යුතුයි”  
යන්නයි.

ඒ අයුරින්ම තම ජීවිතය අනෙක් මිනිසුන් වෙනුවෙන් කැප කළ මේ මිනිසා 2013 දෙසැම්බර් 5 වන දින වයස 95 ක් ව තිබියදී පරිපූර්ණ මිනිසෙකු ලෙස තම දිවියෙන් සමුගන්නා සදහටම ලදි.

Design by – Shanaka Vishwantha

Reference :

Image :

 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පබසරා සත්සරණී

දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment