අඩක් විවර වු කවුළුවෙන් – හීනි වැහි පොද හිනැහෙනා
අගුලු ලා තිබු මතකයෙන් – බිඳින් බිඳ යළි ඇහැරෙනා
අඳුරු සිතුවම් සයුර මෙන් – සිතඟ තුළ රැළි නංවනා
අඩ අඳුරෙ පෙති තෝර මෙන් – මගෙ හිතත් ඔහෙ මැලවුණා
අදත් මදනල කෝලයෙන් – පුරුදු සුවඳම ගෙන එනා
අවුත් කඳුළක් නෙත් අගින් – සුවඳ ගෙන ඈතට වුණා
අහස් කුස හරි විපරමින් – තාලයට වැහි වස්සනා
අවාරෙට ඇරි වානකින් – දෝරෙ ගියෙ හිත් වේදනා
අඳුරෙ ගොම්මන රජයමින් – දිලුන සිකුරුත් සැඟවුණා
අනෝරා වැහි වැටි හෙයින් – ඉකි බිඳුම් යටපත් වුණා
අකුණු හඬ එළි විහිදමින් – කැඩපතෙන් රූ දිස් වුණා
අතීතයෙ මළ නෙත් වලින් – උණු කඳුළු බිඳු වැගිරුණා
අනාරාධිත වැහි මතින් – හැඟුම් ගොන්නක් ඇහැරුණා
අව් රස්නයට මිය යමින් – තිබූ උල්පත් යට වුණා
Leave a Comment