දැනුම විශේෂ දිනයන්

අවසන් තීරණයක ඇරඹුම

ඉර එළියකටවත් එබිකම් කිරීමට තහනම් වූ රහස් කුටියේ, මැද්දට වන්නට තිබුනේ එක් කවාකාර මේසයක්. මැන්හැන්ටන් කමිටු සාමාජිකයින්ගෙන් වට වූ මේසය පුරා කසුකුසුවක් පැතිරී ගියේ, සර් හැරී ටෲමන්ගේ තීරණය කොයිදෙසකට ඇඟිල්ල දිගු වේ දැයි කුහුලෙන්.

“මේක කොහොමටවත් අනුමත කරන්න බෑ”

“ඔව්, මාත් එකඟයි. ඒත් මෙතන ප්‍රශ්නෙ වෙනම එකක්.”

එක්වරම කසුකුසුවට තිත තියමින් දොර විවර කරගෙන ඇතුළු වූයේ, ඇමරිකානු ජනපති හා ඉහළ හමුදා නිලධාරියෙකි.

“සාකච්ඡා ඉවරයි, මැන්හැන්ටන් ප්‍රොජෙක්‍ට් එකේ අවසාන තීරණය ජපානයේ අවසානය.”

සියල්ලෝම මුහුණට මුහුණ බලා ගත්තේ කිසිවක් අවබෝධ කරගත් නොහැකිව ය.

“අපිට කරපු දේවල්වලට ජපන්නු වන්දි ගෙවන්නම ඕන.”

“ඒත් සර්…”

“මොකක් ද? ඒත්”
ජනපති ටෲමන් පුටුවෙන් නැගිට්ටේ මේසය මතට වැරෙන් පහරක් දෙමින්.

“පර්ල් වරායට කරපු දේ තමුසෙලාට අමතක ද? අපේ කීයක් නම් සෙබළු හිර කරගෙන ඉන්නව ද උන්? ආහ්…මේවට මිනිස්සුන්ට මොනවද දෙන උත්තර? මේක හොඳින් බැරි නම් නරකින් හරි විසඳෙන්න ඕන, එච්චරයි. විරෝධතා තියෙනවා ද? “

ජනපතිගේ ඇස මේසය වටා දිව ගියේ සියල්ලන්ම තවදුරටත් නිහඬතාවයේ ගිල්වමින්.

දෙවන ලෝක යුධ ගිනි ලෝකය පුරා ඇවිලී යද්දී, මේ වනවිටත් නාසි ආඥාදායකයා සිටියේ පරාජයේ අභිමුඛ ය. ජපානය ද සිටියේ පරාජයේ පණ අදිමින් ය. ඒ වන විටත්, ටෝකියෝ හා ජපානයේ තවත් නගරවලට එල්ල වූ ප්‍රහාර නිසා විශාල වශයෙන් ජීවිත හා දේපල හානි සිදු වී තිබිණි.

“අපි මේ ගැන ඔවුන්ට අනතුරු අඟවන්න හොඳ නැහැ”

මෙතෙක් වේලා සියල්ලටම සවන් දුන් යුධ ලේකම්, ස්ටම්සන් හඬ අවදි කලේ මේසය මත විශාල වූ සිතියමක් දිගහරිමින්. විනාශයේ දොරටු විවර කරන මීළඟ ඉලක්ක කිහිපය එහි සලකුණු කර තිබිණි. එහි ප්‍රමුඛස්ථානය හිරෝෂිමාවටත්, දෙවන ස්ථානය නාගසාකියටත් හිමිව පැවතිණි.

ඒ වනවිටත්, ජපානයේ හිරෝෂිමා නගරය ප්‍රාදේශීය හමුදා මූලස්ථානයක් බවට පත්කර තිබිණි. නගරය තුළ යුධ සැපයුම් ගබඩා රැසක් තිබූ අතර, එහි වූ උජිනා වරාය වැදගත් නාවික තොටුපලක් ද විය. වෙනදාමෙන් හිරෝෂිමා වැසියෝ කඩියන් සේ තමාගේ සුපුරුදු රාජකාරීවල යේදී සිටියහ. උදෑසන කාලගුණ තත්ව නිරීක්ෂණය කල අහස්‍ යානයක් හැරෙන්නට වෙනත් කිසිඳු අනතුරක් නොමැතියයි, පැහැදිලි අහස දෙස බලා සැනසුම් සුසුම් හෙළූ ඔවුන් තමන්ගේ අවසන් දිනය අද, එනම් 1945 අගෝස්තු 6 වන දින ලියව ඇති බව කිසිවිටෙකත් නොසිතන්නට ඇති.

මේ අතර පැය කීපයකට පෙර, හිමිදිරියේම ටිනියන් ඇමරිකානු ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ ‘එනෝලා ගේ’ නම් ප්‍රහාරක යානය උදෑසන 8:15 ට පමණ හිරෝෂිමා නගර අහස ආක්‍රමණය කළේ, හිරෝෂිමාවේ ඉරණම්කරු වූ කුඩා කොල්ලා ද (little boy) රැගෙන ය.

“වෙලාව උදෑසන 8:15”

“තක්සේරු ගත ජනගහනය 255,000 පමණ”

සියල්ල සුන්නද්ධූලි කරමින් ලිට්ල් බෝයි වැඩ පෙන්වමින් නගර මධ්‍යයේ සිට මීටර් 600ක් පමණ ඉහළින් පුපුරා ගියේ ටීඑන්ටී මෙට්‍රික් ටොන් ගණනක භයානකත්වය හා සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන ගණනක උෂ්ණත්වයක් ජනනය කරමින්.

පිපිරීම සිදු වූ ස්ථානයට පහළ කේන්ද්‍රයේ උෂ්ණත්වය, යකඩවල ද්‍රවාංකය මෙන් දෙගුණයක් වන සෙන්ටිග‍්‍රේඩ් අංශක 3,000 සිට 4,000 දක්වා විය. පහළ කේන්ද්‍රයේ සිට කිලෝමීටර එකහමාරක දුරින් තිබූ සියලු දේ, පුළුස්සා දැමූ තාපයේ හා ආලෝකයේ තීව‍්‍ර විමෝචනයට පසුව කිලෝමීටර දෙකක් ඇතුලත බොහෝ ගොඩනැගිලි විනාශ කල යෝධ කම්පන ධාරාවක් ඇති විය. අයෝයි පාලම ඉලක්ක කොට හෙලන ලද හිරෝෂිමා බෝම්බයට ඉලක්කය වැරදී ගියේ මීටර 250කිනි. පහළ කේන්ද්‍රයට සමීප ව සිටි තැනැත්තන් ක්ෂණික ව අළු දූවිලි බවට පත්වූයේ, තාපයේ ආරම්භක විමෝචනයට ගොදුරු වීමෙන්. පෘෂ්ටය අර්ධ වශයෙන් ආවරණය කොට තිබූ වීදියක් හෝ බිත්තියක් මත ඇති සෙවනැල්ලක් හැරුනු කොට, කිසිඳු සලකුණක් ඉතිරි නො කරමිනි. පිපිරීමට ඉතාම සමීපයෙන් සිටි අය, මොහොතකින් පණැතිව හිඳ දුහුවිලි මෙන් වී නොපෙනී ගියේ, කිසිඳු මානව කායික විද්‍යාවකට සනිටුහන් කල නොහැකි වේගයකිනි.

ඇසිපිය ගහන සැනෙකින් උදුරාගත් ජීවිත ගණන ජනගහනයෙන් 30%ක් විය. ක්ෂණිකව මෙලොව හැරගියවුන් ගණන 80,000ක් පමණ විය. මිය ගිය වුන් අතර බහුතරය කාන්තාවන් හා ළමුන් විය. එම වසර අවසානය වනවිට එම ප්‍රහාරයෙන් තුවාල ලැබීම නිසා සහ අහිතකර විකිරණයන්ට නිරාවරණය වීම නිසා මියගිය ගණන 90,000ත් 166,000ත් අතර විය. සිදුවූ දේපල හානිය ඉතා විශාලය.

(ප්‍රහාරයට පසු හිරෝෂිමාව)

ලොවක් කම්පා කරමින් හිරෝෂිමාව අළුගොඩක් බවට පත්කල ඒ පුවත කනවැකුණු සර් හැරීට නම් ගෙන ආවේ ඉමහත් ප්‍රීතියක්. තම නාවුක කාර්‍ය මණ්ඩලයට ඔහු පවසා සිටියේ,

“අපි ඔට්ටුවෙන් දිනුම්. මෙය ඉතිහාසයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සිද්ධියක්” යනුවෙන්.

ප්‍රශ්නාර්ථය නම්, මෙතරම් මිනිස් සංහාරයක් ඇමරිකානුවන්ට කෙසේ ශ්‍රේෂ්ඨත්වය ගෙන ආවේ ද යන්නයි. වසර ගණනක් දෙපිලක හිඳ බල ලෝබීත්වය මුදුන්පත් කරගනිමින්, ඇරඹුනු දෙවන ලෝක යුද්ධය, කිසිවක් නොදත් අහිංසක, එදාවේල හම්බකරන් ජීවත් වුනු බොහෝදෙනකුට දිවි අහිමි කළේ ය. එහි ජීවමාන සාක්ෂි අදටත් හිරෝෂිමාවේ ජීවත් වන්නේ සුසුම් හෙලමිනි.

පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් අළු දූවිලි බවට පත් වූ හිරෝෂිමාව නගා සිටුවන්නට නැවතත් ගත වූයේ වසර විසිපහක් වැනි කෙටි කාලයකි. එය දැන් රජය විසින් ගොඩ නැගූ එක් නාමෝද්දේශිත නගරයක්. එහෙත් ඇය පෙර දා මෙන් ස්වභාවික පරිසරයකට උරුමකම් නොකීවා ය. ඇයව හඬවමින් ඇය සරසන්නට ඉදිරිපත් වූ කනේරු පුෂ්පය, තවදුරටත් එහි වූ වැසියන්ගේ දුක්ගිනි ඇවිස්සීය. ජපානයේ සුන්දරත්වය වූ හනා කවදා යළි හිරෝෂිමාවේ හිනාවේදැයි, ඔවුන් බලාසිටින්නට ඇති.

(හිරෝෂිමා අනුස්මරණ ස්මාරකය)

හිරෝෂිමාවට බෝම්බ හෙලා අදට වසර 75කුත් පිරී අවසන්. අකාලයේ උදුරාගත් ජීවිත වලට අද හිමි වන්නේ එක් මල් පොකුරක වන්දියක් පමණි. ඔවුන්ගේ අහිමි වූ හීනවල එකම සාක්ෂිකරුවා බවට පත්ව ඇත්තේ හිරෝෂිමාවේ පිහිටි අනුස්මරණ උද්‍යානය පමණි. එය කෙතරම් අනුවේදනීය කාරණයක් ද යන්නට විමසා බැලීමට මම ඔබට භාර කරමි.

“මානව සංහතියේ උන්නතිය වෙනුවෙන් කියා භාවිතා කළ ඒ තියුණු ආයුධය කෙසේ නම් එසේ තවත් මනුෂ්‍ය කොට්ටාසයකගේ ජීවත් උදුරා ගත්තේ ද?”

එසේ ගත් අවසන් තීරණයේ අවසානය මෙය යැයි කියා ඔබ සිතුවොත්, ඔබේ සිතුවිලි කෙතරම් සාධාරණ දැ යි සිතීමට ඔබටම ඉඩ දී අවසන් තීරණයේ අවසානය සමඟින් තවත් ලිපියෙනකින් ඔබ හමුවන පොරොන්දුවෙන් තාවකාලිකව සමු ගනිමි.

(ප.ලි.: ජපන් භාෂාවෙන් ‘හනා’ යනු සකුරා මල හැඳින්වෙන තවත් යෙදුමකි.) 

Image sources :

References :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්මුනි නවෝදා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment