“ජිනේ දැන් වුණ දේවල් වෙලා ඉවරයි. දැන් ඒව හිතල වැඩක් නෑ… එන දේකට මුහුණ දෙන්න පුරුදු වෙන්න…”
පුටුවේ හිඳගෙන මල් වඩම දෙස බලා සිටින ජිනේට මම කීවෙමි.
“ජිනේ උඹ එක වචනයක්වත් කියන්න එපා… මම කියන දේ හොඳට අහගන්න…
හෝ….. හෝ….. පොට්ට වෙලාද මනුස්සයෝ… පොඩි එකීව අහකට ගන්නව. ඒකි පහනට ළං වෙනවා…”
පොඩි දුව ජිනේ දෙසට හයියෙන්ම දිව ගෙන ආවාය. පහන ළඟින් ළං වෙලා උකුළ උඩ වාඩි වෙන තුරු ජිනේ පොඩි දුවව දුටුවේ නැත. පොඩි දුවට දැන් අවුරුදු පහයි. අකුරු කරන්න යන්න හැදුවා විතරයි. මගේ තනේ එල්ලිලා කිරි බීපු එකී… දැන් කොහොම මං නැතුව ඉන්නද.? අදින් පස්සෙ ඒකි නිදා ගන්නෙ කා එක්කද.? එකින් එක ප්‍රශ්න මාගේ සිතට නැගෙන්නට විය. මට උඹලගෙන් වෙන් වී යන්න හිත් නොදෙයි. මම නැතුව මේ දේවල් කොහොම කෙරෙන්න ද?
එක පාරටම ජිනේ උකුළ උඩ වාඩි වී සිටි පොඩි එකී පැත්තකින් තියා මල් වඩම ළඟට ළං වී මල් වඩම බඳා හඬන්නට විය.
“ජිනේ බොරු වැඩ නොකර හිමීට ඔය මල් වඩම පැත්තකින් තියහං”
ජිනේ බොරුවට හඩන එකෙක් නොවන බව මම දනිමි. එහෙත් මෙවේලේ මගේ මුවට කට කොනින් සිනහවක් නැගුණි. මොනව උනත් ජිනේගේ හිත හොඳ බව ද මම දනිමි. මේ බැනල මේ… මං එක්ක හොඳයි. කට කොනේ ජහ ජරාව ගා ගත්තෙ නැත්නම් අපි අදටත් සතුටින්. දැන් මුළු ගෙදරම එළිය කරපු හඳපාන නිවිල ගිහිං. ගෙදරම එළිය කරන්න ඉතිරි වෙලා තියෙන භූමි තෙල් පහන නම් හරි පරිස්සමෙන් රැක ගන්න වෙයි.
“මේ ඉන්නෙ නරුම මිනිහා. මූව ගෙනියන්න තාම පොලීසියේ රාළ හාමිල ආවෙ නෑනේ….”
මාගේ ලොකු අක්කා අයිනකට වී පුටුවේ වාඩි වී සිටි ජිනේට කෑ ගසන්නට වූවාය.
“කෑ ගහන්න එපා අක්කේ ඕක කරපු දේ ඕක ගෙනියයි. අද හවස් වෙන්න කළින් පොලීසියෙන් ඇවිත් ඕකව කුදලන් ගියාම ඕකට තේරෙයි..”
අක්කා සමඟ සිටි සිරි අක්කා පැවසුවාය.
නොයෙක් නොයෙක් දේ කිය කියා කෑ ගැසූ අක්කාව අල්ලාගත් උදවිය අක්කාව එතනින් ඉවත් කරගෙන පිළිකන්න දෙසට ගියහ.
“ජනේ ඔයා හරි බබෙක් ජිනේ… දැන් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ වගේ ඉන්න එපා… හිත හයිය කර ගන්න බලන්න… මට අම්මා දීපු තබක්ක මුද්ද… අපරාදේ ඒක එම්බාම්කාරය හොරෙන් ගලවගෙන…. අපරාදේ… ඒක තිබුණ නම් විකුණලා කීයක් හරි ගන්න තිබුණා. අනේ මන්දා ජිනේ ඔයා නම්…. ඒක විතරක් නම් මැදැයි. ඒ යකා මේ පෙට්ටියටත් වැඩියෙන් අරන්… අපරාද සල්ලි… සිහියෙන් වැඩ කරන්න ඕන දැන් තමයි ජිනේ…”
…… කාමරේ සිටි බේබියා සහ ලොකු එකී මං ළගට විත් මහ හයියෙන් හඬන්නට වූවාය
“අක්කේ ඇයි අම්මා අපිව දාල ගියේ…”
හිච්චියා ලොකු එකීට කීවාය.
හිච්චියා ලස්සනයි… සුදුයි… ඉනෙන් පල්ලෙහාට වැවුණු කොණ්ඩය ඇය ලස්සන කරන තවත් ආභරණයක් විය. ගමේ කොල්ලන්ගේ බැල්ම වැටුණු ඇය කිසි දිනෙක කොල්ලෙකු සමඟ සබඳතාවයක් නොවූවාය. පාරේ යන එන විට කොල්ලන්ගේ උසුළු විසුළු වලට හසුවී මා සමඟ ද ඇය අමනාපකම් ඇති කර ගත්තාය. එසේ ඇය අමනාප වීමට හේතුව වූයේ මා ලවා උසුළු විසුළු කළ කොල්ලන්ට බැණ වද්දවා ගැනීමටයි. ඒසේ විහිළු කළ කොල්ලන් දෙතුන් දෙනෙක් මා අතින් කම්මුල් පහරවල් ද කන්නට වූවාය. ඇගේ ලස්සනට කිසි දිනෙක ඇස් වහක් කට වහක් නොවිඳිය යුතුයි.
“තව ඩිංගෙන් අමතක වෙනව ජිනේ… මේ අහගන්න. බේබිය කොටහළු වෙයි ළඟදීම.. ඒ හින්දා මහ ගෙදර නැන්ද ළඟ තියන්න. එහේ හොඳට පරිස්සං. නැන්දලාගෙ ගෙදර කෙල්ලො දෙන්නත් එක්ක මේකි ඉඳීවී..”
මරණාධාර සමිතියෙන් පෙට්ටිය ගන්න කියල කීයක් හරි ලැබුණ එක ආර්ථිකයෙන් බැට කමින් සිටි අපට හයියක් විය. හාල් මල්ලකුත් මරණාධාර සමිතියෙන් ලැබී තිබුණි. මරණාධාර සමිතියෙන් ලැබුණු පුටු සියල්ල පරිස්සම් කොට නොයැව්වොත් සිදු වන දේ ගැන මම හොඳින් දනිමි. මෙච්චර කාලයකට මම සමිතියෙන් දඩ මුදලක් කන්න ඉඩ නොතිබුවෙමි. මින් ඉදිරියට ලොකු එකීව යැව්වොත් දඩ මුදලක් ගෙවීමට සිදු නොවනු ඇත.
……ලොකු එකී එක පාරටම බිම ඇද ගෙන වැටුණි. මට උන් හිටි තැන් අමතක විය.
” අක්කෙ.. අක්කෙ.. නැඟිටින්න මොකද වුණේ”
හිච්චි මුහුණ සොළවා අසන විට එළියේ සිටි අයද වට වුණි. එහෙත් ජිනේ සිටි තැනම තවමත් වාඩි වී සිටින්නේය.
“ඔය කවුරු හරි වතුර එකක් ගෙනෙන් බල බල ඉන්නෙ නැතිව…”
එතන සිටි අයෙක් කියනු මට ඇසුණි.
“එහාට වෙයං මේකිට හුළං ටිකක් වදින්න ඔක්කොම වටවුණා මෙතෙන්ට”
පත්තරෙන් පවන් ගසන ගමන් යසවතී අක්කා අනිත් උන්ට කෑ ගැසයි. ඒ සමඟින්ම ලොකු එකීගේ යාළුවො දෙදෙනෙක් විත් ඒකිව ඔසවා ගෙන ගොස් කාමරේ ලණු ඇඳ මත තැබුවාය.
මට නම් ඉතින් වාවන්න නොහැකිය. නංඟිලා දෙන්නා බලා ගන්න වගකීම පැවරෙන්නෙ ලොකු එකීට. ඒකි මිනිහෙක් එක්ක යන්න එතරම් උවමනාවක් නොදැක්වූයේ රස්සාවකට යනකල් මිනිහෙක් එක්ක යන්න උවමනාවක් ඇය තුළ නොවූ නිසාය. මාගේ පල්ලටම වී සිටි ඇය මා හේනට ගිය පසුව ගෙදර දොර වැඩ කටයුතු බලා කියා ගන්නට දැඩි කැමැත්තක් දැක්වූවාය. දැන් ඒකීට විස්ස වෙන්නත් ළඟයි. ඒකිගෙ අනාගතේට හොඳ කෙනෙක් හමුවෙන ලෙස මා නිතර ප්‍රාර්ථනා කරන්නීය. මේවා දකින්න පෙර මේ සිදු වූ දෙය ගැන මා පසු තැවෙයි.
කළු අයියගෙ කොල්ලට කැමති නොවීම පිළිබඳව දැන් දැන් මාගේ සිතට සැනසීමක් ගෙන දෙයි. එයට හේතුව නම් සල්ලි තිබුණට ඌ මහ නොසන්ඩාල එකෙක් වීම මුළු ගමම දන්නා කරුණක් වීමයි. නැත්තම් මේකිටත් අර ගෙනාපු කෙල්ල මෙන් වද වේදනා විදීමට සිදු වනු ඇත.මා වාගේම කෙට්ටු ශරීරයක් හා බොකටු කොණ්ඩයක් ලොකු එකීට වූවාය.
” ලොකු එකීට සිහිය ආවා.. මමත් හොඳටම බය වුණා..”
කාමරේ සිට පැමිණි යසවතී අක්කා එතන සිටි වුන්ට ඇසෙන සේ කියන්නට වූවාය. එය මාගේ සිතට සහනයක් ගෙන දෙන කාරණයක් විය. වළාකුළින් වැසුණු සඳ ටිකෙන් ටික වළාකුළින් මිඳී එළිය වන්නා සේ මාගේ සිතට මහත් සැනසීමක් දැනුණි.
“ජිනේ මට ඔක්කොටම කලින් දැන ගන්න ඕන ඇයි ඔයා මට මෙහෙම කරේ කියල…”
මම දිග සුසුමක් හෙළුවෙමි.
“ගහන්න එපා ජිනේ…ගහන්න එපා…මම උඹට වඳින්නම් ජිනේ…”
මාගේ මතකය එදා දිනයට දිව ගියාය. ජිනේ මට මොන හේතුවකට පොලු පහරක් දුන්නේ දැයි මම අදටත් නොදනිමි. ඒත් සමඟම හදවතට කියා ගත නොහැකි තරම් වේදනාවක් ඇති විය. කිසි දිනක මට අතක් උස්සා නොමැති මේ ජිනේගේ වෙනස් වීමට හේතුව කටේ ගා ගත් ජහ ජරාව බව මම දනිමි. මිනිසෙකු තිරිසනෙකු කරන්නට මේ ජහජරාවට වැඩි වේලාවක් ගත නොවෙයි.
“හරි හරි ජිනේ..දැන් ඉතින් ඔක්කොම ඉවරයි. ඉතින් ඇඬුව මදැයි… දැන් යන්න ගිහින් අර බීම ටික අල්ලන්න. ආපු අයත් එක්ක කතා කරන්න”
ජිනේ මට කොයි තරම් ආදරයකින් සිටි වගද මා ජිනේට කොයි තරම් ආදරයකින් සිටියාද යන්න මම හොඳ හැටි දනිමි. ජිනේගෙන් වෙන් වීම මට මේ තරම් වේදනාවක් ගෙන දෙන්නේ ජිනේට මා අසීමාන්තිකව ආදරය කළ නිසාවෙනි.
“එන්න… දැන් මං ළඟට, මේ නලළෙ තියෙන මැහුම් ටික ගලවන්න හිමීට…”
මම ජිනේට කතා කළෙමි.
” හී.. හී මිනී ඇදුමට මම හැඩයි නේද..?”
මම සිණාසෙමින් ඇසුවෙමි..ඒත් සමඟම මාගේ මතකය දිව ගියාය. ජිනේ මාගේ අන්තිම උපන් දිනයට ලස්සන සාරියක් ගෙන දුන්නේය. ඒත් සාරිය දෙතුන් දිනකට වඩා නො ඇන්දේ සාරියක් ගෙන යන්න තරම් සුවිශේෂී ගමනක් අප හට නොවූ නිසාය. අක්කා ද මා සමඟ දින කිහිපයක් අමනාප වූයේ සාරියට තිබූ ආදරය නිසා කාසිවෙකුට එය නොදුන් අතර අක්කාටද එය එසේ ක්‍රියාත්මක කළ නිසාය.
“ඔයා අඩන්න එපා ජිනේ… මගේ පණ ඔයා.. කෝ ඉතින් කාටත් හොරෙන් ළං වෙන්නකෝ… වෙනදා වගේම මට ඔයාගෙ කනට කරලා ආදරෙයි කියන්න.”
මට ජිනේ ගැන අනුකම්පාවක් මෙන්ම ආදරයක් ද එක වර මතු විය.
“ජිනේ මම උඹට හිතේ තියෙන හැමදේම කියුවා… ඒත් තව දේවල් ටිකක් මට කියන්න තියෙනවා.. ජිනේ උඹට පොලීසියෙන් නම් දඬුවමක් ලැබෙන එකක් නෑ.. මම උඹට එහෙම දෙයක් වෙන්න ඉඩ තිබ්බෙ නෑ… දැන් දරුවො තුන් දෙනා නඩත්තු කරන වගකීම පැවරිලා තියෙන්නෙ උඹට, දැන් තමයි සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕන..
හ්ම්ම්…. තව එකක්, කොහොම හරි කොළණිය අයිනෙන් වින්කලේ දාගන්ඩ”
කොළණිය අයිනේ තිබෙන ඉඩම් කෑල්ල එතරම් විශාල එකක් නොවුණි. අපේම නෑයන් දෙතුන් දෙනෙක් එය උදුරා ගන්නා අටියෙන් කටයුතු කරති. ජිනේගේ පියාගෙන් ලැබුණු උරුමයක් ලෙස වින්කල් වැඩ කිරීමට ජිනේ උපන් හපනෙක්ය. කෙසේ හෝ එතන වින්කලේ දා ගත යුතුය, නො එසේනම් මා එම ඉඩම් කෑල්ල රැකගැනීමට ගත් සියලු වීර්යය ගඟට කැපූ ඉනි මෙන් අපතේ යන බව නොවනුමානය.
“ජිනේ ජිනේ… වින්කලෙන් ගන්න කීයෙන් හරි මතක ඇතිව ඉඳල හිටල දවසකදි හිච්චියට මස් මාළු පෙන්නන්ඩ.”
හිච්චි කෙල්ල මස්, මාළු කන්න රුසියෙක් බව මට ක්ෂණයෙන් මතක් විය. ඒ බව මම ජිනේට මතක් කරේ ඔළුවට තට්ටුවක් දමමින්ය.
“……..අනේ මගේ වස්තුවේ ගංජ අරක්කු ගහන එක දැන්වත් නවත්තන්ඩ පුරුදු වෙන්න..”
මේ ඔක්කොම ප්‍රශ්න ඇතිවුණේ ගංජ අරක්කු බොන නිසා බව මා හොඳින් දනිමි. සිරිපාල, සිල්වා මහත්තයා නිසා ජිනේ බොන්න පුරුදු වූ බවත් මේ අය ගමේ සිටින බේබද්දන් බවත් මා ඇතුළුව මුළු ගමම දනිති. එහෙත් ජිනේ එවැනි නරක තැනකට වැටී නොමැති බව ඉස්කෝලෙ මහත්තයා මා සමඟ දවසක් පැවසීම මගේ හිසේ මලක් පිපුණා මෙන් මට සතුටක් ගෙන දුන්නාය.
අපේ සන්තකේටම සිටින්නේ කිකිළියෝ අට දෙනෙක් වන අතර දිනකට බිත්තර කිහිපයක් දමා අර්ථිකයට ශක්තියක් වූ කිකිළියන් මම මාගේ පණ මෙන් රැකගත්තෙමි.
“කිකිළියෝ අට දෙනා සිසියාගේ කඩේට විකුණල සල්ලි ගන්න… මරණාධාර සමිතියෙන් ලැබෙන කීයෙන් හරි කඩේ ණය ගෙවන්න…”
මම කඳුළු පිරි නෛතින් ජිනේට කීවෙමි. කඩේට තිබ්බ ගිය මාසේ ණය ටික ගෙවන්න බැරි විය. ණය ටික ඉක්මනින් ගෙවීමට නොහැකි වුවහොත් තවත් ණයට බඩු මිලදී ගැනීමට නොහැකි වනු ඇත. ජිනේට මම කියපු ලෙසින් හැමදේම සිදු කිරීමට හැකි වුවහොත් මම නැති වුවද කොන්ද කෙලින් ඇති මිනිසෙකු සේ ජීවත් වන්නට හැකි වන්නේය.
“ජිනේ මම යනව….ආයේ නොයෙන්නම..”
වෙලාව හැන්දෑවේ හතර විය. දැන් මට පිටවී යන්න වේලවෙ හරි බව මම දනිමි. තම්මැට්ටම්, දවුල් හඬ ඇසෙනවාත් සමඟම දරුවන් තුන් දෙනාද ජිනේද මහ හයියෙන් හඬන්නට විය.
“පුංචි එකීට තමයි ඉතින් දුක වැඩි ඇති.. පවු අසරණී..”
එතන සිටි එක් ගැහැණියක් කියනු මට ඇසුණි.
“ජිනේ දරුවො ඇස් දෙක වගේ බලාගන්න… මගේ මළ බතට අඟුණකොළ මැල්ලුමක් මලවන්න අමතක කරන්න එපා.”
මං එසේ කියනවාත් එක්කම ජිනේ සීරුවෙන් පියන වසා දැම්මේය.
නිමි.
Leave a Comment