මහජන අධිකරණය වෙත මෙම ලිපිය යොමු කරමි.
ශ්‍රී ලංකාවේ උඩරට රාජ්‍යයේ සිටි අවසාන කීර්තිමත් සිංහල පාලකයා ලෙස සැලකෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707-1739) රජතුමාය. මීට පෙර සිටම උඩරට රජවරු දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුමාරිකාවන් මෙහි ගෙන්වාගෙන අගමෙහෙසිය කරගැනීමේ සිරිතක් පැවතුනේය. එහි ප්‍රතිඵලය වූයේ උඩරට රාජධානිය ක්‍රමයෙන් දෙමළ මුහුණුවරක් ගැනීමයි. අවසානයේදී මදුරාපුරයෙන් පැමිණි තරුණයෙකු(ශ්‍රී විජය රාජසිංහ) මහනුවර සිංහාසනාරූඪ විය. මේ සඳහා ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුට දරුවන් නොමැති වීමද විශාල පිටුවහලක් විය. 1739දී නායක්කර් කුමරෙකු සිහසුනට පත්වීම නිසා පසු කාලයේ ජාතිවාදී අදහස් වල ආභාසය ලත් සමහරුන් මේ උඩරට රාජ්‍ය බිඳ වැටීමට සිංහල හා නායක්කර් වරුන් අතර පැවති මතභේදය හේතු වූ බව දැක්වුවද එයම පමණක් මේ සඳහා බලනොපෑ බව දත යුතුය.
උඩරට රජු හා රදළයන් අතර පැවති මතභේද බොහෝ විට ජාතිවාදී ස්වරූපයක් නොදැරුවේය. මෙලෙස ජාතිවාදී ප්‍රශ්න මතු කලේ බොහෝ විට පහතරට පාලනය ගෙන ගිය ලන්දේසීන් විසිනි. නමුත් සිදුවූයේ නායක්කර් රජුන් යටතේ උඩරට රදළයන්ගේ බලතල අඩුවනවා වෙනුවට ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. පහත සඳහන් දේශීය රදළ ජන නායකයන් පරම්පරා ගණනක් රාජ්‍ය සේවයේ යෙදී සිටි නිසා එනම් ගලගොඩ, ලෙවුකේ, මාම්පිටිය,ඇහැලේපොල, මීගස්තැන්න, පිළිමතලාව ආදීන්ගේ පවුල් යස ඉසුරින් හා බලපරාක්‍රමයෙන් වැඩී ඇති බව ලෝනා දේවරාජ මහත්මිය උඩරට රජ්‍යය සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ මඟින් ඔප්පු කර ඇත.
මෙපමණක් නොව ඉහළ පෙලේ සමහර රදළයෝ තනතුරු විශාල ප්‍රමාණයක් දැරූහ. එම නිසා ඔවුන්ගේ බලය තව තවත් වැඩි විය. 1760 දී ගලගොඩ දිසාව තනතුරු දහයක් දැරීය. 1806 දී පිළිමතලාව විසින් මහා සැතපෙනගේ මුහම්දිරම, අතපත්තුවේ මුරපොලේ මුහම්දිරම, රන් ආවුද මණ්ඩපයේ ලේකම්,මහා අරමුදලේ වනක්කු නිළමේ, ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිළමේ, මඩුපේ දහාස පෙරුමක් ලේකම්, උඩුනුවර රට, මුඔයේ සහ තමන්කඩුව දිසාව, නුවර කලාවියේ දිසාව, ගගල, බෝගම්බර, කුරුව, නාලන්ද, අතුරඕවේ මණ්ඩපේ ,මණ්ඩපේ ගන්තුනේ දිසාව, මාතලේ දිසාව, පාතබුලත්ගම, ගිලීමලය, බඹරකොටුව, සබරගමුව ඇතුළු පාලන ප්‍රදේශ වල මහ අධිකාරම් ධූරයද ඉසිලීය. මේවායින් පෙනී යන්නේ රදළයින්ගේ බලතල ක්‍රමයෙන් වැඩි වූ බවය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම බලය තමන්ට අනිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙතැයි බිය වී රදළ බලය මඩින ලදී.
මේ කාලයේ බ්‍රිතාන්‍යයන්ගේ බලය මුහුදුබඩ ප්‍රදේශයේ තහවුරු විය. ඉංග්‍රීසීහු උඩරට ස්වාධීන රාජ්‍යයක්ව පැවතීම තමන්ගේ අභිමතාර්ථ රිසි සේ ඉටු කරගැනීමට බාධාවක් සේ දකින ලදී. එමනිසා ඔවුන් උඩරට රාජ්‍යය යටත් කරගැනීමට මාන බැලූහ. ඉහත සඳහන් කල ආකාරයට රජු හා රදළයන් අතර පැවති මතභේදය මත පිළිමතලාව මහ අධිකාරම ඉංග්‍රීසීන් වෙත කුළුපගකමක් ඇති කරගැනීමට මාන බැලුවේය. එයින් ඔහු බලාපොරොත්තු වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පාඩමක් ඉගැන්වීමක් විය යුතුය. ඒ අනුව පිළිමතලාව, රජුට හොරෙන් ඉංග්‍රීසීන් සමඟ රහස් සාකච්ජා කිහිපයක් පැවැත් වූයේය. ඒවායෙන් හෙළිවූයේද පිළිමතලාව ජාතිවාදය පදනම් කරගෙන ඉංග්‍රීසීන්ගෙන් ආධාර ඉල්ලූ බවක් නොවේ. ඉංග්‍රීසීහු පිළිමතලාවගේ පරමාර්ථ පිලිබඳ චකිතයකින් යුතුව මුලදී ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ශේප කළහ. නමුත් ඉංග්‍රීසීන් 1802 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ දේශ සීමාවේදී මුස්ලිම් වෙළඳුන්ට අඩත්තේට්ටම් කිරීම හා වෙනත් හේතූන් පාදක කොටගෙන උඩරට ආක්‍රමණය කළහ.
ඉංග්‍රීසි හමුදා සුළු සුළු බාධා මධ්‍යයේ සෙංකඩගල පුරවරයට ඇතුළු විය.එපමණක් නොව මොවුන් මහනුවර නගරයේ ඇතැම් තැන් ගිනිලැවීමටද සමත් වූහ. ඔවුන් මුත්තුසාමි නමැති නායක්කර් කුමරා උඩරට සිහසුනේ තැබූහ. එහෙත් එය එතෙක් උඩරට පැවති ජන සම්මතවාදී ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන් විරුද්ධ එකක් විය. මෙහි වැසියන් අභිනව රජුට පක්ෂපාතීකමක් දැක්වූයේ නැත. මේ නිසා මුත්තුසාමි කන්ද උඩරට රජුගෙන් හුදෙකලා වූයේය. මෙකී තත්වය කිහිප ආකාරයකින් ඉංග්‍රීසීන්ට අවාසි සහගත විය. අවසාන ප්‍රතිපලය වූයේ කිහිපදිනකින් උඩරට රාජ්‍යය සතුව පැවති ස්වාධීන ආරක්ෂක ක්‍රියාදාමයන් ක්‍රියාත්මකවීමට පටන් ගැනීමයි. ඒ නිසා මුත්තුසාමි පෙරටු කොටගත් ඉංග්‍රීසි හමුදාව අනේකවිද දුක් කම්කටොලු රාශියකට මුහුණ පෑවේය. මන්දයත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා උඩරට ජනතාව ඉංග්‍රීසීන් සෙංකඩගල පුරවරයෙන් පන්නා දැමීමේ ව්‍යාපාරය අති සාර්ථකව දියත් කිරීමයි. එය කොතරම් දරුණු වීදයත් ඉංග්‍රීසීන්ට මුත්තුසාමි ඇතුළු කණ්ඩායමක් උඩරට රජු වෙත පාවාදීමට පවා සිදු විය. අවස්ථාවට අනුකූලව ඉංග්‍රීසීහු ඔවුන්ව පාවා දී තම ජීවිත රැකගෙන උඩරටින් පසු බැස්සේය. එහෙත් ඔවුන්ගෙන් ජීවිත ඉතිරි වූයේ තුන්දෙනෙකුට පමණි. අනෙක් සියළු දෙනාටම පාහේ නොයෙකුත් අඩත්තේට්ටම් වලට මුහුණ දී මරණයට පත් වීමට සිදුවිය.
මෙහිදී ඉංග්‍රීසීන් කදිම පාඩමක් ඉගෙනගත්හ. එනම් උඩරට රාජ්‍ය යටත් කරගැනීමට පිළිමතලාව වැනි ප්‍රථාපවත් එක් පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ සහය ඇතිව කල නොහැක්කක් බව මෙහිදී ඔවුනට හොඳින් තේරුම් ගියහ. මේ නිසා උඩරට වැසියාගේ රාජපාක්ෂික බව සම්පූර්ණයෙන්ම අවශ්‍යය බව අවබෝධ කර ගැනීම ඉංග්‍රීසීන් ලද අගනාම පාඩම විය. උඩරට යටත් කරගන්නවානම් පළමුවෙන්ම රාජපාක්ෂික භාවය බිඳීම අත්‍යවශ්‍යය කරුණක් නිසා මින් පසු ඒ සඳහා උපක්‍රම ගණනාවක් යොදවනු ලැබීය. ඒ සඳහා ඔවුනට ජෝන් ඩයිලි නම් සිවිල් නිළධාරියා ප්‍රමුඛ චරපුරුෂ සේවාවෙන් ලැබුනේ අනුපමේය මෙහෙයකි. මෙකී තත්වය පමණක් නොව ඒ වන විට පෙරට වඩා රජු හා දේශීය ප්‍රධානීන් අතර පැවති මතභේද අසමගියද මේ සඳහා ආධාර විය. අවසාන කාලයේ උඩරට රාජ්‍ය තුළ පෙර නොවූ විරු අන්දමේ ඝාතන හා ත්‍රාසය භීතිය ඇවිළී ගියේය. මේ සඳහ විශාල වශයෙන් ආධාර වූයේ රජුගේ අමනෝඥ ක්‍රියා පමණක් බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වී ඇත.
1810 සිට ගත වූ අවුරුදු පහ තුල ඒ මාරක දිනය උදා වීමට ඉංග්‍රීසීන් හා උඩරට නායකයින්ගේ කුමන්ත්‍රණ, සටන් ක්‍රියාමාර්ග, සාම සාකච්ජා ගිවිසුම්, ගිවිසුම් කඩකිරීම් ආදිය වසරින් වසර දවසින් දවස පැයෙන් පැය පෙල ගැසී ආ අයුරු මීට වඩා දීර්ඝ වශයෙන් සාකච්ජා කළ යුතු වුවද ඒ සඳහා වෙනත් අවස්තාවක් උදාකර ගනිමු. මෙකී තත්වයක් පෙර සිදුවීම් වල තිබුණද ජවනිකාවේ ප්‍රධාන චරිතය වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එවැනි දේවල් කලේ හිතාමතාද යන්න ප්‍රශ්නයක් වන්නේ ඔහු දිවයිනෙන් පිටමං කිරීමට පෙර ඉංග්‍රීසීන් අමතා කොළඹදී කළ කතාව නිසාවෙනි. එම නිසා එය විමසා බැලීම ඔබේ කටයුත්තකි. එම නිසාවෙන් එතුමා කල සම්පූර්ණ කථාව පහත සඳහන් කරමි. ඔබගේ සිතෙහි ඇති සමහර දුර්මතයන් වෙනස් කිරීමට යම් තරමක හෝ ඉඩක් ලැබෙතැයි සිතමි.
***************************************************************************************************************************
“සිංහල ජන ප්‍රධානීන් විසින් මා අල්ලා දීම ගැන මම ඔවුන් පිට දොස් තබමි. ඔවූහු මා ගැන වරදවා කල්පනා කළෝය. මා රජකමට පත් වූ තෙක් සිට පිළිමතලව්වේ නිළමේ ඔහුගේ ලාමක අදහස් ඉටුකරගැනීම සඳහා මට ද්‍රෝහිකම් කළෝය. මේ ගැන මම බොහෝ කාලයක් යන තෙක් කිසිවක් නොදැන සිටියෙමි. කල් යාමේදී මට කාරනා ටිකෙන් ටික දැනගන්නට ලැබිණි. ඉන් පසු මම මහ නිළමේ ගෙන්වා රහසිගතව අවවාද දුන් නමුත් ඔහුගේ ද්‍රෝහී ක්‍රියා වෙනදාටත් වඩා අධික විය. දෙවනුව විභාගයක්ද පවත්වා පරීක්ෂා කළෙමි. එහිදී ඔහුගේ රාජද්‍රෝහී ක්‍රියා ඔප්පු වූ නමුත් සමාව දී නිදහස් කළෙමි. උප අධිකාරම් කෙනෙකු වූ ඇරැව්වාවෙල නිළමේ මගේ පස මිතුරන්ට විරුද්ධව ක්‍රියා කළේය. ඒ බැව් දැනගත් ඔවූහු ඇරැව්වාවෙල මා නැති කිරීමට උපාය යොදන බව කීවෝය. මා ඇරැව්වාවෙල සමඟ බිඳවීම සඳහා ඔවූහු ගතු කියමින් කිහිප වතාවක්ම උත්සහ කළෝය. එහෙත් ඔහු කෙරෙහි පැවති මාගේ විශ්වාසය මේ කිසිවකින් අඩු නොවීය. ඒ නිළමේ වනාහි සිංහල රාජ්‍ය සහ මා රැක ගැනීම සඳහා උත්සහ දැරුවෙකි. මේ හෙයින් ඔහු රහසේ මරා දැමීමට අර ද්‍රෝහීන් විසින් උපායක් යෙදීමට පටන් ගන්නා ලදී. දිනක් මා අත්සන් තැබුවා සේ පතක් ලියා එහි ව්‍යාජ අත්සන තබා ඔවූහු ඇරැව්වාවෙල නිළමේ මැරවීම සඳහා කටුපුල්ලේ නිළධාරියෙකුට පැවරූහ. ඇරැව්වාවෙල නිළමේ ද එය මාගේ නියෝගයක්යැයි විශ්වාසකොට මරණයට මුහුණ පෑවේය.
නුවර වැව කරවීමේ දී වැසියන්ට හිරිහැර පමුණුවාලීම අයුක්තක්යැයි පිළිමතළව්වේ නිළමේ තදින්ම ඔවුනට අවබෝධ කළේය. වැසියෝද එය අයුක්තක් හැටියට විශ්වාස කලෝය. පුරවැසියන්ගේ සෞඛ්‍යයත්, නුවර අලංකාරයත් පතමින් ඔවුන් ඒ කටයුත්තෙහි යෙදවීමි. එහෙත් මහ නිළමේගේ දුෂ්ඨ අදහස් කිසිම ආකාරයකින් වළක්වාලීමට නොහැකි විය. ඔහු මා සිංහල ජාතියේ සතුරෙක් යැයි රටවැසියාට ඇඟවීමට වෑයම් කළේය. මම අන්‍ය රජ පෙළපතකින් පැවතන්නෙකු හෙයින් රට වැස්සෝද එම වචනය විශ්වාස කළෝය. ජාතිභේදයද අපේ රාජ්‍යය නැතිවීමට බලපෑ ප්‍රධාන කරුණු අතරින් එකක්යැයි මම සිතමි. පිළිමතල්ව්වේ නිළමේගේ මහ අධිකාරම් ධූරයෙන් මටවත්, රටටවත් කිසිම අර්ථ සිද්ධියක් නොවන බැව් වැටහුනෙන් ඔහු එම තනතුරෙන් පහ කළෙමි.
ඇහැලේපොල නිලමේද කාලයක් යහතින් සේවය කලේය. කල් යාමේදී ඔහුද අර ද්‍රෝහීන්ගේ වචන ඇදහිලි කරන්නට පටන් ගත්තේය. කරුණු මෙසේ පැවතුනහොත් අපේ රාජ්‍ය නොබෝ කලකින්ම විනාශ වන්නට හැකි බව මම ඒ කාලයේදී කීවෙමි. මගේ අවවාද වලට වඩා ඇහැලේපොල නිළමේට ද්‍රෝහීන්ගේ වචන රසවත් විය. දිනක් රහසිගතව ඔහුගේ වැරදි වලට සමාව දුනිමි. ඉන් පසුව ඔහු ද්‍රෝහීන්ට එකතුව මට සතුරුකම් කරන බව දැනගත්තෙමි. මේ හෙයින් ඒ තෙමේ මහනුවරින් අස් කළහොත් කෙමෙන් තත්වය සංසිඳෙතැයි බලාපොරොත්තු වූයෙමි. ඒ අදහස පිට ඇහැලේපොල නිළමේ සබරගමුව මණ්ඩලේෂ්වර පදවියට පත් කොට එහි යැවීමි. මින් පසුව ඔහු මා කෙරෙහි විශ්වාසයක් නොතැබුවේය. එහෙත් මා තුළ පිහිටි අවංකභාවය දන්නා ඇතැම් නිළමේ වරු මා රැක ගැනීමට බලවත් සේ උත්සහ කළෝය.
මේ අවධියේදී ඇතැමෙක් මා විනාශ කිරීමට උපායන් යොදන බව දැනගත් මම ඉන් බලවත් සිත් තැවුලට පත් වීමි. මේ හේතුවෙන් රාත්‍රී කාලයේදී මට නින්ද පවා නැති විය. මා ඇසුරු කළ රාජ්‍ය පාක්ෂිකයන් මෙන් පෙනී සිටි බල කාමයෙන් මත් වූ නිළමෙලා විසින් මට පැමිණ තිබූ සිත් වේදනාවන්ට අත්දුටු ඖෂධයක් වශයෙන් මද්‍ය පානය යහපත් බව අවබෝද කළහ. මාගේ බුද්ධියද ව්‍යාකූලව පැවතුනෙන් ලාමක මත්පැන් පානයට සිත නැමුනේය. මා ඊට ඇබ්බැහි විය. මේ හෙයින් මත්පැන් ද අපේ රාජ්‍ය නැති කිරීමට අප වෙත එලඹි බලවත් සතුරෙක් යැයි මට වැටහේ. ඇහැලේපොල නිළමේ රාජ්‍ය කැමැත්තෙන් සිටියේය යන වචනය නිළමේ වරුන් විසින් ගතු කීමෙන් මාගේ හෘදයට ඇතුල් කරන ලදී. සබරගමුවේ වැසියන්ද ඔහුගේ වචනාකාරීව සිටින බව මට සැලවිය. ඔහුගේ සුතනඹුවන් හට අධිකරණ සභාවෙන් දෙනු ලබන ඒකමතික තීන්දුව අනුව දඬුවම් කිරීම සුදුසු බව මට කීවෝය. එහෙත් මම එම වචනය පිළිනොගෙන සිටිය අතර ඇහැලේපොල නිළමේගේ වෛරී එකෙකු වූ පුස්සැලේ විසින් මේ බරපතල දඬුවම අනුමත කිරීම සඳහා මා පෙලඹවීය. දිනක් මා මද්‍ය පානයෙන් සිහි මුලාව සිටි අතර රාජපාක්ෂිකයෙකු මෙන් වෙස්වළාගෙන සිටි ඇහැලේපොල නිළමේගේ සතුරෙකු විසින් ඒ ඛේදජනක ක්‍රියාව වෙනුවෙන් මාගේ අනුමැතිය ලබාගනුවස් ඒ ගැන ලියූ තල්පත මා අත තැබුවේය. මම ඒ ලියවිල්ලෙහි අත්සන තැබුවෙමි. එය කෙසේ වතුදු මේ පැවත ආ ව්‍යවස්ථානුකූලව රාජද්‍රෝහියෙකුගේ ඇපකාරයන්ට දියයුතු දඬුවම දුන්නෙමි. ඉංග්‍රීසි නීතිය අනුව රාජද්‍රෝහීන්ට දඬුවම් නොකරම්හුද පවසා තමා නීතිය උල්ලංගණය කර කිසිවක් නොකළ බවත් ඒ සියල්ල ගැන තම නිදහසට හෘදසාක්ෂිය ප්‍රමාණවත් බවත් ප්‍රකාශ කරමි.”
(මේලියස් ද සිල්වා – ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා)
*************************************************************************************************************************
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එවැනි ප්‍රකාශයක් කර හෘදසාක්ෂියට පමණක් ප්‍රමාණවත්වීම ඔහුගේ මතයට අනුව නිවරැදි වුවද එවැනි ක්‍රියාදාමයන්ගෙන් සිදුවූයේ ශ්‍රී ලාංකිකයන් හට මව් බිමේ ස්වාධීනත්වය නැති වී බටහිර ජාතියකට අවශ්‍යය ලෙස කටයුතු කිරීමට සිදුවීම නොවේද යන්න තවත් වරක් සිතිය යුතුව ඇත. නමුත් රජුගේ අස්ථාවරත්වයට හේතුව රජුගේ තනි තීරණ පමනක්ම නොවන බව අප සිහියේ තබා ගතයුතු කරුණකි.
වැරදිකරුවා තේරීම මහජන උසාවිය නොහොත් පාඨක ඔබට භාර කරමි.
Leave a Comment