සරසවි වරම් විඳිනටත් පූර්වයෙන්,
බහුතර සිත් සතන් තුල මූල බීජ ලන්නා වූ,
චිත්තාභ්‍යන්තරයන් මනෝ චින්තනය කරන්නා වූ,
ආත්මීය හීනයක්…
සරසවි වරම් පහසින් සුව විඳින්නා වූ,
සියල් සිත් සතන් තුල පූදින්නා වූ,
නිමල පැතුමක්…
සුළුතරයකට පමණක් ලැබෙන්නා වූ,
ආවර්ජනය කර රස විඳිය හැක්කා වූ,
නන්දනීය වූත් වින්දනීය මතක සාගරයක්…
තුදුස් වසරක පාසල් අධ්‍යන කාලය අවසන්ව, රැගෙන එන්නා වූ වාසනා ගුණයත්, තම තම සිත් සේ, සිත් බැඳි ආශාවනුත් පෙරදැරිව, අධ්‍යනයට අත් පොත් තැබුවා වූ සරසවි සිහින, එකින් එක මල් ඵල ගන්වමින් කොළඹ විශ්වවිද්‍යාලයීය අවසන් වසර අපේම සහෝදර සහෝදරියන්ට ලෝගු පළඳා ගතව ඇත්තේ තවමත් පුංචිම පුංචි කාලයක්. පුරා වසර ගණනාවක අත් වින්දා වූ සරසවි මතක සටහන් එකින් එක එකට පොදි බඳිමින්, දුටුවා වූ සිත් සිහින යථාර්ථයක් බවට පත් කර ගනිමින්, කටු පඳුරු මල් මාවත්වලින් නිර්මිත වූ මං මාවත් ඔස්සේ පිය මනිමින්, පියවරින් පියවර අත් කර ගත්තා වූ සාර්ථකත්වය, හෙට දිනයේ ඔවුනගේ දිවියේ මාහැඟි ආශිර්වාදය වන බව නම් නොඅනුමානයි.
දෙමාපිය කිරි සිහින ජීවමාන කරනු වස්, අත්‍යන්තයෙන් කැප කළා වූ, දින, සති, මාසයන්හි සඵල ඵලය, අද දින ඔවුනගේ නෙත් අද්දර දිලෙන කඳුලක් වී දෙකොපුල් මතින් රූරා වැටෙන්නට ඇති. සිප් කිරි පෙවූ ගුරු දෙගුරු සිහින, ජීවමාන වූ සිත්තමක් මෙන් දෑස් මත්තේ අභිමානයෙන් දිලෙන්නට ඇති.
ලබන්නා වූ ජීවිතයේ විඳින්නා වූ ඒ ස්වර්ණ හෝරාවන් වෙනුවෙන්ම, ඔබත් මමත් සියල්ලමත් පේ වන්නේ මීට වසර ගණනාවකට පෙරාතුව පටන්ය. වැඩිහිටියන් මතින් කළ එළි දැක්කා වූ කිරි සිහිනයන්, අවබෝධයක් ලද්දා වූ කාලයේ පටන්, ආත්මීය කර ගැන්මේ ප්‍රතිඵලයක් ලෙසින් උරුමකර ගන්නා වූ සරසවි වරම තමා සතු කර ගන්නට තරම් ඔබත් මමත් අපි සියලු දෙනාමත් සැබෑම වාසනාවන්තයින් වන්නෙමු.
හැපෙමින්, බිඳෙමින් දහසක් වූ බාධක මත්තෙන්, සිව් කොන් අළලා ගොඩ නැගුණා වූ සහෘදත්වයෙන්, එකට එක්ව, එකාවන්ව ගලා ගියා වූ සරසවි දිවියේ ලබන්නා වූ දැනුම් සම්භාරයට සාපේක්ෂව ලැබෙන්නා වූ අත්දැකීම් සමුදාය මතින් අත්විඳින්නා වූ පන්නරය සරසවි ශිෂ්‍යයකුටම වනා, වෙන යම් පුද්ගලයකුට නම් අත් විඳීම අසීරුය.
සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ස්වර්ණමය වන්නා වූත් ආවර්ජනයෙන් තෘප්තිමත් විය හැක්කා වූත් සුවිශේෂී වූ අත්දැකීම් හා මතක සමුදායක් කැටිව, සරසවි මෑණියන්ගේ ආශිර්වාදය ද සමඟින්, අද දිනයේ ඔබ ලෝගු ඇඟලා කිරුළු පළඳා, අභිමානනීය ලීලාවෙන් නව ලොව වෙත පා තබනුයේ එකී සරසවි මෑණියන්ගෙන් ලැබ ගත්තා වූ පන්නරය ද සමඟ ය. ඒ සා වූ විශිෂ්ටත්වයක් සමඟින් අනාගත ලෝකය සමඟ මුසු වන්නා වූ කොළඹ විශ්වවිද්‍යාලයීය විශිෂ්ටයින් ලෝකය දිනීම අරුමයක් නම් නොවනු නිසැකය.
තුටු කඳුලින් හැඬ වූ දෙනෙත් අභියස ආත්මාභිමානය හා හෘදයාංගමව නැගෙන්නා වූ ගෞරවාදරය ද මුසුව දෙගුරුන්ගේ ආශිර්වාද ලබන්නට නම් අත්‍යන්තයෙන්ම පුණ්‍යවන්ත වූ දියණියක හෝ පුතණුවකු විය යුතුමය. ඉදින් අද ඔබ සැම එවන් වූ විශිෂ්ට චරිතලාභීන් බව ආදර්ශයෙන්ම පසක් කර හමාර ය.
ඉදින් ආදරණීය අයියේ අක්කේ, අති උත්සවශ්‍රීයෙන් ඇගයීමට පාත්‍ර වූවා වූත්, නැගෙන්නා වූ අරුණෝදයේ හසකැන් පහසින් දොරඟුලු විවර කරන්නට සිත් සිහින මවන්නා වූත්, කොළඹ විශ්වවිද්‍යාලයීය අවසන් වසර අපේම සොයුරු සොයුරියන් වූ ඔබ සැමට, සිත් බඳින මාවතේ පැතු මල් පිපේවායි Colombo Beacon අපේ සුභාශිංසනත් සමඟින්, ලොවක් දිනූ නමක් දිනා සරසවි මෑණියන්ගේ ගෞරවය මුසු නාමය ජය මඟේ සනිටුහන් කරන්නට ධෛර්යය ලැබේවායි Colombo Beacon අපි හදවතින්ම සුබ පතන්නෙමු.
Leave a Comment