මේක පුංචි කතාවක්, නිකම් කතාවක් නෙවෙයි.
අවුරුදු කුමාරයෙක් ගැන කතාවක්.
පුංචි කාලෙ ඉස්කොලේ අවුරුදු නිවාඩු දෙන්න කලින්
දවසක් ටීච,
“පුතේ, හෙට එනකොට අවුරුදු කුමාරයා ගැන අම්මගෙන් අහගෙන එන්න, ඇවිත් හැමෝටම ඇහෙන්න එක්කෙනා ගානේ නැගිටලා කියන්න.”
ඉතින් පුංචිකමට එදා මාත් උඩපැනගෙන ගෙදර ඇවිත් ඇඳුමවත් ගලවන්න නොදී අම්මගෙන් ඇහුවෙ ඒක.
“කවුද අම්මෙ අවුරුදු කුමාරයා කියන්නේ? ටීච නම් කිව්වේ අවුරුදු දවසට ගෙදරට වඩිනවා කියලා. අම්මා දන්නවද කවුද කියලා ඒ? කියන්නකො…”
තාමත් එදා වගේ මතකයි මගේ අම්මගෙ මූණෙ ඇඳුනේ ලස්සන හිනාවක්.
“දූ දන්නවද, අනිත් අයගෙ ගෙවල්වලට අවුරුදු කුමාරයා වඩින්නෙ දාහතර වුණාට අපේ ගෙදරට අවුරුදු කුමාරයා වඩින්නෙ දහතුන් වෙනි දා හවස.”
ඇස් ගෙඩි දෙකත් ටීක් බෝල කරන් බැලුවේ ඒ කතාව මොකක්ද කියලා.
හරි පරිස්සමට මාව උකුලට ගත්ත අම්මා කියලා දුන්නෙ ලස්සන කතාවක්.
ඉතින්, ඊළඟ දවසෙ ටීච අවුරුදු කුමාරයා ගැන ඇහුවම එක එක කතා…
“සූර්යා මීන රාශියෙන් මේශයට යනවලු…”
මට නම් ඉතින් ඒ ඔක්කොටම වඩා අම්මගෙ කතාව කියනකම් ඉවසිල්ලක් නෑ.
අන්තිමට,
“දූ ඔයා කියන්න, අවුරුදු කුමාරයා කියන්නේ කවුද? “
පුටුවත් පෙරලගෙනම නැගිටපු මන්,
“ටීච අපේ ගෙදරට අවුරුදු කුමාරයා එන්නෙ දහතුන හවස, අනිත් අයගෙ ගෙවල්වලට ඇවිත් ගියාට අපේ ගෙදර තමයි හැමදාම අවුරුදු කුමාරයා ඉන්නෙ…”
හැමෝම කටවල් අතින් වහගෙන මට හිනා වෙනවා. කමක් නෑ. ඒත් මම කිව්වේ අම්මා කියලා දුන්න කතාව.
“සද්දෙ නවතන්න. කියන්න පුතේ කවුද ඒ අවුරුදු කුමාරයා? කවුද එහෙම කිව්වේ?”
“ටීච, අවුරුදු කුමාරයා දහතුන්වෙනි දා අපේ ගෙදරට එන්නෙ ගෙදර කාටත් ඕන හැමදේම අරගෙන. මමයි, මල්ලියි, අම්මයි මග බලාගෙන ඉන්නෙ ඒ කුමාරයා වඩිනකම්. අම්ම නම් කිව්වේ ඒ රජෙක් කියලා. නොපෙනෙන අවුරුදු කුමාරයෙක් එනකම් අනිත් අය බලන් හිටියට අපි බලන් ඉන්නෙ පේන අවුරුදු කුමාරයෙක් එනකම්. අවුරුද්දෙම අපි වෙනුවෙන් දුක් විඳලා අත්වල කරගැට එනකම් වැඩ කරපු, ඒ වුණාට කවදාවත් මහන්සියක් නොපෙන්වන අවුරුදු කුමාරයෙක් අපේ ගෙදරට එන්නෙ…”
දැන් හැමෝම බය වෙලා මොකක්ද මේ කතාව කියලා ටීචත් බය වෙලා… ඇයි ඉතින් මේ කොහෙන් ආපු අවුරුදු කුමාරයෙක්ද කියලා. මට මතක් වුණේ අම්මගෙ හිනාව එක්ක අන්තිමට කියපු දේ.
මාත් හරි ලස්සනට හිනාවෙලා ඒක කිව්වා.
“ටීච අපේ ගෙදරට දහතුන්වෙනි දා වඩින අවුරුදු කුමාරයා අපේ තාත්තා…”
අන්තිමට ටීචගෙ ඇස්වලත් කඳුළු ළඟටම ඇවිත් ඔළුවත් අතගාලා,
“ඇත්ත පුතේ, පුතාගෙ අම්මා අවුරුදු කුමාරයා කවුද කියලා හරියටම කියලා…”
ඉතින් ඒ පුංචි කාලේ. අදත් වෙනසක් නෑ. ලොකු වුණා කියලා තාමත් අපේ ගෙදර අවුරුදු කුමාරයා අපිට අවුරුදු අරන් එනකම් ගේ දොරකඩ මමයි, මල්ලි, අම්මයි මගබලාගෙන.
“පරිස්සමෙන් අවුරුදු අරගෙන අපේ ගෙදරට වඩින්න අවුරුදු කුමාරයා…”
ඉතින් හැමදාම, හැම මොහොතකම, මන් දැකපු එකම අවුරුදු කුමාරයා වෙන කවුරුත් නෙවෙයි. “තාත්තා.”
Leave a Comment