නිසදැස් විශේෂ දිනයන්

අවුරුදු

අම්මගේ අරියාදු අහන්නට බැරිම තැන
හාල් ටික කෙටෙනකන් පෝලිමේ ඉන්න වුන
හන්දියේ මෝල ලඟ රස්තියාදු වෙන්න වුන
කට්ට කෑ දවස් ටික
අවුරුදුත්
එපා වුන

තෙල් නටන තාච්චිය වට කරන් ඇන තියන්
කොකිස් ටික බැදෙනකන් ලිප දිහා
වම බලන් මතකයි මම උන්න
අත්තම්ම ලඟ ඉඳන් කෙල උනන කටට තව වැට කඩුළු
හෙම බැඳන්

වත්ත පහලට වෙන්න ඇල ලඟ අත්ත අල්ලල බැන්ද ලණු පොට
උඩට යනකන් තල්ලු දම දම පැද්ද හැටි මතකයිද
දිගටම කියපු ඔංචිලි වාරමේ පද තාම පාඩම් දිගට හරහට
ගමේ අවුරුදු තරම් ලස්සන නැත්තෙ
ඇයි අද ටවුමෙ හින්දද

ඉදුණු පුහුලන් ඇහැට ගැටුණම කටයි නලියන්නෙ හොඳටම
සරම කැහිපට ගහන් තව මං
ගහේ උඩටම බඩත් ගෑවම දැක්ක කල් මට මතක නෑ රතු එරබදුත්
දැන් දාල වාරණ
කොහාටත් දැන් අමතකයි ගම මතකයන් විතරයිද ඉස්සර

මහගෙදර සාලෙ මැද කෙල්ලො ටික වට කරපු
පංච පෙත අදිනකොට තැනින් තැන
හොර කරපු අවුරුද්දෙ නිවාඩුව බට්ටො පැනලම
ගෙවපු සද්දෙ වැඩි දවස් ටික හිනාවල් උතුරාපු
රතිඤ්ඤා කරල් හෙම වීසිවෙන වෙලාවට

දිරච්ච වහලට උඩින් අහස්කුරු යැව්වෙ තව පත්තු කර එකදිගට
යටිගිරියෙන් කෑ ගහන් ගියපාර අවුරුද්දෙ පෙට්ටගම යට තියපු
කාසිත් දැන් නෑ ඉතින්
අන්තිමම රුපියලෙත් කාටත්ම හොරා මං
බඹර චක්කර අරන්

අල්ලපන් රබාන තව ගින්දරට ලංකරල
වෙඩි වගේ සද්දෙ බොල ගත්තහම
රත්කරල
හැට පැනපු ආච්චිලා කෙල්ලො වගෙ වටකරල
රබන් පද ගැහුවෙ යස අගේටම කවි කරල

අවුරුද්දෙ ආස පැය වෙන මුකුත් නෙවෙයි මම
ඔක්කොටම කලින් එන වැඩක් නැති නොනගතය
මෙලෝ සිහියක් නැතිව දුවන උන් නොයෙක් අත
ටිකක් හරි හතිවැටිල නතරවෙන අතරමැද
වත්ත පහලට වෙන්න ඇල ළඟ අත්ත අල්ලල

බැන්ද ලණු පොට උඩට
යනකන් තල්ලු දම දම පැද්ද හැටි මතකයිද දිගටම කියපු ඔංචිලි වාරමේ පද තාම පාඩම්
දිගට හරහට ගමේ අවුරුදු තරම් ලස්සන
නැත්තෙ ඇයි අද ටවුමෙ හින්දද

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

එරංගා දිසානායක

නීති පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment