දැනුම

අසනග වැසි

“මගේ ජිවිතය සම්බන්ධ සමීපතමයින් මගෙන් උදුරාගෙන දෛවය මෙතරම් දුක් දෙන්නේ ඇයි?”

“ඒ, ළතැවුල, දුක් වේදනා ජිවිතයට අත්වැලක් ලෙස ගෙන හොඳ නිර්මාණ බිහි කර ඔබ ලෝකයට අවශ්‍ය පුද්ගලයෙක් කර, දුක් ළතැවුල් වලින් ඔබව මුදවා ගැනීමට යි.”

මෙලෙස රවින්ද්‍රනාත් තාගෝ සහ එතුමන්ගේ මව අතර ඇතිවන සංවාදයක කොටසක් ග්‍රන්ථයෙ හි මුල් පිටුවෙ හි ම සඳහන් කරමින් කතුවරිය පාඨකයාට දැනවීමට උත්සහ කරන්නේ තම ජිවිතයේ තමා විඳි අනේකවිධ දුක් ගැහට වලින් ලද පන්නරය තුළින් මෙම අනර්ඝ නිර්මාණය බිහි වූ බව යි. දර්ශනා ශම්මි විජේතිලකා මහත්මිය විසින් රචිත මෙම අසනග වැසි ග්‍රන්ථය 2018 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙ හි හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්ථක සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ වන අතර කතුවරියගේ ජිවිත අත්දැකීම් ද මුසු කර රචිත ග්‍රන්ථයක් ලෙස හැඳින් වීම වඩාත් සුදුසු යැයි සිතමි.

ඉපැරණි කතරගම් නුවර අශ්‍රිතව කතාව ගොඩනැගෙන අතර කතරගම ගම් පියස්සෙ හි සුන්දරත්වය මදක් හෝ අඩුවක් නොමැතිව වචනාර්ථයෙන්ම සුන්දරත්වය විස්තර කරමින් කතාව ආරම්භ වේ.

“කතරගමට වැස්සම සිරියාවයි.
කට්ට වෙලා. දුවිලි පිරිලා. ඉරිතැලුණු පොළොවයි, කොළ හැලිලා කේඬෑරි වෙලා කරකුට්ටන් වෙච්ච ගහකොළ හරි හරියට වැහි වතුර බීගෙන තිරිහන් වෙනවා. වැව් අමුණු පිරිලා කේඬෑරි වෙලා කර වෙලා තියන නෙලුම් අල, ඕලු අල දවසෙන් දෙකෙන් ලියලලා වතුරේ උඩට මතු වෙනවා.”

මේ අයුරින් ආරම්භය ගන්නා කතාවෙ හි ප්‍රධාන චරිත ලෙස ආලත්ති අම්මා නොහොත් වසුන්දරා, සේන්ද අම්මා, රතු මහත්තයා, රවිනාථ යනාදිය ප්‍රධාන වශයෙන් කතා නායකයින් වේ.
වසුන්දරා යනු, කතරගම් නුවර දේවාලයේ ආවතේව සිදු කරමින් ජිවත්වන කුඩා කලම තම මව අහිමි වී සිටින ඉතා රූමත් තරුණියකි. කතරගම පෙරහැර සමය ආරම්භව ඇති බැවින් ආලත්ති අම්මාවරුන්ට ද වැඩ රාජකාරි එමට ය.

අතීත ඒ සිරිත් විරිත්, චාරිත්‍ර සේ ම විශ්වාසයන් පිළිබඳව මනා ලෙස කරුණු සොයා බලමින් අතීත දිවිපෙවෙත මැනවින් ග්‍රන්ථය පුරාම ඉස්මතු කිරීමට කතුවරිය සාර්ථක උත්සාහයක යෙදී ඇති බව කිව යුතුම ය.

“රතු නෙළුම් මල් කතරගම දෙයියන්ට, නිල්මානෙල් විෂ්ණු දෙයියන්ට, සුදු ඕලු බුදුන්ට. සවුන්දරා ගුරුන්නාන්සේ දියමල් ගෙනියනකොට තවත් උන්දලා ගොඩමල් ගෙනියනවා. ගැටපිච්ච, කොබෝලීල, ඉද්ද, වතුසුද්ද, කටරෝල්, රුක්අත්තන, අනිත් අවශේෂ දෙයියන්ට පුදන මල්.”

මේ අයුරින් විස්තර ඇතුව දේවාල ආශ්‍රිතව කරුණු සොයා ගැනීම, අතීත සිරිත් විරිත්, භාෂාව සොයා එය අධ්‍යනය කරමින් කතාව ලිවීම දැඩි ආයාසයකින් කළ යුතු කාර්යය කි.

“ආලත්ති අම්මට තියෙන්නේ කඩාහැලෙන ලස්සනක් නෙවෙයි. මුණේ සිරියවන්තකම, තියුණු ඇස් දෙක, සුදුත් නැති කළුත් නැති පැහැය, ඇවිදිනකොට ගාම්භීරකමක් එකතු වෙනකොට ඕනෑම කෙනෙකුගේ ඇස් දෙක හැරවෙනවා ඒ දිහාවට. ඒත් එක සැරයක් බලපු ගමන්ම විහිලුවට, මනමාල කමට සුදුස්සියක් නෙවෙයි මේ කියලා ඕනෑම පිරිමි පරාණේකට තේරෙනවා.”

මේ ආකාරයෙන් වසුන්දරා පිලිබඳව විස්තර කරන අතර මෙලෙස ගාම්භීර සිත් ඇත්තියක් වුවත් ඒ හිත එක්වරම සොලවන්නේ රවිනාථ. ඇගේ වචනයෙන්ම කිවහොත්, “බොර පාට ඇස් දෙක හිමි පින්තූර මහත්තයා” විසිනි.
පෙරහැරේ යන අතරමග හමුවන මේ තරුණයා ඇගේ ඉරණම්කරු වේ යැයි ඇය එදා නොසිතන්නට ඇත.
නිතර නිතර හිතට ආවත් ආලත්ති අම්මා ඒ සෑම මොහොතක දී ම මේ තරුණයාව සාහසික ලෙස සිතින් පලවා හරින අතර ඇය දේවාලයේ අවතේවකාරිය බව නිතර සිහි කරයි.

මේ අතර සුවිශේෂී කොටසක් ලෙස මොනර කුරුල්ලා දැක්වීම උචිත ය. ග්‍රන්ථයේ පිටකවරයෙ හි පවා මොනර පිල් ආශ්‍රය කර චිත්‍රයක් ඇති අතර වසුන්දරාගේ ජිවිතයේ අනාගතය පිලිබඳ ඉඟි කරන්නෙකු ලෙස මොනර කුරුල්ලා කතාව පුරාවටම සුවිශේෂී වේ. එයට පාදක වී ඇත්තේ කතරගම දෙවියන්ගේ වාහනය ලෙස මොනරා හඳුන්වන බැවින් ද ආලත්ති අම්මා ද කතරගම් දේවාලයේ ආවතේවකාරිය බැවින් ඇයට කතරගම දෙවියන්ගේ ආශීර්වාදය නිතරම අනාගතය පිලිබඳ ඉඟි පවසනවා යැයි ඇතැම් විට පාඨකයාට සිතෙන්නට පුළුවන.

වසුන්දරාගේ ජිවිතයට සතුට රැගෙන එන අවස්ථාවන් හි මොනරා එය කලින්ම දැන්වීම සඳහා හැසිරෙන ආකාරය, එසේම ඇයගේ පියාගේ වියෝවේ දී මොනරා පෙර දින හැසිරුණු ආකාරය සේ ම ඇයගේ ආලත්තිකමින් ඉවත් වී අලුත් ජිවිතයක් වෙත ගිය පසු මොනරාගේ වියෝව සිදු වීම කතාව පුරාම අනාගත ඉඟි දෙනු ලබයි.

“මොනරා කුස්සියේ පිළේ පඩිය උඩටම ඇවිල්ල ආලත්ති අම්මගේ මුණ බලන් හිටියේ හරියට දුක් වෙන්න එපා කියනවා වගේ.”
“හිටි හැටියේ කන් පසාරු කරගෙන යන්න මොනරා විලපේ තිබ්බේ. ආලත්ති අම්මගේ හිතත් ගැස්සුනා”

මෙය සිදු වුයේ ආලත්ති අම්මාගේ පියාගේ වියෝවට පෙර දිනයේ දී ය.
වසුන්දරා තම පියාට හව්හරණක් වීමේ අටියෙන් රතු මහත්තයා නම් පුද්ගලයෙක් සමඟ විවාහ වන අතර නමුත් එමගින් ඇයට තවත් දුක් කන්දරාවකට අත පෑමක් වූවා හැර කිසිදු සතුටක් ඇති වුයේ නැත.

මේ අවස්ථාව ග්‍රන්ථයෙ හි කාන්තාවකට කෙතරම් දරා ගැනීමේ ශක්තියක් තිබිය යුතු ද? තවත් පිරිමියකුගේ හව්හරණක් නොමැතිව ජීවිකාව ගෙන යාම කෙතරම් අපහසු වුවත් ආපසු හැරීමට හෝ ජිවිතයෙන් පළා නොයා සිටින්නේ කෙසේ ද? යන්න අවබෝධ කරගැනීමට වඩාත් සුදුසුම ආකාරයෙන් රචනා කර ඇත යැයි සිතමි.

කැලෑ උණ සෑදී ජිවිතය කෙසේ හෝ බේරාගෙන සති කීපයකට පසු දරුවෙක් ලැබීමට සිට වැදුම් ගෙය තුළ දී ම දරුවා ද මිය යන අතර ඔහුගේ සැමියා වන රතු මහතා ද ඇය අතහැර ටීටර් නැටීම සඳහා වෙනත් ප්‍රදේශයකට පිටව යයි.

ඉන්පසු නැවත පැමිණීමක් බලාපොරොත්තු නොවී ආලත්ති අම්මා තම ජීවිකාව මහපොළව හා ගැටෙමින් පියාගෙන් ලද උරුමය පරිදි කුඹුරු කොටමින් සේන්ද අම්මගෙන් ලද වෙද ශාස්ත්‍රය ද මනාකොට පුහුණු කරමින් ඇය තනිවම ජිවත් වීමට තීරණය කරයි.

ඇයගේ හවුලට පොකුටා නම් තරුණ කොලු ගැටයෙක් එක්වන අතර ඔහුට ද ආලත්ති අම්මා නිවසක්, ඉඩමක් පමණක් නොව පරස්තාවක් ද සිදු කර ඔහුගේ ජිවිතය ද සාර්ථකත්වයට ළඟා කරයි.
මේ අතරතුර විවාහ වී සිටිය දී පවා රවිනාථගේ බැල්ම ඇයගෙන් ඉවත්ව යන්නේ නැත.

“පුස් කන්න හරි මගේ පංගුව තිව්වේ නැද්ද? කියලා අහන ගමන් පින්තූර ඇත්තා එක එල්ලේ ආලත්ති අම්මගේ ඇස් දෙක දිහාවේ බලාගෙනම ආලත්ති අම්මව පහු කරගෙන පන්සලට ගියා කඟවේනා වගේ.”

මේ විවාහ වී කීප දොහකට පසුව ඇයට රවිනාථ හමු වූ අවස්ථාවේ දී වූ කතා බහකි.

“මිනිස් හිත තරම් පුදුම දෙයක් තවත් නැහැ. එක මොහොතක අඬා වැටෙනවා දුකින්. මොහොතකින් තව දෙයක් හිතට ඇවිත් ඒ අඬා වැටෙන හිතම හිනා වෙනවා.”

රවිනාථ, වසුන්දරා විවාහය අතහැරීමත් සමඟම තවත් ලං වන අතර රෝගියෙකු ලෙස මුණ ගැහෙන ඔහුව සුව කරන්නේ ආලත්ති අම්මා විසිනි. සේන්ද අම්මගේ වියෝවෙන් පසු පොකුටා ද විවාහ වීමෙන් පසු රවිනාථ සමඟ නුවර එළියට පිටව යන ඇය සතුටත් සමඟම දුක් කරදර රාශියකට මුහුණ දීමට සිදු වෙයි.
රවිනාථගේ ආදරයත් සමඟම ඔහුගේ පෙර විවාහ ජීවිතය පිලිබඳ හෙළි වීම, දරුවන් සිටින පියෙක් යැයි අනාවරණය වීම ඒ සියල්ලම අතරතුර තවමත් නිත්‍යානුකූලව විවාහ කරගෙන නොමැති වසුන්දරාට රවිනාථ ගෙන් දරුවෙකු ලැබෙන්නට සිටීම එකවරම සිදු වන සිද්දීන් කීපයකි.

ඇය නැවතත් මවක් වීම සමඟම ඇයට නව ජීවයක් මෙන් රවිනාථගේ සෙනෙහස ද ඇයට නොමදව ලැබෙන අතර රවිනාථගේ බිරිඳ ලෙස ඇය නිත්‍යානුකූලව ගිවිස ගන්නා අතර පෙර විවාහයේ දරුවන් ද ඇය බලාගන්නේ තමාගේ කුසින් වැදු දරුවාටත් වඩා සෙනෙහසිනි.

“මැක්ස් කාලිංග, බ්‍රයන් ආදිත්‍ය, රියෙන්සි අග්බෝ, වසුලා රෝස්මරි”

මෙලෙස ඇය තම දරුවන්ට ආදරණීය මවක් වෙමින් සැමියාට ආදරණීය බිරිඳක් වෙමින් ජීවිතය ඔවුන් වෙනුවෙන්ම කැප කරන අතර රවිනාථ ඔහුගේ අනියම් සබඳතා ආදී විවිධ කරුණු මත වෙනස් වීම් සිදු වෙයි. ඒ සියල්ල තම දරුවන් වෙනුවෙන් ඉවසා සිටින අතර ඇය තම සිත නිවා ගන්නේ ආගමික කටයුතු ආදියෙ හි පිහිට පතමිනි.

“හිත කියන්නේ වරා මලක් එක එක වෙලාවට එක එක තැන පාවෙනවා. ඊට පස්සේ කටු අකුලක හරි ගල් පොත්තක හරි ඇලෙනවා. එතන දලු කොළ දාල පැළ වෙනවා. ඉන්පස්සේ මුල් අදිනවා. මිනිස් හිතත් ඒ වගේ.”

මේ අයුරින් කතුවරිය ආලත්ති අම්මගේ හිත, රවිනාථගේ සිතුවිලි වෙනස් වන ආකාරය පිළිබඳව විවිධ නිර්වචනයන් ඔස්සේ විග්‍රහ කිරීම ග්‍රන්ථය පුරාම දැකගත හැකිය.

බ්‍රයන් දෙමළ තරුණියක් සමඟ සම්බන්දයක් පටන් ගෙන ඇයට බ්‍රයන්ගෙන් දරුවෙකු ලැබෙන්න සිටින බව වසුන්දරා ට බ්‍රයන් පවසන අතර ආගම් ප්‍රශ්න නිසා ත් කුල ප්‍රශ්න නිසා ත් රවිනාථ එකහෙළාම විරුද්ධ වුව ද වසුන්දරා ඇයව විවාහ කර ගැනීමට බ්‍රයන්ට උපකාර කිරීම ත් සමඟම රවිනාථ සහ වසුන්දරා අතර ඇති බැඳීම දෙදරා යයි.

“කසාදයක් කියන්නේ නොගැළපෙන දෙන්නෙක් ජිවිත කාලෙම ගළපගෙන යන ගමනක්. ඒ ගමනේ දී විශ්වාසය කඩ වුණා නම් කොයිතරම් සමාව දුන්නත් එකිනෙකාට හිතේ කොනක සුව වෙන්නේ නැති තුවාලෙ සැරින් සැරේ පෑරෙනවා.”

මේ අයුරින් කතුවරිය බැඳීම් පිලිබඳව කතාව තුළ දීර්ඝ විස්තර ඉතා සුක්ෂම ලෙස දක්වයි.
බ්‍රයන්ගේ විවාහයත් සමඟ රවිනාථ තවත් වසුන්දරා සමඟ එකට සිටීමට කැමැත්තක් නොදක්වන අතර ඔහු රටින් පිටව යන අතර වසුන්දරා ද තම දරුවන්ට ඔවුන්ගේම ලෝකයන් තනා දී සුපුරුදු කතරගම් නුවරට ගොස් වෙදකම කරගෙන ජිවත් වෙයි.

“කසාදය කියන්නේ පෙර ආත්මේ කර පවු පින් අනුව ලැබෙන දෙයක්. නොගැළපීම් ගළපගෙන මේ සංසාරේ හක්කලන් කරන ගමනක්.”

වසුන්දරා රතු මහත්තයගෙන් ලද කටුක අත්දැකීම් සහ රවිනාථගෙන් ලද ආදරය ත් වෙනස්කම් හමුවේ ත් ඇය සිතුවේ ඒ ලෙසයි.
රවිනාථ නැවතත් වසුන්දරාට මුණගැසෙන්නේ රෝගියෙකු ලෙසයි. ඒ සුව කිරීමට නොහැකි රෝගයක් වැළඳී අසාධ්‍ය තත්වයේ සිටින විට යි.
කතාව අවසානයේ රවිනාථ මිය යන අතර ඒ ශෝකයට වසුන්දරා ද ඔහුගේ සොහොන අසළම මිය යයි.

“අපි හැමෝම හමුවේවි. වෙන් වේවි. නිවන් දකින තාක් කල් මේ සංසාරේ සැරිසරනවා. මේ සංසාරේ දුක් ගැහැට අපමණ තිබ්බත් අපි කැමති ආයෙම අපේම අය අතරේ ඉපදෙන්න. අපි ජිවිතේ අනන්තවත් මුමුණලා ඇති අපි කැමති අය මේ සංසාරේ මුණගැහෙන්න කියලා.”

අප ද ජිවිතයේ ඇතැම් අවස්ථාවන් හි වසුන්දරා වන් චරිත වන්නට ඇති. රවිනාථ වන් චරිත මේ සසරේ මුණ ගැහෙන්නට ඇති. ඇතැම් විට ජිවිත කැප කරන්න ඇති. ජීවිතය එසේය. හෙන පුපුරලා වහින මහා ධාරාණිපාත අසනග වැස්සක් වගේ ජීවිතේට දුක් කම්කටොලු ආවත් බැඳීම් ලිහා ගන්න කෙතරම් වෙර දැරුවත් අවසානයේ සියලු ප්‍රයත්නයන්ගෙන් මිදුණු වසුන්දරා මෙන් සංසාරයක් පාසා රවිනාථයන් වන් පුද්ගලයන් සමඟ ඇසුරම ප්‍රාර්ථනා කරයි.

එසේම ආලත්ති අම්මාගේ චරිතයෙ හි වත්මන් සියලු කතුන්ට දෙන ආදර්ශය නම් ඕනෑම ගැහැණියෙකු තුළ පිරිමියෙක් සිටියි. අවශ්‍ය මොහොතේ දී කිසිවෙකුගේ හව්හරණක් නොමැති විට දී ඒ පුර්ෂ චරිතය ඉදිරිපත් විය යුතුමයි.

“අසනග වැසි”… වචනාර්ථයෙන්ම කතාව තුළ අන්තර්ගතය අසනග වැස්සක්ම විය.

Image :-

Design by Pathum Lakshan

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විහාරා දිව්‍යාංජලී

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment