දැනුම

අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට මං විවර කර ගත් සොඳුරු රංගවේදියානෝ

කාලයේ  වැලිතලාව විසින් වරෙක සිදුවීම් සඟවයි. වරෙක එකී රහස් අනාවරණය කරයි. කෙනෙකුගේ ජීවිතයේ අඳුරු පටල සදාකාලයටම සැඟවිය නොහැකි යැයි කියන්නේ ඒ නිසාම බැව් ප‍්‍රසිද්ධ කියමනකි.  ඔහු නමින් විල් ස්මිත්. විසිඑක් වන සියවසේ මෙකල නූතන පරම්පරාව මෙන්ම පෙර පරම්පරාත් නාමය කන වැකුණු සැනින් හඳුනන රංගන ක්ෂේත‍්‍රයේ පතාක යෝධයෙක් යැයි කීම වරදක් නොවේ. ජීවිතයේ අඳුරු පටල තුළින් ආලෝකය දැක, තමා නියැලෙන ක්ෂේත‍්‍රයේ හිනිපෙත්තටම පියනගා තම ජීවන රඟමඬල රංගනයෙන් ජය ගත් අයෙකු පිළිබඳ කදිම හරස්කඩක් විල් ස්මිත්  චරිත කථාවෙන් පිළිබිඹු වේ. තම සහජ දක්ෂතාවයට වඩා වෙනත් දෑ වල උපකාරයෙන් ඉදිරියට පැමිණෙන, එක් රැයෙන් බැබළී නිවී යන ව්‍යාජ පුහු ඝෝෂාව ප‍්‍රතිරාව නංවන්නවුන් සිටින සමයක ඔවුන් විසින් ස්මිත් තම හැකියාවෙන්  හොලිවූඩයේ සිදුකළ නිහඬ පෙරළිය අධ්‍යයනයෙන් උගත යුතු දෑ බොහෝය. මොහුගේ ජීවන මං පෙත ඔහු ලද ජයග‍්‍රහණ තරම් සුන්දර නොවන නමුදු ඔහු එම අභියෝග පරයා ජීවිතය ජය ගත් පුද්ගලයෙකි.

එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප‍්‍රවීණයකු වූ විලර්ඩ් කැරොල් ස්මිත්, එකල විසූ දක්ෂ ශීතකරණ ඉංජිනේරුවරයෙකු ද වූයේය. ඔහු විවාහප‍්‍රාප්තව සිටියේ පිලඩෙල්පියා පාසල් පාලක මණ්ඩල නිලධාරිනියක වූ කැරොලයින් නිබ‍්‍රයිට් සමඟය. එම දෙපළට දාව 1968 සැප්තැම්බර් මස අද වැනි දිනක එනම්  විසිපස් වන දින මෙලොව එළිය දුටු කුඩා කොලුගැටයා විලර්ඩ් කැරොල් ස්මිත් ජූනියර් හෙවත් විල් ස්මිත් ලෙස නම් ලැබීය. වැඩිමහල් සොයුරියක හා බාල සොයුරියන් දෙපළකගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙස ඔහු හැදී වැඩුණේ ය.

විනෝදයට බර කෙනෙකු  වූ මොහු උපහාසය උපතින්ම රැගෙන ආ දරුවෙක් ලෙස ලොවට පෙනුනද ඒ පිටුපස ඇති කතාව වේදනාබරය.  “මා හැදී වැඩුණේ මගේ පියා, මවගේ මුහුණට පවා පහර දෙන අයුරු බලමින්” එක්තරා නාලිකාවක ප‍්‍රචාරය වූ වැඩසටහනක දී ස්මිත්, ඔහුගේ සැඟවුණු අඳුරු අතීතය ලොවක් ඉදිරියේ දිග හැරියේ මෙලෙසිනි. ඔහුගේ පියා ප‍්‍රකෝපකාරී පුද්ගලයෙකු වූ අතර එය විල් ස්මිත් නැමැති  දැවැන්ත චරිත ගොඩනැගීමට එක් හේතුවක් වූ බව එහිදී ඔහු  ප‍්‍රකාශය කළේය. විහිළුවෙන්, විනෝදයෙන් සිටින මෙම කුඩා දරුවාගේ අභිප‍්‍රාය වූයේ අන් කිසිවක් නොව, තම පියා සතුටින් තැබීම මගින් තම මවටත් සිය නිවසේ සිටින අන් අයටත් හානියක් නොවීම තහවුරු කිරීමයි. 

තම පවුලේ අය සිනාසෙමින් හා සතුටින් සිටීම ඔහුගේ ආරක්ෂක යාන්ත‍්‍රණය විය. ලොවක් සිනා සයුරේ ගිල්වමින් විනෝදාස්වාදය ලබාදෙන්නට කටයුතු කරන මෙම පුද්ගලයා ඇතුළතින් ඇගයීමට ලක් වීමේ දැඩි අවශ්‍යතාවය නම් පිපාසයෙන් පෙළෙන අනාරක්ෂිත කුඩා පිරිමි ළමයෙක් යැයි ඔහුද පිළිගත් සත්‍යයකි. 

එමනිසා ඔහු නිවසේ දී අත් නොවිඳි ආදරය හා ආරක්ෂාව නිතරම සොයන්නට විය. ඔහුගේ ළමා වියේදී කුඩා මනසට නොලැබුනු ආදරය, සෙනෙහස හා ආරක්ෂාව ලබා ගැනීමට ඔහු සිතූ එකම දෙය නම් ලෝකයේ අවධානය දිනා ගැනීමයි. එහෙයින් ඔහු ඒ සඳහා ඇදහිය නොහැකි තරම් මහන්සි වූයේය. අද අප සියලුදෙනා හඳුනන එම දැවැන්ත චරිතයේ සැබෑ උපත සනිටුහන් වූයේ එතැන් සිටය.

ස්මිත් තම කලා ජීවිතය ආරම්භ කරන ලද්දේ මිතුරෙකු සමඟින්  “හිපොප්’’ සංගීතයේ නිරත වෙමිනි. පසුව මොවුන් දෙපළට තවත් කෙනෙක්  (beat boxer කෙනෙකු වශයෙන්) සම්බන්ධ විය. ස්මිත්ගේ පළමු ගීතය, ඔහු උසස් පාසලෙන් උපාධිය ලබා ගැනීමට පෙර ජනප‍්‍රිය වීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. 

මෙම ජනප‍්‍රියත්වය හා සාර්ථකත්වය මත ඔවුන් තම ප‍්‍රථම ඇල්බමය වන  “රොක් හවුස්” 1987 මාර්තු මාසයේ් ආරම්භ කරන ලදි. 1980 දී හොඳම රැප් කාර්ය සාධනය සඳහා වූ ප‍්‍රථම ග‍්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබීමට ද මොහු සමත් විය. එය එසේ වුව ද දෙවන ග‍්‍රැමී සම්මානය ලැබීමට හේතු වූ  “සමර් ටයිම්” ගීතය වසරෙහි සාර්ථකම ගීතය බවට පත්වූයේ  “බිල්බෝඩ් හොට්” 100 හි හතරවන ස්ථානයට පත් වෙමිනි. 1990 දී NBC රූපවාහිනී ජාලය ඔහු වටා  “The Fresh Prince of Bel-Air” නමින් ප‍්‍රසංගයක් ගොඩනගන ලදි. මෙය සාර්ථක වීමත් සමඟ ඔහුගේ රංගන දිවිය ආරම්භ විය. 

දශක තුනක් වූ ඔහුගේ වෘත්තීය දිවිය තුළ Bad boys, Independence Day, Ditch, Enemy of the state, I am a legend, Men in black, Ali වැනි සම්මානනීය අතිසාර්ථක සිනමා නිර්මාණ වලට තම අනර්ඝ රංගනයෙන් දායකත්වය සැපයූ ඔහු ඇලඩින්ගේ පුදුම පහන නම් කතාවේ සිනමා නිර්මාණය වන  “ඇලඩ්ඩින්” චිත‍්‍රපටයේ සිතූ පැතූ සම්පත් ලබාදෙන භූතයාගේ (Genie) චරිතයට පණ පොවමින් නොමද රසික ආදරයට පාත‍්‍ර විය. 

එක්සත් ජනපද බොක්ස් ඔෆිස් හි ඩොලර් මිලියන 100 ඉක්මවූ ආදායමක් ලැබූ අඛණ්ඩව චිත‍්‍රපට අටකත් ජාත්‍යන්තරව ඩොලර් මිලියන 150 ඉක්ම වූ චිත‍්‍රපට එකොළහකට සහ එක්සත් ජනපද බොක්ස් ඔෆිස් හි අංක එකේ ස්ථානයට පත් වූ අඛණ්ඩව චිත‍්‍රපට අටකට රංගනයෙන් දායක වූ එකම නළුවා ඔහු ය. නානාවිධ සම්මානයන්වල නිර්දේශිත නාමයන් අතරට පත්වූ ඔහු MTV movie award for best fight, NAACP image award for outstanding actor in motion picture, MTV movie award for best male performance වැනි සම්මානයන්ගෙන් පිදුම් ලද රංගධරයෙකි. තවද ග‍්‍රැමී සම්මාන 4 කින් පිදුම් ලද සංගීතඥයෙකි. 

ප‍්‍රථම විවාහයෙන් එක් පුතෙකුගේ පියකු වන මොහු සුප‍්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන ජේඩා පින්කෙට්ගේ අතිනත ගනිමින් ඔහුගේ දෙවන විවාහයට පිවිසියේය. එම දෙපළට දාව පුතෙකු හා දුවෙකු උපන් අතර ඔවුන් ද රංගනයෙන් හොලිවූඩය ජය ගැනීමට සමත් විය. “The Karate Kid (2010)” හි ප‍්‍රධාන චරිතයට පණපොවන ජේඩ්න් ස්මිත් මෙම දෙපලගේ පුතු වන අතර දියණිය,  නමින් විලොව් ස්මිත් වේ.  

ග‍්‍රැමී සම්මානයෙන් පිදුම් ලද ප‍්‍රථම රැප් ගායකයා මොහු විය. හොලිවුඩයේ ප‍්‍රබලතම රංගන ශිල්පියා ලෙස විරුදාවලි ද ලද්දේ ය. තවද හොලිවුඩයේ “Power Couple” නමින් මොහු හා ජේඩා හඳුන්වන ලදි. සියලු දේ ඉතා සුමට අයුරින් ගතවී යන්නට විය. සාර්ථක ජයග‍්‍රහණ කිහිපයකට පසු විල්ගේ දිවිය නැවතත් අඳුරෙන් වෙලී යන්නට වූයේ නොසිතූ විරූ අයුරිනි. ඔහු දක්ෂතා වලින් පිරිපුන් පුද්ගලයෙකු වුවද තම රංගන හා සංගීත දිවිය ඇරඹුවේ පියාගෙන් පවුලේ අයට සිදුවන හිරිහැර වලින් යම් සහනයක් ලබා ගැනීමේ අභිප‍්‍රායෙන් බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.  

“මා අගහිඟකම් නොමැති කෙනෙකු වුවහොත්, සාර්ථක පුද්ගලයෙක් වුවහොත්, මව හා පියා මා සමඟ අමනාප නොවනු ඇත. සියලු දෙනා සුරක්ෂිත වනු ඇත.” යන්න ඔහුගේ විශ්වාසය වූ නමුදු අත්දැකීම්වලින් පරිපූර්ණවත්ම ඔහු කෙතරම් දිවියට සාර්ථකත්වයන් ළඟා කරගත්තද තමන් තුළ පෙර සිට වුන් ආරක්ෂිත කුඩා දරුවා තවමත් සිටින බව ඔහු වටහා ගත්තේය. ඔහු කෙතරම් තමාගේ සිත තුළ වූ අනාරක්ෂිත හැඟීම සඟවා සිටීමට උත්සාහ කළ ද එය පූර්ණ  යටපත් වීමකට ලක් නොවීය. 

ස්මිත් තම දිවියේ අඳුරු පට සැඟවීමට ගොඩනගාගෙන තිබූ සියලු බැමි බිඳ වැටීමට ලක් වූයේ  තම ප‍්‍රිය බිරිඳ, තමා ජීවිතය පුරා පිළිගැනීමට අකමැති වූ සත්‍ය වටහා දීමෙන් පසුවය. ස්මිත් තම බිරිඳ වන ජේඩාගේ හතලිස් වියැති උපන්දිනය වෙනුවෙන් ඇයගේ අකැමත්ත පසෙකලා ඉතා උත්කර්ෂවත් උළෙලක් සංවිධානය කිරීමට පෙළඹුණේ් ඔහු ඇය කෙරෙහි ඇති අප‍්‍රමාණ වූ සෙනෙහස විදහා දැක්වීමට යැයි පවසමිණි. නමුත් ස්මිත් මෙසේ සිදු කරනුයේ තමාව විවේචනය කරයි හෝ ඇගයීමට ලක් නොකරයි යන බිය නිසා මිස ආදරයකට නොවන බව ජේඩා ඔහුට ඒත්තු ගැන්වූවාය. 

මෙම සිදුවීම අරභයා ඇය සමඟ සිදුවූ බහින්බස්වීම් සහ සිත් අමනාපකම්වල ප‍්‍රතිඵලයක් ලෙස ස්මිත් තම දෙවන විවාහයේ අවසානයට ද ඉතා ආසන්න වූ නමුදු එය වළක්වා ගැනීමට තරම් වාසනාවන්ත විය.  එසේ වූයේ ඔහු ජීවිතයේ ප‍්‍රථම වරට තමාගේ මමත්වය, සැඟවුණු සිහින, ආශාවන් පිටුපස සැඟව සිට එය හුදෙක් ඔහු තුළ වූ සෙනෙහස යැයි මවාපාමින් ඉතා කටුක දිවියක් ගත කළ බවට වටහා ගත් පසුවය. එම අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඔහු තමාගේ අභ්‍යන්තර සහනය ළඟා කරගත් අතර එමගින් අන් අයගේ දිවියටද සැනසුම ළඟා කර ගත්තේ ඔහුද තම පියා වන් පුද්ගලයකු වීම වළක්වමිණි. 

කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීමට සිදු වූ හැල හැප්පීම් නිසා ඇති වූ වේදනා බර මතක මෙන්ම එයින් ජීවිතයට සිදු වූ අහිතකර බලපෑම සහ වේදනාත්මක තුවාල වසා දැමීම කිසිවිටෙකත් පිළිතුරක් නොවන අතර බොහෝ විට එසේ ඇති වූ තුවාල සාමය සහ සුවය සඳහා වන කවුළුවක් විය හැක. එම වේදනාබර අත්දැකීම් හා මතක තුළ දිගින් දිගටම ජීවත් නොවෙමින් ඒවා පසෙකලා  ජීවිතය ජය ගැනීම තමා සතු වගකීමක් බව පරමාදර්ශී අර්ථයම වටහා ගැනීමට විල් ස්මිත් චරිත කතාව මහෝපකාරී වෙයි.

එසේ නම් අද දිනට පනස් තුන්වැනි ජන්ම දිනය සමරන හොලිවුඩය බැබලූ රංගධරයානෙණි, ඔබට සුභ උපන් දිනයකට සුභාශිංසන පතන අතර අනාගතයේදී තවත් විශිෂ්ට නිර්මාණ තුළින් ජනාදරයට පාත‍්‍ර වීමට හැකියාව ලැබේවා යැයි Colombo Beacon අපි සුභ පතන්නෙමු. 

                                                               

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සුදසි සිරිවර්ධන

විද්‍යා පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment