විශේෂ දිනයන්

අසිරිමත් ඇසළ සඳ…

ඇසළ සඳ දිලුනු අඹරේ – මහමායා දෙව් දුටුවේ
පස් මහ බැලුමන් දුටු හිමි – කුස පිළිසිඳ ගත් මෙදිනේ
කාලය සැනෙකෙනි ගෙවුනේ – සිදුහත් කුමරුන් වැඩුනේ
සසර පුරා පැතු පතිනිය – සරණට ගත්තේ මෙදිනේ

යසෝදරා රජ කුමරිය – හා කම්සුව ලැබ මැදුරේ
සතර පෙර නිමිති දුටුවෙන් – ගිහිගෙය හැර ගිය මෙදිනේ
නේරංජන ගං ඉවුරේ – කහ සිවුරෙන් ගත දිලුනේ
පතා බුදු බව හිමි තපසට – ඇදුනි ඇසළ සඳ එළියේ…

වෙසක්, පොසොන්, පොහෝ දිනයන් අවසන් වීමත් සමග වසරක මැද භාගය එළඹෙත්ම සඳේ කලාවන් කෙමෙන් කෙමෙන් පිරෙමින් බෞද්ධ අපට මතක් කරන්නේ කල්තියාම තවත් පුන් පොහෝ දිනක පණිවිඩයයි. ඉදින්, බෞද්ධ අපට නම් මේ ලබන පොහොය අරුමයක් නොවන්නේ අපේ ආගමික සන්ධිස්ථාන රැසකට මේ දිනය වලංගු වන නිසාවෙනි. අපි මේ ලිපියට ආරම්භය ගත් පද්‍ය පෙළෙහි සඳහන් වන පරිද්දෙන් අපේ මේ සූදානම ඇසළ පුන් පෝ දිනය අර්ථ ගැන්වීමටය.

ඉන්දියාව තුළ ඇසළ පොහොය සැමරීම සිදුහත් කුමාරෝත්පත්තියට පෙර ඈත අතීතයක් දක්වා විහිදෙන අතර එය ආෂාඪ උත්සවයක් මුල් කොටගෙන සැමරීම ඇරඹිනැයි සැලකේ. මෙය විශ්ණු දෙවිඳුන්ගේ උත්පත්තිය සිහිකරලීමටත්, ඔහු අසුරයන් ජය ගැනීම සිහිගැන්වීමටත් හා දෙවියන් මුල් කොටගෙන උත්සව සැමරීමත් යන කරුණු පාදක කරගනිමින් ඇසළ පොහොය ඈත අතීතයේ සමරන ලද බව බොහෝ දෙනා නොදන්නා කරුණක් විය හැක. ජාතකට්ඨ කතාවේ අරුත් ගැන්වෙන පරිදි ඉන්දියාවේ ඇසළ මාසයෙහි නැකැත් සැණකෙළියක් පැවතුන අතර එයට සුද්ධෝදන රජු ඇතුළු මහමායා දේවිය ද සහභාගී වූ උත්සවශ්‍රීයෙන් සමරන ලද සැණකෙළියක් බව සැලය.

ඇසළ පුන් පෝ දා අතීත වැදගත්කම එලෙස සිදු වූ අතර බෞද්ධ අපට වැදගත්වන විශේෂ කාරණාවන් නම් බොහෝ ය. දේවාරාධනාවෙන් කාලය, දීපය, දේශය, කුලය, මව, ආදී වූ පස් මහ බැලුම් බැලූ අප මහා බෝසතාණෝ මහාමායා දේවියගේ කුසයෙහි පිළිසිඳ ගත්තේ අද වන් අසිරිමත් දිනකදී ය. සුදු නෙළුමක් හොඬයෙන් ගත් සුදු ඇත් පැටවෙක් මහාමායා දේවියගේ සයන වටා තෙවරක් පැදකුණු කරමින් ඇගේ දකුණු ඇලයෙන් කුසගැබ තුළට ඇතුළු වන සිහිනය රජුන්ට සැල කිරීමෙන් අප මහා බෝසතාණෝ කුස පිළිසිඳ ගත් සුභ ආරංචිය ගෙන ආවේ රජුගේ නක්ෂත්‍ර කරුවන් ය. වෙසක් පුන් පෝ දා මෙලොව දුටු කුමරුන් සිදුහත් නම් දරා කෙමෙන් කෙමෙන් වැඩුනු පසු සිය සසර පතා පසුපසින් පැමිණි දයාබර පාදපරිචාරිකාව වූ යශෝධරා කුමරිය හා අවසන් භවයට අතිනත ගත්තේ ද අදවන් සුපින්බර ඇසළ පුන් පොහොය දිනකදී ය. රම්‍ය, සුරම්‍ය, සුභ යනා දී ත්‍රිවිධ රජමාළිගාවන් තුළ වෙසෙමින් ගිහි ජීවිතයේ කම්සුව විඳි කුමරුන් සිත සසල කල සතර පෙර නිමිති හමුවේ කළකිරී වසර විසිනවයක් වූ ගිහි දිවියට සමු දී ආර්ය නිර්වාණය සොයා ගිය ගමනේ පළමු අදියරට පා තැබුවේ ද අදවන් පෝ දිනක බව අප කවුරුත් දන්නා සිදුහත් චරිතයෙහි සුවිශේෂී කඩයිම් ය. කන්ථක අසු පිටින් නේරංජන ගං ඉවුරු තෙරට ගිය කුමරුන් එදා කසාවත ගත දරා ගත්තේ මේ අසාර ජීවිතයේ සැනසුම සොයා ගන්නා අදිටන පෙරදැරිකරගෙන ය. එසේ වසර හයක් වැනි කාලයක් තුළ විවිධ උත්සාහයන් ජය පැරදීම් තුළින් සිය අධිෂ්ඨානය සඵල කරගත් අප මහා තිලෝගුරු ගෞතම බුදු පියාණෝ තමා අවබෝධ කරගත් ඒ උතුම් ගැඹුරු ධර්මය ප්‍රථම වරට දේශනා කිරීමට උත්සුක වූයේ සිය ප්‍රථම ගුරුවරුන් වූ ආලාර කාලාම, උද්දකරාමපුත්තයන්ට ගුරු පඬුරු පිදීමත්, කළගුණ සැළකීමත් සිතෙහි පෙරදැරිකරගෙන ය. නමුදු ඒ වනවිටත් ඔවුන් මිය පරලොව ගොස් සිටි බව දැනුවත් වුනු බුදු පියාණෝ දෙවනුව සිත මෙහෙයවූයේ තමන් වහන්සේගේ ආර්ය ගමන ආරම්භයේ මුලකුරු කියාදුන් අනෙකුත් ගුරු පියවරුන් මතකාවර්ජනය කිරීමට ය. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග මහණුන් සිහිපත් වන්නේ එම අවස්ථාවේ දී ය. පස්වග මහණුන් සොයා බරණැස ඉසිපතනයේ මිගදායට වඩින්නේ තමන් වහන්සේ අවබෝධ කරගත් උත්තරීතර ධර්මය ඔවුන්ට ද අවබෝධ කරදීමේ පරම පිවිතුරු චේතනාවෙනි. මෙලෙස බුදු රජාණන්වහන්සේ වැඩම කොට සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වන්නේ ද ඇසළ සඳ පෑයු අදවන් දිනක වීම ද බෞද්ධ ඉතිහාසයේ විශේෂතම සංසිද්ධියක් වන්නේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් පස්වග මහණුන් බුදු දහම වැළඳගත් ගත් අතර බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නයම සම්පූර්ණ වූ පොහොය වන්නේ ද ඇසළ පොහොයයි.

මෙලෙසම එදවස ජනයාගෙන් ලාභ සත්කාර පමණක් ලබා ගැනීමේ වංචාකාරී අරමුණෙන් ජනයා රවටා ගත් පූර්ණ කාශ්‍යප, මක්ඛලිගෝසාල, අජිතකේශකම්බල, කකුධකත්යානය, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨ නාථ පුත්ත ආදී තීර්ථකයන් දමනය සිදු කොට බුදු පියාණන් විසින් යමාමහ පෙළහර පාමින් සියලු දෙනාගේ මාන මත දුරු කරන ලද්දේ ද අදවන් ඇසළ පුන් පොහොය දිනකදී ය. එලෙසම බුදු වරුන්ගේ සිරිතක් වූ තව්තිසාවේ ශක්‍ර දෙව් බඹුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය පිළිගෙන එහි වස් වසමින් මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු අනෙකුත් දෙව් බඹුන් හට ධර්මය දේශනා කළ ඓශ්චර්යමත් සිදු වීම ද සිදු වූයේ අදවන් සුපින්වත් දිනක දී ය. බුදුන් වහන්සේ ජීවමානව සිටින අවධියේ මේ සා උතුම් සිදුවීම් රැසක් සිහිපත් කරවන මේ ඇසළ පොහොය ඇත්තෙන්ම මංගල මහෝත්සව දිනයක් වන්නේ ම ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන රජගහනුවර වේහාර පර්වතයේ දී අජාසත් රජතුමාගේ අනුග්‍රහය මත කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහරහතන් වහන්සේලා වඩම්මවා ධර්ම විනය මූලික කරගත් ප්‍රථම ධර්ම සංඝායනාව සිදු වූයේ ද උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනක දී ය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාද්වීපයට රැගෙන ආ උත්තරීතර සද්ධර්මය හා සබැඳි සම්බුද්ධ ශාසනය නියමාකාරයෙන් මෙරට ස්ථාපිත වූයේ ද මේ පින්බර පොහොය දිනහි දී ම ය. ඒ අරිට්ඨ කුමරු ඇතුළු පිරිස මහණ බව ලබා ගැනීම කරණකොටගෙන ය. මෙලෙසම ඉන්දියාවේ සිට දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ලක්දිවට වැඩම කල අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රථම වරට ලක් වාසි ජනයාට ප්‍රදර්ශනය කිරීම සිදු කළේ ද මෙවන් දිනක ම ය. ඒ අතරම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මැදිහත්ව සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා වහන්සේලා මෙරටට වඩම්වා පළමු වරට උපසම්පදා ක්‍රමය ද ස්ථාපිත කළේ අදවන් පොහොය දිනක ය. මෙවැනි උතුම් මංගල කාරණාවන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද මේ පොහෝ දිනය වටා සිදු වීම නිසැකවම මෙම පොහොයේ සුවිශේෂීත්වය වඩාත් ඉස්මතු කෙරේ.

Design by Bimal Navin

මා මුලින් සඳහන් කළ පරිදි ඇසළ මාසය යනු සැණකෙළි මාසයකි. ඉදින්, මේ සා බෞද්ධාගමික සිදුවීම් පෙළක සිහිපත් කිරීමේ ආමිස පූජාවක් ලෙසින් පසුකාලීනව කිත්සිරි මෙවන් මහරජ සමයේ පටන් ඇසළ පෙරහැර පැවැත්වීම ද ආරම්භ කිරීම මෙරට බෞද්ධාගමික පුනරුදයේ තවත් එක් වෑයමකි. එදා පටන් ගත් ඇසළ පෙරහැර අද වන විට මහනුවර දළදා මාළිගාව, කතරගම පූජා භූමිය, බෙල්ලන්විල රජමහ විහාරය ආදී පූජනීය ස්ථානවලින් වාර්ෂික ව ඉතාම උත්සවශ්‍රීයෙන් පැවැත්වීම චිරාගත සම්ප්‍රදායක් වී හමාරය. ඉදින්, මෙතරම් සුවිශේෂී වැදගත්කමක් උසුලන මේ ඇසළ පොහොය බෞද්ධ අපට නම් උත්තරීතර මංගල දිනයක් බව සැබෑවක් ය.

ඉතින් මේ උත්තරීතර මංගල දිනයේ ලෝ වාසී සුවහසක් ජනයාට පින්බර ඇසළ මංගල්‍යයක් වේවා’යි Colombo Beacon අපි සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

සැමට සුපින්බර ඇසළ පොහෝ දිනක් වේවා!!!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment