විශේෂ දිනයන්

අහං වන්දාමි තං ගරු

“සුදු” කිව්වට මොකද
මට තිබ්බේ
නිල් වැඩිවුණු
එකම එක කමිසය

කහට කෝප්පේ
උගුරට දෙකට
බී දිව්වේ
අනේ ඉතිං නැතිකමට

සමත් වුණත්
විභාගය පහ වසර
ගියේ නැත්තේ
බැරි කමටයි
ටවුමේ
ලොකු ඉස්කෝලෙට

කියවපු දා සිට
ගුරු ගීතය
මැවුණේ ඔබේ රුවයි
“දුයිෂෙන්” කිව් විගස
අල්තීනායි නොවුණත් මම

ඉස්කෝලෙ වත්ත පහළ
අඹ ගස් දෙක පෙනුණෙම
“පොප්ලර් නිඹුල්ලු”
වගේමයි දන්නවද?

නිව්වේ බඩගින්න
විවේකයේ
කඩදහි කොළේ ඔතා
මගෙ අත ගුලි කරපු
විස්කෝතු දෙක

“බඩගින්නත් ගින්නක්ද මහත්තයෝ
එ් වගේද හිතේ ගින්න
අම්මත් නැති මෙමට”

අඩුවක් නොකොට
ගිනි වතුර බිව්වා
අප්පොච්චා
දන්නවා මුළු ගමම

පැරදී පිළිකාවට මාරක
උන්දෑ ඉක්මන් ගමන් ගිය දා
හිතේ ගිනි නිව්ව
ගුරු උතුමත් නුඹ නේද

වැරදි මඟක නොයං කියා
තරවටුවක් කළත් එදා
මෙමා තරහක් නැත කිසිදා
එ් අගය වැඩියෙන් දැනුනේ මෙදා

අරමුණක් දී එක්
ජීවිතේකට
නුඹ රකිනවා දිවි දාහක්
දන්නවද
අද “මහරගම”

ලෝකයා කීවත්
හැකිද එක් දිනකින්
සිහි කරනට
එ් “ගුරු තරුව”
දෝත මුදුන තබා
“අහං වන්දාමි තං ගරු”
ඉතිං හැමදාටම

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවන්ති සුදසිංහ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment