ශුද්ධ භූමියේ රණ පැටවු…
නැගිටියව් මළ බෙර පලන්
සිව් හෙලේ මළ බත ඉදෙන්නට
පෙර වයපියව් රණ බෙර අරන්
එදා වගෙ යළි අදත් මගේ රට නිවට රජෙකුට බිලි වෙලා
පරසිරිත් ගත් උන් මගේ රටේ දරුවො ටික හාමතේ තියා
පොළව වැලි කැට විකුණ විකුණා සිරි මැදුරු රන් සළු වියා
කලු සල්ලි කොළ පෙන්න පෙන්නා උන්ගෙ පැටවුන් තර කළා
තනේ එල්ලී හඬන අපෙ උන්ට බොන්න කිරි ටික නැති කළා
හුබස් කටු ගෑ බිත්ති හතරට ඒ සුසුම් වැල් ගොළු වුණා…
යකඩ මූනිස්සම් පිපුනු රළු පපුවෙත් රතු මල් පිපෙනවා
උන්ම වැටවල් ගසා අව්ලපු ජාති භේද අපි නිවනවා
යදම් ගිනිවැල් පොලු මුගුරු දෙව් ගීතිකා මැද වදිනවා
සිද්ධ පත්තිනි දෙවොල් දෙවියොත් තුන් යමේ මුර රකිනවා
ළය පලා ඇගෙ රුදිරය උරා බොන්නට නෙමේ අපි ඉපදුනේ
ඇගේ උරමත හිස තියා වැඳ ඇය රකින්නට වෙහෙසුනේ
ඇගේ පැටවුන් කුස දරා තව විඳින දුක් කරදර අනේ
උන් එක්ක රණ ගී ගයා අරගලේ දිනන්නෙමු හෙට දිනේ…
Leave a Comment