ආදරය

ආදරය

~* The Love *~    

ජීවිතය හරි අපූරුවට අකුරු හතරකින් ගෙත්තම් කල වචනයක් ‍”ආදරය”. ඒ හරි අපූරුවට ගෙත්තම් කළ වචනය අර්ථවත් කරන්න පණ පෙවූ හැඟීමක්. මම, උඹ, අපි හැමෝම ජීවත් වෙන්නෙ මෙන්න මේ කියන හැඟීම් වලින් පිරුණු සමාජයක. අන්න ඒ සියලුම හැඟීම් අතරින් පලමු තැනට හිමිකම් කියන්නේ මෙන්න මේ හරි අපූරු ආදරය කියන පට්ටම පට්ට හැඟීම.

පුංචි සන්දියේ අම්මගේ, තාත්තගේ ආදරෙන් ආදරේ ගැන අත්පොත් තබපු උඹ, මම, අපි; වයසින් පරිණත වෙත්ම ඒ පොතේ පිටු නම් පෙරලපු වාර ගණන අප්‍රමාණයි. තාරුණ්‍යය කියන්නේ අන්න ඒ ආදරණීය පොතේ, ආදරණීයම වූත් පරිච්ඡේදයයි.

හරි අපි මෙහෙම පටන් ගමු. ඔබගේ ආදරේ මොනවගේද? ඔබ කැමති මොන විදියට ආදරය කරන්නද? යන ගැටලුවක් ඔබට යොමු කලහොත්, ඔබ දෙන පිළිතුර මොහොතක් ඔබ ඔබේ හදවතින් හිතල බලන්න. සමහරවිට ඔබ

… ඇස් දෙක හීනියට පොඩි කරන
තොල් වලින් කරන
අහිංසක හිනාවට වගේම
ඔහුගේ හෝ ඇයගේ චාම් බවට,
තැන්පත් බවට ඔබ කැමතිනම්
ඔබ බලාපොරොත්තු වන්නෙ
අහිංසක ආදරයක්…

කියයි, ඔබ කැමති අහිංසක ආදරයකට, නැත්නම් හිතුවක්කාර ආදරයකට, එසේත් නැත්නම් පිස්සු ආදරේකට, ඒ වගේම ගොඩාක් දෙනෙක් කියන්න අකමැති, හිතේ තියන් දුක් විඳින රාගීය ආදරයකට, එසේත නැත්නම් සෙක්සි ආදරයකට.

ඇස්දෙක හීනියට පොඩි කරන් තොල් වලින් කරන අහිංසක හිනාවට වගේම ඔහුගේ හෝ ඇයේග චාම් බවට , තැන්පත් බවට ඔබ කැමතිනම් ඔබ බලාපොරොත්තු වන්නෙ අහිංසක ආදරයක්. ඒ වගේ ඇස් දෙක පොල්ගෙඩි තරමට ලොකු කරන් ඔබ කියන හැම දේටම විහිලුවෙන් උත්තර දෙන, ඔබ ප්‍රතික්ෂේප කරන දේවල් කරමින් ඔබව ආදරණීය ලෙස තරහ ගස්සවන හිතුවක්කාර කොල්ලෙක්ගෙ, හිතුවක්කාර කෙල්ලෙක්ගෙ; හිතුවක්කාර ආදරයකට ආස කරන ඔබ වගේම පුංචි දෙයක් ගැන වුවත් ලොකුම ලොකු කතාවක් නවත්තන්නෙම නැතුව කියාගෙන යන, ඔබත් එක්ක එකතු වෙලා කිසිම අරමුණක් නොමැතිව කුමක් හෝ පිස්සු වැඩකට මුල පුරන, ඔබ පවසන සියලු දේටම හිනාවෙන් පිළිතුරු දෙන පිස්සු ආදරයකට කැමති ඔබත්, හරි අපූරු ආදරවන්තයෙක්, ආදරවන්තියක්.

මොකද ආදරේ සාම්ප්‍රදායික නොවී වෙනසකින් අත්විඳින්න කැමති ආදරවන්තයන් පිරිසක්. අන්න ඒ අපූරුවූත්, වෙනස් වූත් ආදරේ පවත්ව ගන්න විශ්වාසය කියන දේ හරිම වැදගත්. මොකද විශ්වාසය ඔබගෙ ආදරේ හැමදාම ජීවත් කරවන නිසා.

ආදරේ කියන අපූරුතම හැඟීම කුමක්ද යන්න හරියටම නිර්වචනය කර නොමැති වූවත්, ආදරයත් සමඟම සබැඳි තවත් එක් හැඟීමක් තමයි රාගය. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න, නොදන්න වගේ කතා කරන සෙක්ස්.

සමහර ආදර කතාවල මූලික පරමාර්ථය වෙන්නෙ මෙන්න මේ කියන රාගය. රාගය අත්‍යවශ්‍යයි. නමුත් විශ්වාසනීය බැඳීමකදී රාගය හා ආදරය කියන දෙදෙනාගේ සටනින් ජයගත යුතු වන්නේ ආදරයයි. මක්නිසාද යත් විශ්වසනීය බැඳීමකට මූලික අත්තිවාරම දැමිය යුතු වන්නේ ආදරය මඟින් විය යුතුම නිසාය.

ඔබ මොහොතක් නතර වී හදවතට මොහොතක් හෙමිහිට සවන් දී බලන්න ඔබගෙ හදවත ඉල්ලන්නෙ මොනවගේ ආදරයක් ද කියල. ඔබ ඉල්ලන ආදරේ කුමක් වුවත් ඔබට පුළුවන්නම් ඒ ආදරේ හදවතට දැනෙන විදියට පවත්වාගෙන යන්න, එය තමයි ඔබත්-ඇයත්, ඔබත්-ඔහුත් බලාපොරොත්තු වන ආදරේ.

විශ්වාසය කියන කල්දේරම ඇතුලෙ ආදරය, රාගය, පිස්සුව, දඟකාරකම, හිතුවක්කාරකම, අහිංසකකම කියන හැම රසකාරකයක්ම දාලා ඔබට පුළුවන් නම් ආදරයේ අමෘතය හදන්න, එහි රසවත් බව ඔබට හැමදාම අත්විඳින්න පුළුවන් වේවි. ඒ වගේම ඔබ ගත කරන හැම මොහොතක්ම ආදරණීයම මොහොතක් බවට පත්කරගන්න. ඔබට පුළුවන්නම් ඔබේ ආදරණීයයාව පුදුම කරන්න, නොසිතූ වෙලාවක ඔහු හෝ ඇය පුදුමයට පත් කරන්න, ඔහු හෝ ඇය ඔබට බොහෝ වටින බව ඉඟි කරන්න, ඔහු හෝ ඇය වෙනුවෙන් පුංචිම හෝ දෙයක් කරල හදවතට ලොකුවට දැනෙන්න සලස්වන්න.. අන්න ඒ හදවතට දැනෙන දේ තමයි සැබෑ ආදරය විය යුත්තේ.

අරඹන්න ඔබත් ආදරණීය කෙනා සමඟින් ආදරණීයතම සංවාදයක්, ඔහුට හෝ ඇයට දැනෙන්නට ඉඩහරින්න ඔබගේ ආදරේ තරම. සත්තයි ඔබට දැනේවි ඔබ ජීවත් වෙන බව.

අපි පටන් ගමු ආදරේ කරන්න, දැනෙන විදියට. විඳවන්නෙ නැතුව අපි ආදරේ විඳිමු. මුණගැහෙන්නම් ආයෙමත් දවසක. ළඟදීම…‍
එතෙක් ආදරෙන් ඉන්න….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හිමාල් චලිත් මෙලංක

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment