දඩයමක් නම් සහතිකයෙන්ම එහි දෙපාර්ශවයක් සිටිය යුතුමය, දඩයක්කරු සහ ගොදුර. නමුදු මේ ගෙන හැරදක්වන දඩයම යම් ආකාරයකට වෙනස් අරුතක් ඇත්තක්. ඒ කිමද යත් මේ දඩයමට කිසිඳු භෞතික ආයුධයක් අවැසි නොවන බැවිනි.
සත්තකින්ම මේ ආයුධ විරහිත දඩයම අන් කවරක්වත් නොව ප්‍රේමයයි.
මහා බහුශ්‍රැතයන්ගේ සිට හය හතර නොදත් පුංචි එකා පවා දැන හෝ නොදැන තේරුම් ගන්නා එකම හැඟීම ප්‍රේමයයි. ප්‍රේමය මානව සමාජයේ අතිශයින්ම ඉමිහිරිවූත්, අතිශයින්ම දුර්ලභවූත් අධ්‍යාත්මික සංකල්පයකි. ගහක මුල් විහිදෙන්නාසේ, ප්‍රේමයේද බොහෝ පැතිකඩ පවතී. මවක් නම් මව් සෙනෙහසකි. පියෙක්නම් පියසෙනෙහසකි. රෝමියෝ ජුලියට් කෙතරම් සුන්දර ආදර කතා ගොඩ නැගුවත් පිය සෙනෙහස මව් සෙනෙහස නම් අභිබවා යා නොහැකිය. ආධ්‍යාත්මය අතින් ඉහළ තලයේ වැජඹෙන ආගමික – ආධ්‍යාත්මික නායකයින් සමස්ත ලෝකය කෙරෙහි දක්වන ප්‍රේමය, කුටුම්භ සංරක්ෂණයේදී අඹුසැමියන් අතර පවත්නා ප්‍රේමය, කවියන් චිත්‍ර ශිල්පීන් පරිසරය කෙරෙහි දක්වන ප්‍රේමයද, යෞවනයට ආවේණික වූ ඕලාරික ප්‍රේමයද, ප්‍රේමයේ පැතිකඩ ලෙස ගෙනහැර දැක්විය හැකිය.
මේ සියළු තැන්හි ප්‍රේමය අර්ථ දැක්වෙන්නේ, එකිනෙකා උපාදානය ප්‍රමුඛ කරගත් බන්ධනයක් වශයෙනි. මදකුදු සිතාබලන්න, මව්ගේ පෙකණියෙන් වෙන්ව මෙලොව ගන්නා පළමු හුස්මේ සිට මෙලොව හැර යන අවසාන හුස්ම පොද දක්වා කෙතරම් දේවල් වලට ප්‍රේම කරනවාද? ප්‍රේමයට ප්‍රභේදයන් බොහෝය. ඒ කෙසේවුවද මා මෙහිලා විවරණය කරන්නේ යෞවන යෞවනියන් අතර පවතින ඕලාරික ප්‍රේමයේ තවත් එක් පැතිකඩක්.
දෙමාපිය සෙනෙහස හා ප්‍රේමවන්තයන් අතර පවත්නා සෙනෙහස මදකුදු පටලවා ගැනීම සිදුනොකල යුතුය. ඒ මන්දයත් කිසිදා සයුරට ක්ෂිතිජයට ළංවිය නොහැකි සේ මේ ප්‍රේමයන් පවතින්නේ දෙඅන්තයකය.
ප්‍රේමය කෙතරම් ප්‍රභලද? උන්මාදනීයද? එකිනෙකා අතර තේරුම්ගැනීම විශ්වාසය මත පදනම් වූ මේ හැඟීම ඇතිකරගැනීම පහසුවුවත් නවත්වාගැනීම නම් කරන්නට අපහසු දෙයක් නොව කළනොහැක්කකි.
“ෂාජහාන් අධිරාජ්‍යයා තම මුම්ටාස්ට කෙතරම් ප්‍රේම කරන්න ඇතිද?”
පිළිතුර නම් ‘ටජ්මහලය’.
“තම ගෝත්‍රයන් පාවාදීමට තරම් කුවේණියගේ ප්‍රේමය කෙතරම් ප්‍රභල වන්නට ඇතිද?”
පිළිතුර නම් ‘විජයගේ ජයග්‍රහණය’.
“ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති”
“සත්තකින්ම ආදරය වරදක්ද?”
“වත්මන් ප්‍රේමවන්තයන් කෙතරම් දුරට මෙකී නිර්මල ප්‍රේමය හඳුනාගෙන ඇත්ද?”
“සමාජය, ප්‍රේමයේ සත්‍ය අරුත හඳුනාගෙනද?”
වත්මන් සමාජයට නම් ප්‍රේමය සෙල්ලමකි . ඒ මන්දයත් එකවර මල් පොකුර කඩන ප්‍රේමවන්තයන් මෙන්ම ප්‍රේමවන්තියන්ද බොහෝ වීමය. “මල්සරාගේ හී පහර වැරදුනාවත්ද?”
ප්‍රේමය යනු ජීවිතයක් ජීවත් කරවන, හුස්ම පොදක් බව අමතක නොකළ යුතුය. පවතින තැන පවතින්නේ සැබෑ ප්‍රේමයක්නම් ඒ හුස්ම වැටෙන හැම මොහොතකදිම ප්‍රේමය නිසා සිත සුවපත්වේ. නමුත් එය අසාර්ථක නම් පවතින්නේ සැකයකි. ලොව සැබෑ ප්‍රේමය හමුවී ඇත්තේ අතළොස්සකට පමණි. ප්‍රේමය විෂයෙහි සැබෑ අවංක මිනිසකු හෝ ගැහැණියක වනතෙක් ඔබට සැබෑ ප්‍රේමය හමුනොවනු ඇත.
අවාසනාවකට මෙන් වත්මන් කලාකරුවා යැයි කියාගන්නා පිරිසද මෙකී පිවිතුරු හැඟීම විකුණාගෙන කන පිරිසක් බවට පත්වී හමාරය. මෑතකාලීනව බිහිවන බොහෝ වල්වැදුනු නිර්මාණ ප්‍රේමය වෙනස් අයුරකින් අර්ථකථනය කර ප්‍රේමය යන්නට රාගය ආදී වෙනස් අරුත් ලබාදෙමින් පවතී. ගීත කලාවේදී හමුවන ප්‍රේමයද, ඊට නොදෙවෙනිය. බොහෝගීත තුළ බෙල්ල කඩාගෙන ආදරය කරන පෙම්වතුන් හා දෙමාපියන්ගේ බලකිරීම මත, වෙනත් එකෙකු හා කසාද බඳින පෙම්වතියන් හා සම්බන්ධ ගීත නිරන්තරයෙන්ම රචනා වන අකාරය දැකිය හැකිය. මේ ගීතවල පෙම්වතා පොළවේ පස්කමින්, හඬාවැලපෙන්නේ ඔහු ඇය සමඟ ගතකළ අහුවුළු ජීවිතය සිහිපත් කරමිනි.
ලොව ප්‍රේමය තරම් නිර්මාණ කලාවට බඳුන්වූ වෙනත් නිමිත්තක් නොමැතිවන්නාසේම, සෑම සමාජ වපසරියකම ජීවත්වන්නා වුන් අතරින් විවේචනයට බඳුන්වූ වෙනත් සමාජ කථිකාවක් නොමැති තරම්ය.
“ප්‍රේමය ලොව හැමතැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති
එනමුත් ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් නිසි කෙනෙකු නැති”
අවසන් වශයෙන්, අප පිළිතුරු සෙවිය යුතු තවත් එක් පැනයක් ඇත. “වත්මනයේ යෞවන යෞවනියන් අතර ඇතිවන වැරදි වැටහීම් නිසා ඔවුන්ට වන අසාධාරණයන්ට, වැරදි කරුවා ලෙස ප්‍රේමය හංවඩු ගැසීම සාධාරණද?”
මල්සරා, ඔවුන් මෙය දැක සිනාසේවි, පිළිතුරු නොදේවි. ඔබෙන්වත් පිළිතුරක් යදිමි.
නියමයි 😍