පිච්ච මලේ නුඹ නාඩන්
ගෙතූ මාල දොර පිල්කඩ
අමුණ අමුණ පෙලින් පෙලට
හැඩ කර ඈ රෑ තුන්යම…
හිසේ තියන් හිස සරසන්
පිච්ච මලේ කෝවිල ළඟ
ළඳුන් වරල හැඩ කරපන්
සුවඳ දිදී නුඹ තුන්යම…
පිච්ච මලේ පිච්ච පොකුරු
තියන් ළඟින් අව් කූටක
තාර පාර ළඟ හිඳ ගෙන
මගේ මැණික අද තනියම…
බැතින් වඳින දෙව් සැම දෙන
බලා රකින් මගේ දෑස
දරා නොවේ දමා නුඹව
මෙහි ආවේ මම තනියම…
සෙනේ පුරා දස මසක්ම
නුඹ එනතුරු නුඹ රැක ගෙන
නුඹ ආ බව දැන දිව ගෙන
ආවෙ නුඹව දෝතට ගෙන…
දෑස පුරා නුඹෙ රූ දැක
දිව ආවේ දෙව් යදින්න
නුඹත් ඇයත් මග බලාන
දැනන් උන්නා වග එන මග…
හනි හනිකට පය තියාන
දෙවුන් වැඳන් මා එන මග
මරු ආවේ මා සොයාන
ආයු ඉවර බව කියාන…
දුරින් හිඳන් හෝ මම නුඹ
දිරි දෙන්නම් ජය ලබන්න
මා වෙනුවට ඇය සඳහට
දේවි නුඹට මගෙ සෙනෙහස…
පිච්ච මලේ මේ අහපන්
හැඩට හිඳින් නුඹ හැම තැන
සුවඳ දිදී වත සරසන්
සිනා සියන් පෙර ලෙසටම…
ලොවේ සියල් දෙව් රජුනේ
අනුකම්පා කර වදාන
අසා සිටින් කන්නලව්ව
රැක දෙන් දෙව් මගේ පවුල…
පුතේ නුඹේ අප්පච්චිට
සමා වෙයන් හැමදාටම
යන්න ගියේ නෑ සඳහට
ආයු මදි ලු ළඟ රැඳෙන්න…
Leave a Comment