වර්තමානය වනවිට ඉතාම දුගී රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින යැයි හඳුන්වන රටවල් ද මුහුණ දෙනු ලබන විශාල ගැටළුවක් ලෙස ආහාර හිඟ වීම දැක්විය හැකිය. ගෝලීය වශයෙන් නිෂ්පාදනය කරන අහාර වලින් දළ වශයෙන් තුනෙන් එකක් සෑම වසරකම පාහේ නාස්ති වී යයි.
එයින් අදහස් වන්නේ පරිබෝජනයට ගත හැකි මට්ටමේ පවතින ආහාර ටොන් බිලියන 1.3 ක් පමණ පරිබෝජනයට නොගෙන අහක යන බවයි. මෙම තත්ත්වයන් මත අද වන විට ලෝකයේ විශාල ප්‍රමාණයක් කුසගින්නෙන් පෙළෙන බවට දත්ත මගින් ඔප්පු වි හමාරය.
මෙලෙස ආහාර අපතේ යාම වළක්වා ගැනීම කෙටි කාලීනව කළ හැකි දෙයක් නොවුණ ද දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මගින් යම් තාක් මට්ටමකට මෙම තත්වය පාලනය කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර මිල දී ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර පිසීම ආදියෙන්ම පමණක් ආහාර නාස්තිය අවම කරගත නොහැකිය. ප්‍රධාන වශයෙන් මෙම කරුණු ද්විත්වය හැරුණුවිට, අප නිවැරදි ලෙස ඇසුරුම් කිරීම මගින්, ශීතකරණය තුළ අධික ලෙස කෑම ගබඩා නොකිරීම මගින්, කල් ඉකුත්වන දිනය බලා ආහාර මිල දී ගැනීම, ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය ආදිය මගින් මෙලෙස ආහාර අපතේ යාම අවම කරගැනීමට හැකියාව ඇත.
ඇතැම් අවස්ථා වල අන්තර්ජාලයේ විවිධ රටවල් වල මිනිසුන් ආහාර නිකරුණේ නාස්ති කරමින් ඔවුන්ගේ වීඩියෝපට නිකුත් කරනු ඔබ ද දැක ඇති. විනෝදයට, තම මානසික තෘප්තියට එවැනි දෑ කරන සමාජයකට අනාගතයේ අත්වන ඉරණම කෙසේ වේවි ද? කිසිවෙකුට අදහසක් නොමැත.
අප්‍රේල් 28 එනම්, අද දිනට ආහාර නාස්තිය නතර කිරීම යන නමින් වෙන් කර ඇත. වත්මන් ලෝකයේ ඉහළ යන උද්ධමනය ආදී කරුණු මත ඉදිරියේ දී ආහාර වෙනුවෙන් කොපමණ මිලක් නියම වේවි ද, අනාගතයේ කුමන ආකාරයේ සාගත තත්ත්ව උදා වේවි ද යන්න කිසිවෙකුට සිතා ගත නොහැකිය. වැළකීම සුව කරගන්නවාට වඩා වටිනා සේ ම, දැන් සිටම ආහාර නාස්තිය අවම කිරීම මගින් වඩා යහපත් හෙට දිනක් සලසා ගැනීමට සියලු දෙනාට හැකියාව ලැබෙනු ඇත.
Leave a Comment