දැනුම

ඇත්දෙමට

කොරොනා වසංගතය තත්වය යටතේ මුළු ලොවම බියෙන් සලිත වී සිටින මොහොතේ ඉස්මතුව හෙළ වෙදකමේ හෙළ ඔසු ගැන අප කතා කිරීමට පටන් ගත්තා. බොහෝ විට මෙම ඔසු වන්නේ අප නොදන්නා නමුත් අප වටපිටාවේම ඇති ශාක වර්ගයි.

“සුව ධරණී” ඔස්සේ අද විදහා දක්වන්නේ ශ්‍රී ලංකාවේ සෑම පළාතක ම පාහේ දක්නට ලැබෙන සුවිසල් ඇත්දෙමට ශාකය පිළිබඳව යි.

ඉංග්‍රීසි නාමය :- White Teak
උද්භිද නාමය :- Gmelina Arborea
වෙනත් නම් :- සුභද්‍රා, මහාබද්‍රා, ගම්බාරි, මධුමතී, ශ්‍රී පර්ණි, රොහිණි, කෘෂ්ණා ඵලා

ඇත් දෙමට යනු හොඳින් අතුපතර විහිදා අඩි 50 ක් පමන ඉක්මවා වැඩෙන ශාකයෙකි. වාර්ෂිකව කොළ හලා දමන මෙහි පත්‍ර අඟල් හය හමාරක් පමණ දිග අඟල් පහමාරක් පමණ පළල ඇති පත්‍ර වේ. පත්‍රයේ පිට පැත්ත කහ පැහැති වේ. මෝරා ගිය පත්‍ර වල යටි පැත්තේ බූවක් සහිත ය. ශාකයේ නොමේරූ කොටස් වල ද බූවක් දක්නට ලැබේ. අලංකාර ලෙස තරමක් විශාල කහ පැහැති මල් පිපෙන මෙම ශාකයේ මල් පෙතිවල රන්වන් පාටක් ඇත. ගෝලාකාර හැඩයෙන් ඵල හට ගනී. ගෙඩි ඉදුණු පසු රතු පාටට හුරුය.

මෙම ශාකය හැඳින්වීමට අන්වර්ථ නාම 44 ක් පමණ ඇත. සංස්කෘත භාෂාවෙන් ගම්බාරිවේ. දමිළ භාෂාවෙන් ගුමඩි, හින්දියෙන් කටිබිහාර් යන්න ඒ අතරින් කිහිපයකි. මෙම ශාකය බොහෝවිට වන ඖෂධයක් ලෙස සලකයි.

ඖෂධීය ගුණ බහුල ශාකයක් වන ඇත් දෙමට වල සියලුම කොටස් පාහේ ඖෂධ සඳහා යොදා ගනී. රක්ත අතීසාරය, හන්දි පත් වේදනාව, රත්පිත, ස්නායු රෝග සඳහා බෙහෙවින් ගුණදායක වේ. මුත්‍රා කාරක ගුණයෙන් යුක්ත ය. තද පිපාසාව, අර්ශස් රෝග, මුත්‍රා අඩස්සිය, උණ රෝග ආදී රෝග සඳහා ද හිතකර ගුණ ඇත. ඇත්දෙමට වලින් ආහාර හොඳින් ජීරණ කර කුසගිනි වඩවන අතර ඥාන ශක්තිය වඩන ගුණ ද ඇත. වාත අමාරු, සෙම නිසා ඇතිවන ඉදිමීම, පණු රෝග ආදියට ද ගුණය.

බොහෝ පුද්ගලයන් අතර දක්නට ලැබෙන කෙට්ටුව මට්ටු කරන ගුණයක් ඇත්දෙමට ගෙඩි වල පවතී. සිරුර තර කර ශක්තිය වර්ධනය කිරීමට ද, සිරුර සිසිල් කර ලේ වැඩීමටද, දීම්කේශ වර්ධනයට ද ඇත්දෙමට ගෙඩිවල ගුණ ඇත. දසමූලාරිෂ්ටය, දසමූල ක්වාතය, පස්මුල් ක්වාතය ආදිය ඇත්දෙමට අමුද්‍රව්‍යයක් ලෙසින් ගෙන තනන නිෂ්පාදිත අතර ප්‍රකට ය .

බොහෝ අත් බෙහෙත් සඳහා ද යොදා ගන්නා වන ඖෂධයක් වන ඇත්දෙමට ශාකය අනාගතයේ දී වඳ වී යන ශාකයක් බවට පත් වීමට ද බොහෝ ඉඩ කඩ ඇත. රූස්ස ගස් කපා දමා ඒ වෙනුවට නව රෝපණයෙන් සිදු නොවීම මෙයට මූලික හේතුවක් වේ. එම නිසා අද බහුලව දක්නට ලැබුණ ද, ඇත්දෙමට ශාකය රැක ගැනීම අප සතු වගකීමක් ද වේ.

Design by – Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment