විශේෂ දිනයන් සාමාන්‍ය

ඇඳුමෙන් රැකියාව මනින් නැති දිනයක්

රැකියාවකට යන පුද්ගලයෙකුට තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න සිදුවීම සාමාන්‍යයි. පොඩි නොවුණු, රැකියාවේ ස්වභාවයට ගැළැපෙන ඇඳුම් කට්ටලයක් නොඇන්දොත් රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ දෝෂාරෝපණයට ලක් වීමට වුණත් සිදු වේ. නමුත් බටහිර රටවල් බොහෝමයක නම් අවුරුද්දේ එකම එක දිනයක මේ අඳින ඇඳුම ගැන වද නොවී රැකියාවට යාමට ඉඩ සලස්වා ඇත. “Wear Pajamas to Work Day” නැතිනම්, පිජාමා ඇඳුමෙන් වැඩට යාමේ දිනය ගැනයි මේ සටහන.

 

මේ දිනය කවුරුන් විසින් කවදා හඳුන්වා දුන්නාද යන කාරණය පිළිබඳ නිශ්චිත තොරතුරක් නැත. නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට ආවේණික තවත් විශේෂ දිනයක් වන “Tax Day” හෙවත් “ආදායම් බදු දිනය” ට පසු දා යම් ආකාරයක විවේකයක් ලබා ගැනීම වෙනුවෙන් පිජාමා හැඳ වැඩට යාම ආරම්භ කළ බවයි. Tax Day හි දී සිදුවන්නේ ආදායම් බදු වාර්තා ඇමෙරිකානු රජය වෙත ලබා දීම හා බදු ගෙවීමයි. මේ වසරේ ආදායම් බදු දිනය අප්‍රේල් 18 වන දා යෙදෙන අතර, ඒ නිසා අප්‍රේල් 19 වන දා පිජාමා ඇඳුමෙන් රැකියාවට යාමේ අවස්ථාව ඇමෙරිකානු වැසියන්ට හිමි වෙයි. විශේෂත්වය නම්, මේ දිනය ඇමෙරිකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල ද අද වන විට සමරනු ලබයි.

මේ දිනයේ දී විශේෂ සැලකුම් ලබන පිජාමා ඇඳුම්වල ඉතිහාසයත් බොහොම අපූරුයි. ඇත්තෙන්ම පිජාමාවල උපත සිදුව ඇත්තේ ආසියානු රටවලයි. බ්‍රිතාන්‍යයේ කොළණි බවට පත් වූ මේ රටවල ස්වදේශිකයන් අඳින සැහැල්ලු දිග කලිසම් කලක් යනවිට බ්‍රිතාන්‍යය තුළත් ‘පිජාමා’ යන නමින් ව්‍යාප්ත විය. පර්සියන් බසින් පිජාමා යනු, දෙපා වැසෙන සේ අඳින ඇඳුමයි.  අද වන විට ලොව බොහෝ රටවල විවිධ මෝස්තරයේ පිජාමා ඉතා ජනප්‍රියයි.

මේ අපූරු දිනය සැමරීමට කළ යුත්තේ පිජාමාව හැඳ රැකියාවට යෑම පමණයි. රැකියා ස්ථානයේ ප්‍රධානියා සහ කාර්යාලීය මිතුරන් සියලු දෙනා ද දැනුවත් කර මෙම දිනය සැමරීම ඉතා විනෝදජනක කටයුත්තකි. Wear Pajamas To Work Day සැමරුමට ගැළපෙන ලෙස කිරි සහ විස්කෝතු වලින් සමන්විත දිවා ආහාරයක් ලබාගැනීම සහ සියලු දෙනා සමඟ එක් වී ඡායාරූපයක් ගෙන #WearYourPajamasToWorkDay ලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් ඇතැම් අය සිදු කරති. මේ වන විට ප්‍රසිද්ධ නළු නිළියන් සහ ජනප්‍රිය චරිත පවා මෙම සාම්ප්‍රදාය අනුව යමින් ඡායාරූප පළ කිරීමත් Wear Pajamas to Work Day සැමරීම වඩාත් ජනගත වීමට හේතුවක් විය.

වැඩි දෙනෙකු මෙම දිනය ගැන කැමැත්තක් දැක්වීමට හේතු ලෙස දක්වන්නේ ඇඳුම් කට්ටලයක් සූදානම් කිරීමට කාලය ගත නොවන නිසා වෙනදාට වඩා දිගු නින්දක් ලබාගත හැකි වීම සහ නිදන ඇඳුමක් විලාසිතාවක් බවට පත් කරගත හැකි ආකාරයන් අත්හදා බැලීමට හැකි වීම යනාදියයි. කෙසේවෙතත් පසුගිය කාල සීමාව තුළ කොවිඩ් වසංගත තත්වය නිසා නිවසේ සිට වැඩ කටයුතු කිරීමට සිදු වීම නිසා පිජාමා හැඳ රැකියාවට යාම එතරම් විශේෂ කාරණයක් නොවුණත්, ගෝලීය සෞඛ්‍ය වාතාවරණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙන පසුබිමක මෙම දිනය සැමරීම සඳහා බොහෝදෙනා ආශාවෙන් පෙළගැසෙනු ඇති බවට නම් සැකයක් නැත. තවමත් ශ්‍රී ලංකාව තුළ මෙවැනි දිනයන් සැමරීමක් සිදු නොවුණත්, ජනප්‍රිය සංස්කෘතියේ ආභාෂයන් ග්‍රහණය කරගන්නා නව පරපුර ඇතැම්විට ඉදිරියේ දී මෙම සම්ප්‍රදාය ද වැළඳ ගනු ඇත.

References:

Image:

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හේෂානි ධර්මපාල

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment