Uncategorized

ඇය සොබා දහම් මාතාව වුව ද ජීවමාන කතක් වුව ද “ඇය යන්න ගියා මැකිලා…”

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුළේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා…

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා…

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීව ද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර

යන්න ගියා මැකිලා…..

ගායනය: විශාරද අමරසිරි පීරිස්
ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය: එච්. එම්. ජයවර්ධන

නිර්මාණයක් අත්දැකීමක් විය හැකි ය. නැතහොත් එය සිතින් මවා ගත්තක් විය හැකි ය. එසේත් නොමැති නම් ඒ දෙකෙහි ම මුසුවකින් බිහි වූ නිර්මාණකරු ද සිහිනෙකිදු නොසිතනා දෛවෝපගත අනාවැකියක් ද විය හැකි ය. එකී කාරණය යළිත් පසක් කරමින් පද ගෙතී බිහි වූ නිර්මාණයකි, “ඇය යන්න ගියා මැකිලා” ගීතය.

අපූරු පද මාලාවකින් සහ ඉතාමත් සියුම් තනුවකින් යුතු “ගීතය” නම් වූ විශ්වීය භාෂා මාධ්‍යක් හරහා හදවතෙ හි සියුම් තැන් ස්පර්ශ කරත හැකි නම්, එවැනි ගීයක් තුළ ජීවත් වෙමින් රස විඳීමට එහි අර්ථය වැටහීම හෝ එය තම ජීවිතයේ අත්දැකීමක් වීම අත්‍යවශ්‍ය නොවෙ යි. නමුත් නිර්මාණයක් ගුණාත්මක නිර්මාණයක් වීම සඳහා එහි අන්තර්ගතයේ අර්ථවත් භාවය අතිශය වැදගත්‍ ය.

“ජීවිතයේ සියළු මුණගැසීම් කෙදිනක හෝ කුමන හෝ ආකාරයක වෙන්වීමකින් නිමා වේ” යන පොදු ධර්මතාවය ඇය යන්න ගියා මැකිලා ගීතය හරහා ඉතා අපූරු හා අර්ථාන්විත පද මාලාවක් භාවිතයෙන් ප්‍රකාශ කිරීමට සුනිල් සරත් පෙරේරා මහතා සමත් විය.

සුනිල් සරත් පෙරේරා මහතා අතින් රචනා වූ, එච්. එම්. ජයවර්ධනයන් අතින් තනු නිර්මාණය වූ, අමරසිරි පීරිස් මහතාගේ හඬින් ගීතවත් වූ මෙම අපූර්ව ගීතය ලාංකේය සංගීතයේ අමරණීය මතකයක්, දෛවෝපගත සිදුවීමක් සටහන් කළ නිර්මාණයකි.

ගීතයේ පද වැල් සවන් වැකුණු විගසින් එය “ඇය” නමින් ප්‍රකාශිත සංකේතයෙ හි නොපැතූ, හදිසි නික්ම යාමක් පිළිබඳ පුවතක් බව පැහැදිලි වේ. නමුත් “ඇය” කවුරුන් ද යන්න එනම් “ඇය” ලෙසින් පවසන්නේ සැබෑ ලෙසම කාන්තාවක් ද, නැතිනම් “ඇය” වෙන යම් සජීවී හෝ අජිවී දෙයක් ද යන්න වටහා ගැනීම ප්‍රේක්ෂකයාට භාර ය.

කෙසේ නමුත් ගීතයේ පද රචකයන් වන සුනිල් සරත් පෙරේරා මහතාට අනුව ඔහු අතින් මෙම ගීතය රචනා වනුයේ සොබා දහම් මාතාවගේ නික්ම යාමක් පිළිබඳව ය. වස්ගමුව වනයේ සහ කදුරුපිටිය වන නිවහනේ ගෙවෙන එක් සොඳුරු සවස් යාමයක ස්වභාව ධර්මයේ වූ ක්ෂණික වෙනස් වීමක් මෙම ගීතයේ පද වැලට පාදක වී ඇත.

“වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුළක මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා…”

තුරු ලතාවන්ගෙන් ගහණ වූ සොඳුරු වන පියසක් තුළ විවේකීව ගත කරන ඔහුට තුරු ලතාවන් හි අතු පතර එකිනෙක වැදෙමින් නගන හඬ, ගී ගැයීමක් මෙන් වන්නට ඇත. නිසොල්මනේ ඒ කෙරේ දෙසවන් යොමා සිටින අතරෙ හි ඈතින් හමා ආ මීදුම් වලාවෙන් සැඟව, වන ලැහැබේ පිපි මල් අගින්, කඳුළක් බඳු වූ පිණි බිඳු තවරා එතෙක් වෙලා ඔහු විසින් රස විඳි සොබා දහම් මාතාව විගසින් අතුරුදහන් වී ඇත.


“නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත සාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා…”


නිල්වන් කදුවැටි අතරින් උදාවන රාත්‍රියේ සඳ නැග එන්නට ඉඩ දෙමින් “යලි නොඑන්නෙමි යැයි හෝ හෙට දිනෙක යලි පැමිණෙන්නෙමි…” යැයි යනුවෙන් විය හැකි රහස සඟවා පද රචකයා විසින් එතෙක් විඳිමින් සිටි සොබා රුව නිහඬවම වැසී ගොස් ඇත.

“යලි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අත ගා කීව ද
අදහා ගන්නට නොහැකි ය කිසි දින
ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර”

වස්ගමුව වනයේ සවස් යාමයේ විඳි ඒ සුවයට කොතරම් ලෝභ වුව ද ඍතු හුවමාරුවක් බඳු වූ පරිසරයේ වෙනස් වීම් හමුවේ එතෙක් විඳිමින් සිටි “වන සිරිය” නම් වූ වසන්තය නැවත වතාවක් මීදුම පහව ගොස් උදාවන ගිම්හානයකට පෙරාතුව නොපැමිණෙන්නක් බවත්, ඊට පෙර එම සුවය නැවත විඳිය නොහැකි බවත් ඔහු විශ්වාස කිරීමට අකමැති වන්නට තරම් වස්ගමුව වනයේ සිරියට ඔහු වශී වන්නට ඇත.

ගී පද රචකයා විසින් විඳි ස්වකීය අත්දැකීම පදනම්ව සොබා දහම අරඹයා මෙකී පද වැල් ගෙතුව ද මෙම ගීතය ලාංකේය සංගීතයේ අමරණීය ගීත කෝකිලාවකගේ නික්ම යෑමක පෙරනිමිත්තක් ලෙසින් ලිය වූව ක් ලෙස ද විශ්වාස කෙරේ.

සුනිල් සරත් පෙරේරා මහතා විසින් මෙම ගීතය රචනා කිරීමෙන් අනතුරුව ගීතය සඳහා තනුව නිර්මාණය කිරීමට අමරසිරි පීරිස් මහතා විසින් එය එච්. එම්. ජයවර්ධන සූරීන් වෙත ගෙන ගොස් ඇත. එතුමන් විසින් ගීතයේ මුල් පද පේළි සඳහා තනුව නිර්මාණය කර ඇති අතර ඉන් අනතුරුව අමරසිරි පීරිස් මහතා පවස් පරිදි,

“අවුල් වූ හිසකින් යුතුව එච්. එම්. ජයවර්ධනයන් නැවත පැමිණ තමන්ට මේ ගීතය සඳහා තවත් කිසිවක් කළ නොහැකි බවත්, හිතට යම් අමුත්තක් දැනෙන බවත් පවසා ගීතයේ ඉතුරු කොටස සඳහා තනුව නිර්මාණය කර ගන්න.”

යැයි පවසා ඇත. එයින් දින කිහිපයක් යන්නට මත්තෙන් සැල වූ කණගාටුදායක පුවත නම් එච්. එම්. ජයවර්ධනයන්ගේ ආදරණීය බිරිඳ වු මාලනී බුලත්සිංහල මහත්මිය ඇමරිකාවේ ප්‍රසංගයක් සඳහා සහභාගී වී සිටි අවස්ථාවේ සදහටම මෙලොවින් නික්ම ගිය බවයි.

“වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා”

යනුවෙන් පද පේළිවලින් පැවසූ පරිදිම තම ආදරණීය බිරිඳ විලසින් මුළු මහත් ලාංකේය ප්‍රේක්ෂක ජනතාවම ගී ගයමින් සනසාලු මෙම ගීත කෝකිලාව නොසිතූ මොහොතක කඳුළක් ඉතුරු කොට නික්ම යන ලදී.

“නිල්ල නිලන කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත සාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා…”

ලියු ලෙසටම ලාංකේය සංගීතයේ ආගමක් බඳු වූ තමන්ටම අනන්‍ය වූ සංගීතයකට උරුමකම් කියන කසුන් කල්හාරයන් වැනි සඳ එළියකට මග පාදා අවසානයේ රහසක් සඟවා අවසන් වරට පැවසීමට ඉතුරු කරගන්නට ඇති බොහෝ දෑ ද නොකියාම ගොළු වු හදකින් ඇය මැකී ගියේ ය.

“යලි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අත ගා කීව ද
අදහා ගන්නට නොහැකි ය කිසි දින
ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර”

කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක මාලනී බුලත්සිංහල මැතිණියගේ වෙන් වීම යලි කිසිදිනෙක හමු විය හැකි වියෝවක් නොවන බව සවන් වැකුණ ද ආදරණීයයෙකුගේ හදිසි වෙන්වීමක් දරාගත නොහැකි, විශ්වාස කළ නොහැකි බැවින් එම පුවත ද එච්. එම්. ජයවර්ධනයන්ට අදහා ගත නොහැකි වන්නට ඇති බව නම් නොරහසකි. ගිම්හානෙට පෙරාතුව නැවත වතාවක් වස්ගමුවේ සොබා සිරිය දැකීමට අවස්ථාවක් උදා විය නොහැකි මෙන්ම මතු අත්භවයකට පෙරාතුව ඇයව නැවත කිසිදා හමු විය නොහැකි බව ඉතා සියුම් බස් වහරෙන් යුතුව මෙම පද වැල් පවසයි.

සොබා දහමට ස්ත්‍රීත්වය ආරෝපණය කරවීමක් වුව ද, දෛවෝපගත සිදුවීමක පෙරනිමිත්තක් වුව ද මෙකී ගීතය හදවතට සියුම්ව ආමන්ත්‍රණය කරන්නා වූ නිර්මාණයක් බව නම් නොරහසකි.

ගීතයක් අපට අවැසි ආකාරයකට අර්ථ නිරූපණය කර රස විඳිය හැකි ය. යම් විටෙක එය එම නිර්මාණයට පාදක වූ අරුතම නොවිය හැකි ය. එලෙසින්ම මෙම අපූර්ව ගීතයට ද ඉහත අර්ථකථන සේම ජීවිත ගමනේ දී මැකී ගිය “ඇය” නමින් වූ කෙනෙක් පිළිබඳව ඔබටත් මටත් අනන්‍ය වූ අර්ථ නිරූපණ ද ඒ අතරෙ හි තිබිය හැකි ය.

Design by : Pathum Lakshan

Images: 

Reference:

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂානි එදිරිසිංහ

නීති පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment