පුරාණයේ ඉඳ කරපු සිරිත් විරිත්…
සති මාස ගණන් ගතින් සිතින් පේවී…
ඇහැළ මහ අබියස අපෙ සුපුරුදු සැරසුමින්,
සෙංකඩගල පුරවරයම එකළු කරන…
කන්ද උඩ රට පෙරහැර සිරි අසිරි ඇරඹෙන…
මේ සොඳුරු සුයාමය…
කොරෝනා,
නුඹ නිසා,
නවතන්න හැකිද…?
දස දහස් පිරිවර නොමැති වේවි…
දෝංකාර සාධු නද සවනට නොඇසේවි…
ඒත්…
උතුම් දළදා කරුණාව,
සමරමු අදත් බැතියෙන්…
පතමු පිහිට උතුම් දළදා හිමි සඳ…
සියවස් ගණනක ඈත අතීතයේ සිට පාරම්පරික නර්තන කලාවත් වාද්‍ය කලාවත් ගෞරවබහුමාන චාරිත්‍ර වාරිත්‍ර එකට එක් වූ සංස්කෘතික කලා මංගල්‍යයක් ලෙසින් ඇසළ පෙරහැර අරුත් ගැන්විය හැක. පුරාණයේ පටන්ම පෙරහැර මාසය ලෙසින් ජනවහරේ පැවත ආවේ මේ ඇසළ මාසයයි. ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන්නා වූ මෙම ඇසළ පෙරහැර ඈත අතීතයේ දී ඉන්දියාවේ පැවති ආෂාඨ උත්සවයක පරිණාමයක් ලෙසින් ද හැඳින්විය හැක. මෙලෙස ශ්‍රී ලංකාව තුළ දේශීය විදේශීය නෙත් සිත් පැහැරගන්නා මෙම ඇසළ පෙරහැර වර්තමානය වනවිට මහනුවර, කතරගම, දෙවිනුවර, නවගමුව ආදී පූජනීය ස්ථාන කිහිපයක්ම මූලිකත්වයෙන් පවත්වයි. ඒ අතරින් මෙය ඉතාම සංවිධානාත්මක අයුරින් හා අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලබන්නේ මහනුවර ඇසළ මහ පෙරහැරයි.
සෙංකඩගල ඇසළ පෙරහැර, නුවර පෙරහැර, කන්ද උඩරට පෙරහැර, මාළිගා පෙරහැර යනාදී විවිධ නම් වලින් හඳුන්වන්නේ මහනුවර ඇසළ මහ පෙරහැරයි. වර්තමානය වනවිට මහනුවර පෙරහැර විවිධ සංස්කෘතික අංග හා කලාත්මක අංගයන්ගෙන් පිරිපුන් බෞද්ධාගමික චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන් සුපෝෂිත වී ඇත්තේ මෙරට රජකල කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී වැලිවිට ශ්‍රී සරණංකර මාහිමිපාණන්ගේ අනුශාසකත්වය මධ්‍යයේ දී ය. එදා පටන් අද වන තෙක් මෙය චිරාගත සම්ප්‍රදායානුකූල ව පවත්වන්නා වූ බෞද්ධ අපගේ ආගමික උත්සවයක් බඳු මහෝත්සවයකි. මේ මහනුවර ඇසළ මහ පෙරහැර විවිධ සිරිත් විරිත් ඇතුළත් නැකැත් පත්‍රයකට අනුකූලව ගෞරව භක්ත්‍යාදරයෙන් සිදු කරයි.
දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කරන ලද නැකැත් පත්‍රයට අනුව ප්‍රථමයෙන්ම පෙරහැර පැවැත්වීමට අවසර ලබා ගත යුතු ය. මෙහි දී අවසර ලබා ගත යුත්තේ දියවඩන නිළමේතුමාගෙනි. දළදා පෙරහැර භාරව කටයුතු කරන කාරියකරවන කෝරාළ, ගජනායක නිළමේ, කපුරාළවරු, ගම් දහයේ විදානේවරු, කංකානම් රාළ, මොහොට්ටාල සහ වට්ටෝරුරාළ පෙරහැර ආයිත්තම්වලින් සැරසී දියවඩන නිළමෙතුමා හමුවී චාරිත්‍රානුකූලව අවසර ලබා ගැනීම සිදු කරයි. එයින් පසුව නැකැත් පත්‍රය අනුව යෙදෙන්නේ කප් සිටුවීමේ මංගල්‍යය යි.
මෙහිදී දේවාල සතරෙහි පිරිස් ඇසළ මස අමාවකට දින කිහිපයකට පෙර රැස් වී අලුත් නුවර භූමියෙන් හෝ ඊට තදාසන්න ප්‍රදේශයකින් සුදුසු දේවාල බිමක් තෝරාගෙන පල නොදැරූ නෑඹුල් කොස් ගසකට පුද සත්කාර කොට එයට අරක් ගත් දෙවි කෙනෙකු වේ නම් එයින් ඉවත් වන ලෙසට ආයාචනා කොට ගස කපා එයින් රියන බැගින් කපා සතර දේවාල භාර පිරිසට ලබා දීම සිදු කරයි. ඔවුන් ඒවා සතර දේවාල වලට අයත් බිමෙහි සිටුවයි. කප් සිටුවීමේ කටයුත්ත එලෙසින් අවසන් වෙයි.
මින්පසු එළඹෙන්නේ පෙරහැර සති මාලාවයි. විෂ්ණු, නාථ, කතරගම, පත්තිනි සතර මහා දේවාල වලට අයත් කපුරාළ වරු දේවාල රාජකාරි සිදු කරන ඇඳුම් ආයිත්තම්වලින් සැරසී දේවාල පෙරහැරට සහභාගී වෙති. මෙහි දී අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුනු නර්තන ශිල්පීන්ගේ සහ අලි ඇතුන්ගේ සහභාගීත්වයක් නොමැති අතර විශේෂත්වය වන්නේ මෙය බැතිමතුන්ගේ ද සහභාගීත්වයකින් තොරව සිදු කිරීමයි. පුරා දින 5ක් පුරා පැවැත්වෙන මෙම පෙරහැර “දේවාල පෙරහැර” නමින් හඳුන්වනු ලබයි.
දේවාල පෙරහැර අවසන සතර දේවාල බස්නායක නිළමේවරුන් රන් ආයුධ, දේවාභරණාදිය රන් සිවිගෙයක හිඳුවා එය ඇතකු පිට තබා දළදා මාළිගය ඉදිරිපිටට ගෙන එයි. එතැන් පටන් ආරම්භ වන්නේ “කුඹල් පෙරහැරයි”. අතීතයේ පළමු දළදා පෙරහැර වීදි සංචාරය කරන විට ඒ ඉදිරියෙන් අලුත් වළං කදක් රැගත් කුඹලෙකු ගමන් ගත් නිසා මෙම පෙරහැර කුඹල් පෙරහැර නමින් හඳුන්වන බව සඳහන් ය. දේවාල සතරෙහි පෙරහැරට වඩා විචිත්‍ර සැණකෙළිමය ස්වරූපයක් ගන්නා කුඹල් පෙරහැරට සධාතුක දළදා කරඬුව රැගත් මාළිගාවේ ඇතා මූලික කොටගත් ගම් දහයක විදානේවරුන්, සාම්ප්‍රදායික මෙන්ම ජන නැටුම් ඉදිරිපත් කරන නර්තන ශිල්පීන් ද, වාද්‍ය ශිල්පීන් ද, කසකරුවන්, පන්දම්කරුවන් පමණක් නොව කොඩි, සේසත්, මුරායුධ, මුතුකුඩ ආදිය ගෙනයන්නන් ද එක් කරන්නේ අමුතුම ප්‍රෞඪත්වයකි. ඒ අතරම මේ සඳහා දියවඩන නිළමේ ඇතුළු ගජනායක නිළමේ, පෙරමුණේ රාළ, කාරියකරවන රාළ ද සහභාගී වෙති. දින පහක් මුළුල්ලේ වීදි සංචාරය කරන කුඹල් පෙරහැර සෑම දිනකම සුබ හෝරාවකදී වෙඩි මුර හඬට පසුව ආරම්භ වන්නේ දළදා කරඬුව රැගත් ඇත් රාජයාණන් මෙයට සහභාගී වන නිසාවෙනි.
මෙලෙස අවසන් වන කුඹල් පෙරහැර තවත් විටක “අඩක් නිමවූ පෙරහැර” ලෙස ද අපට හැඳින්විය හැක. එලෙස කුඹල් පෙරහැර අවසන් වන්නේ “රන්දෝලි පෙරහැර” හි ආරම්භය සනිටුහන් කිරීමෙනි. මහනුවර රජසමයේ මෙම පෙරහැර සංචාරයට රජුගේ අගමෙහෙසිය හෙවත් රන්දෝලිය ගමන් ගත් නිසා මෙයට “රන්දෝලි පෙරහැර” නමින් නම් තබා ඇත්තේ ය. මෙය පෙරහැර සැණකෙළියේ අවසන් අදියර වන අතර මෙය පෙර දේවාල පෙරහැර හා කුඹල් පෙරහැර යන ද්විත්වයටම වඩා විසිතුරු වන්නේ මෙයට සහභාගී වන නර්තන ශිල්පීන් ද, වාද්‍ය ශිල්පීන් ද, අනෙකුත් සංස්කෘතික අංග ඉදිරිපත් කරන ශිල්පීන් ද විශාල ප්‍රමාණයක් වීමත්, විවිධ අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසුනු අලි ඇතුන් විශාල ප්‍රමාණයක් වීදි සංචාරය කිරීමත් නිසාවෙනි.
මෙලෙසම මෙහි විශේෂත්වය වන්නේ මාළිගාවේ පෙරහැර අවසානයේ පැමිණෙන සතර මහා දේවාල පෙරහැර අග ඒ ඒ දේවාල වලට අයත් රන් දේවාභරණ රැගත් රන්දෝලි නම් විශේෂ රථ සමූහයක් එක් කිරීමයි. එලෙසම නියමිත ඇඳුම් ආයිත්තම්වලින් සැරසුනු දියවඩන නිළමේ තුමා සුබ මොහොතින් විචිත්‍ර අන්දමින් සරසවනු ලැබූ මාළිගාවේ හස්ති රාජයා පිට සධාතුක කරඬුව රන්සිවිගෙය තුළ තැන්පත් කිරීම සිදු කරන අතර වෙඩි මුර අවසන ගාම්භීර ගමන් ලීලාවෙන් රතු පළස මතින් ගමන් කිරීම පෙරහැර නරඹන දහසක් බැතිමතුන්ගේ නෙත් සිත් පැහැරගන්නා සිත් තුටින් පුරවාලන පෙරහැරෙහි අසිරිමත්ම මොහොතකි. මෙලෙස දින පහක් පුරා මුළු නුවරම වීදි සංචාරය කරන රන්දෝලි පෙරහැර පස්වන දින මහා රන්දෝලියෙන් අවසන් වෙයි.
මහ රන්දෝලිය ද හමාර වීමෙන් පසු පෙරහැර කූටප්‍රාප්තිය සනිටුහන් කිරීමේ චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය ද පසු දින දහවලේ ගැටඹේ තොටුපළෙහි සිදු කොට නැවත පෙරහැරෙන්ම දළදා මාළිගාව වෙත පැමිණෙන අතර, ගෞරව සම්ප්‍රයුක්තව නැවතත් උත්තරීතර දළදා කරඬුව ඇත් රාජයාණන් පිටින් ඉවත් කොට නැවත දළදා මාළිගාවේ තැන්පත් කිරීම සිදු කරමින් දින ගණනාවක මහෝත්සවය මෙතකින් සමාප්ත කරනු ලබයි. පසුව මෙම පෙරහැර කටයුතු චාරිත්‍ර වාරිත්‍ර අනුකූලව නිසියානුකූලව පැවැත් වූ බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ ඇතුළු සතර දේවාල බස්නායක නිළමේවරුන් විසින් රටේ ජනාධිපතිවරයා දැනුවත් කිරීම සිදු කිරීමෙන් සම්ප්‍රදායානුකූලව සිදු කෙරේ. මේ අයුරින් රටට සෞභාග්‍යයත්, උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයත් පතා සෑම වසරක් පාසාම සිදු කෙරෙන මේ උතුම් මංගල්‍යය ලක්දිව බෞද්ධ අපට නම් සුවිශේෂී ප්‍රෞඪ සංස්කෘතික උරුමයකි. සුවහසක් ලක් වැසියන්ට අභිමානනීය මංගල්‍යයකි.
ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි !
Design by Bimal Navin
Leave a Comment