Interview දැනුම

ඇසිදිසි මානයෙන් සැඟවුණු රාවණා අඩවිය

Chariot Path

තත්පර මිනිත්තු වෙලා… මිනිත්තු පැය වෙලා… පැය, දවස්, සති වෙලා… කාලය පියඹා ගිහින්, විස්සයි විස්සත් ගෙවී ගිහින්. ගෙවුණු වසර මිනිසාගේ ජීවිතයට විවිධ වූ වෙනස්කම් එක් කරපු වසරක් කිව්වොත් මන් නිවැරදියි. ඒකාකාරීව ගෙවූ ජීවිත බොහෝමයක් උඩුයටිකුරු කළ විස්සයි විස්ස මනුදම් වලට මෙන්ම සොබාදහමටද එක් කළේ මහත්වූ පුනර්ජීවයක්. ඉඳින් ගෙවුණු වසරෙන් උගත් පාඩම් නම් බොහෝමයි. ඒ සියල්ලක්ම එළඹුණු විස්සයි විසිඑකට ආශිර්වාදයක් කරගන්මින්, උදාවූ මේ වසර ලෝ වාසී සියලුම දෙනාට, සියලු රෝ දුරුවී… ආයු බොහෝ වන සුභම සුභ නව වසරක් වේවා කියා Colombo Beacon රූ ධාරා අපි මෙසේ සුභ පැතුම් එක්කරන්නෙමු. 

මිහිපිට සුන්දරත්වයේ ජීවමාන දෙව්ලොවක් වේ නම් එහි අභිසෙස් සොයා යන්නෙකුට, තම දෙනුවන් අදහාගත නොහැකි ගමනාන්තයක සිරි විඳින්නට… අනභිභවනීය නවාතැන අන්කවරක්වත් නොව ඉන්දියන් සාගරයේ මුතු ධරණියම පමණකි. 

අද රූ ධාරා  ගමනාන්තය අපේ පාඨක පිරිස රැගෙන යන්නේ… සුන්දර සීතල කඳුකරය දිහාවට, ඒ සඳහා වෙනදා වගේම, අදත් ඔයාල හැමෝන්ටම මඟ පෙන්වන්නට, අපිත් එක්ක එකතුවෙලා ඉන්නව නියමුවන් දෙන්නෙක්. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසරේ අධ්‍යාපන කටයුතු කරන අපේම ජ්‍යෙෂ්ඨ සොහොයුරන් දෙදෙනෙක්. යොමාල් බිම්සර අයියා සහ මදුක දේශාන් අයියා. අද රූ ධාරා වැඩසටහනට අයියල දෙන්නව සාදරයෙන් පිළිගන්නවා. 

අපේ පාඨක පිරිසට මතක නම්, රූ ධාරා මඩොල්සිම, ගවරවිලතැන්න වගේම තවත් කෑම්පින් කරන්න පුළුවන් වගේම සොබා සුන්දරත්වයෙන් අනූන පරිසරයකට උරුමකම් කියන රාවණ අඩවියක් තමයි අද නවාතැන. මීට අවුරුද්දකට කලින්, ඒ කියන්නේ කොරෝනා වසංගත තත්වයට කලින්, අපේ සොහොයුරන් ගියපු මේ ගමනේ සුන්දර වූ මතකාවර්ජනයයි මේ… 

ඉතින් අදත් අවසරයි මේ පින්බිමේ වූ තවත් එක් සුන්දර ඉසව්වක නිම්වළලු සොයා යන්නට. මේ මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා සත්වන පරිච්ඡේදය… පිදුරුතලාගල කඳු පන්තියේ පිදුරුතලාගල අන්තයේ පිහිටි රාවණාගේ කරත්තය ගිය මඟ එසේත් නැත්නම් දඬු මොණරය ගොඩ බැස්සවූ තැන ‘චැරියට් පාත්’.

රාවණ රජු හා සබැඳුනු, බොහෝ ප්‍රදේශ බොහෝ කතා ගැන අපි අහල තියෙනව. ඉතින් දැන ගන්නට කැමතියි මේ විශේෂ තැන ගැන අයියලා දැන ගත්තෙ කොහොමද කියල? 

මදුක අයියා:  එහෙම විශේෂයෙන් නම් හෙව්වෙ නැහැ. එසෑම් එක ඉවරවෙලා අපි කෑම්පින් කරන්න තැනක් හොය හොයා හිටියෙ. යූ ටියුබ් එකේ, එෆ් බී ට්‍රැවල් පේජ් වලින් තමයි තැන ගැන නම් දැන ගත්තේ… 

යොමාල් අයියා: ඒ දවස්වල හොඳටම වැස්ස, යනවද නැද්ද කියල දෙගිඩියාවෙන් වගේ හිටියෙත්. අපි ගියේ ඔක්තෝම්බර් වල වගේ… ඒ දවස්වල රටේ ගොඩක් තැන්වල එහෙම නාය යෑම් නුත් සිද්ද වුණා… පානදුර ස්ටේෂන් එකත් හොඳටම වතුරෙන් යටවුණු දවස්. 

ඒ කියන්නේ වැස්ස නොසලකා හැරල ගියපු ගමනක්. ඉතින් යාලුවො කීදෙනෙක් එකතු වුණාද මේ ගමනට, කොහොමද සූදානම ගමනට? 

මදුක අයියා: එහෙම විශේෂ සූදානමක් නම් තිබුණේ නැහැ. යන්න ඕන කියල හිතුනා ඉතින් ගියා… අපිත් එක්ක තව යාළුවො පස් දෙනෙක් ගියා… අපි කවුරුවත් පාර දැනගෙන හිටියෙවත් නෑ යන්න.

යොමාල් අයියා: ඔව්, පාර හරියටම දැනන් ගියපු ගමනක් නෙවෙයි. අපිත් එක්ක ගියපු ශාලිකගෙත් යාලුවෙක් තමයි කලින් මේ තැනට ගිහින් තිබුණේ. ඒ වුණාට එයත් හරියටම දැනන් හිටියෙ නෑ පාර. 

පාර නොදැන ගිය ගමනක් නිසා, අලුත් අත්දැකීම් ගොඩක් එකතුවෙන්න ඇති. අපේ පාඨක පිරිසත් ගොඩක් නොඉවසිල්ලෙන් ඇත්තෙ මේ ගමන පටන් ගන්න.  

යොමාල් අයියා: කවදාවත් අමතක නොවෙන ගමනක්. අපි කලින් කිව්ව වගේ… ඒ දවස්වල පට්ටම වැස්ස. එසෑම් ඉවරත් නිසා ගවේෂණයෙ වැඩ වලට අපි හැමෝම වගේ ලැප්ටොප් උස්සන් එනකාලේ… යන්න කලින් දවසෙ, හවස පහට වගේ… මායි, මදුකයි, ජයනිදුයි, දුමිඳුයි කොටුවට ගිහින් කෑගල්ලෙන් බැහැල දුමිඳුලගෙ ගෙදර ගියා… 

මදුක අයියා: යන්න කලින් දවසෙ, අපි හතර දෙනා එහේ හිටියෙ. ඊළඟ දවසෙ උදේ පාන්දරින් යන්න හිටියෙ. ඒ වුණාට වැස්ස නිසා යන්න පරක්කු වුණා. කොහොමහරි කමක් නෑ කියල කෑගල්ලෙන් නැගල මහනුවරට ගියා. මහනුවරින් සෙට් වුණා භානුක. ඊට පස්සෙ පුස්සැල්ලාවට… ප්‍රනීතුයි ශාලිකයි ආවේ පුස්සැල්ලාවට. 

ඒ කියන්නේ දැන් අයියලා ගමනාන්තයට ළං වෙලාද?

මදුක අයියා: හපෝ නැහැ… තාම භාගයක්වත් ගිහින් නැහැ. පුස්සැල්ලාවෙන් පෙරෙට්ටාසි ගමට යන්න ඕන. බස් එක තිබ්බෙ, උදේ එකොළහට. අපි පුස්සැල්ලාවෙන් උදේට කාලා… එතනින් භූමිතෙලුයි, රෑට කන්න පානුයි, චිලි පේස්ට්නුයි ගත්තා… 

යොමාල් අයියා: ඇයි තව ලණුත් ගත්තා… බස් එක තිබ්බෙ එකොළහට, ශාලික ආවේ හරියටම එකොළහට. බස් එක ගියපු පාර ගැන කියනවනම් ඉතින්… පාර නම් හොඳටම අබලන්. එකපාරට වාහන දෙකකට මාරු වෙන්න බැහැ ඒ පාරේ… වලවල් පිරිල… 

අයියල පුස්සැල්ලාවෙන් තමයි  දැන් නැග්ගේ බස් එකට. එතකොට බැස්සෙ? සාමාන්‍යයෙන් කොච්චර විතර වෙලාවක් ගියාද පෙරෙට්ටාසි ගමට යන්න. 

මධුක අයියා: පෙරෙට්ටාසි ගමට යද්දි දවල් දොළහමාර විතර වෙලා… පැය එකහමාරක් ගියා පෙරෙට්ටාසි වලට එන්න. රුපියල් සීයක දුර. බස් එක නවත්තපු තැන අතෑරලා දාපු වලව්වක් තියෙනව. තේ කඩයක් එක්ක. අපි එතනින් බැහැල ගිනිපෙට්ටියක් ගත්තා. ගොඩක් ලස්සන ගමක්, පුදුම ලස්සනක්. 

යොමාල් අයියා: ඒක වලව්වක්ම නෙවෙයි අතෑරල දාපු පරණ වලව් මොඩල් එකට හදපු ඉස්පිරිතාලයක්. වීදුරු එහෙම. පෙරෙට්ටාසි ගම හරිම දුෂ්කර ගමක්. ඉස්පිරිතාලයක්වත් නැහැ. බෙහෙත් ගන්න ඒ මිනිස්සු පුස්සැල්ලාවටම එන්න ඕන. විශේෂම දේ මදුක කිව්ව වගේ ඒ පාරෙ යන්න, ඒ කියන්නෙ පෙරෙට්ටාසි වලට තියෙන්නේ බස් දෙකයි දවසටම. බස් දෙක මාරු වෙන්නෙ මේ වලව්ව ළඟදි… 

ඒ කියන්නේ බස් දෙක හරි තැනදි මාරු වෙන්න ඕන නම් හරියටම වෙලාවටම පෙරෙට්ටාසි වලට එන්න ඕන. එහෙම නේද? 

යොමාල් අයියා: ඔව් නංගි, බස් දෙක හරියටම ටයිම් එකටම යනව. පාර හරිම පටුයි අනිත් තැන් වලදි. මාරු වෙන්න පුළුවන් තැන තමයි අපි බැස්ස තැන. 

දැන් ඉතින් පෙරෙට්ටාසි වලටත් ආවානේ… තව යන්න ඕනද ගොඩක් දුර, පාර නොදැන ආපු ගමනක් නිසා… අපිත් කැමතියි ගමනේ ඉතුරු ටික දැන ගන්න.

මදුක අයියා: අපි බැහැපු තැන ඉඳන් තව ගොඩක් දුර පයින් යන්න ඕන, චැරියට් පාත් වලට. 

එහෙනම් මෙතන ඉඳන් පයින් යන ගමනක් තමයි තියෙන්නේ… 

මදුක අයියා: එතන පහළින්  පොඩි දිය පාරකුත් යනවා. අපි ඒකෙන් වතුරත් පුරවගෙන තමයි තේ වත්ත මැදින් ගියේ… 

යොමාල් අයියා: අපි ඉතින් පාරක් මුකුත් දන්නෙ නෑනේ… ඔහේ ගියා කට්ටියම තේ වත්ත මැදින්. අපි බැස්සෙ දොළහමාරට විතර, තුන විතර වෙද්දි පට්ටම වැස්ස. වැස්ස කොච්චර තදද කිව්වොත් මීටර් පහළොවක් දුරට පේන්නෙ නැති තරම් තද වැස්ස. අපි ඉතින් යනව යනව ඉවරයක් නෑ… කන්දට ළං වීම කෙසේවෙතත් කන්ද අපෙන් ඈතට යනව. 

අයියල කවුරුවත් පාර නොදැන යන ගමනක්නේ මේක. ඉතින් හිතුනෙ නැද්ද මුලින්ම පාර වැරදුනා වගේ හැඟීමක්. 

මදුක අයියා: එහෙම මුකුත් හිතුනෙ නැහැ මුලින්. වැස්සනේ… ක්ලයිමේට් එකත් පට ගාල වෙනස් වෙනව. ඒ නිසා කට්ටියටම ඕන උනේ ඉක්මනට චැරියට් පාත් වලට යන්න. 

යොමාල් අයියා: ඔව්, වැස්සත් සැර වැඩි නිසා… එහෙම මුකුත් හිතුනෙ නෑ… මොකද? අපි නගින්න ඕන කන්ඳත් හොඳට පෙනි පෙනී තිබ්බ නිසා. 

දැන් ඉතින් අයියල හරි පාර දැන ගත්තේ කොහොමද? මට හිතෙන විදියට වටේටම තියෙන්න ඇත්තේ තේ වතු.

මදුක අයියා: ඒ හරියෙ තිබුණෙ කැරට් පාත්ති. අපේ වෙලාවට එතන ඒ ගමේ මිනිස්සු හිටියා වැඩ කර කර. ඒ කෙනෙක්ගෙන් ඇහුව තමයි කිව්වේ… අපි ආපු පාර වැරදියි. වත්තෙ උඩටයි යන්න ඕන කියල. 

යොමාල් අයියා: කොහොමහරි ඒ වෙද්දිවත් වැස්ස අඩු වුණේ නෑ… අපේ වෙලාවට එතන, කැරට් පාත්ති ළඟ මඩුවක් තිබ්බ. ඒකෙ වටේට තමයි හිටියෙ වැස්සෙන් බේරෙන්න. ආපහු හරි පාරෙ එනකොට කැරට් පාතියකුත් විනාස කරල අපි. වැස්සනේ… යන්න බෑ බෑ කියල ආපු ගමනකුත් නේ…  

ක්ලයිමේට් එකත් ඉක්මනින්, ඉක්මනින් වෙනස්වෙන පරිසරයක්, ඒ වගේම වැස්ස දවස්වල ගියපු ගමනක්. අයියල මේ වෙද්දි හොඳටම තෙමිල. එතකොට අරන් ගියපු කෑම අනික් බඩු එහෙමත් හොඳටම තෙමිල ඇති මේ වෙද්දි? 

මදුක අයියා: ඔව්, හොඳටම නාලා… බඩු බරත් වැඩි තෙමිල නිසා… වෙලාවට යොමාල්ගෙ පොලිස් රේන්කෝට් එක අස්සෙ තමයි කන්න ගත්තු පානුයි, දුමිඳුගෙ කැමරාවයි දාන් ගියේ… 

යොමාල් අයියා: මෙයාල සේරම මට බැන බැන ගියේ… හෙන ගානක් දීල පොලිස් රේන් කෝට් එකක් ගත්ත කියල. අන්තිමට මගේ රේන්කෝට් එක නිසා තමයි දුමිඳුගෙ කැමරාවයි, පාන් ටිකයි බේරුණේ…

දැන් අයියල ආයෙමත් හරි පාර පටන් ගන්න තැනට ආවද? හරි පාරට යන්න නම් අර මුලින්ම වතුර පුරවපු දොළපාර ළඟට එන්න ඕන නේද?   

යොමාල් අයියා: ඔව් නංගි, වැස්ස මේ වෙද්දි නතර වෙලා නම් නැහැ. පොඩ්ඩක් විතර සැර අඩු වෙලා. හොඳම වැඩේ කියන්නේ… අර වතුර පුරවපු පොඩි දොළ පාර මහ ඇල්ලක් වෙලා… වැස්සෙ සැරට. දෙගොඩ තලා යනවා.

මදුක අයියා: එතන හිටපු අයත් කිව්ව, ඔතනින් නම් යන්න එපා කියල. මොකද එච්චරටම සැරයි වතුර පාර. කොහොමහරි ඉතින් පොඩ්ඩක් විතර සැර අඩුවෙනකන් ඉඳල අපි හරි පාරෙ ගියා. 

මන් හරි නම් අයියල යන්නේ ෆ්‍රොටොෆ්ට් තේ වතුයාය මැද්දෙන්. දැන් යන්නෙ උඩ පාරෙන්. තවමත් කන්ද පටන් ගන්න කැලය ළඟට ආවේ නැහැනේද?

මදුක අයියා: හරි පාරට ආවාම නම් අපි ටිකක් ඉක්මනින් ගියේ… කැලයට ඇතුළු වෙන තැනදි, ඩෙටෝල් ගාගත්තා කූඩැල්ලෝ ඉන්න නිසා… 

යොමාල් අයියා: කඳු දෙකක් තියෙනවා… අපි ඉන්නෙ තාම මුල් එකේ… ඒක නැඟල බැස්සම තව කන්දක් තියෙනවා… එතන ‘ටි’ ජන්ක්ෂන් එකක්. අපි ඉතින් පාරක් දැනන් ආපු ගමනක් නෙවෙයිනේ. ඉතින් හිතුණු පැත්තට ගියා. ගියා ගියා… එක පාරටම පාර ඉවර වුණා… 

ඒ කියන්නේ… අයියලට දෙවෙනි පාරටත් පාර වැරදුණා. දැන් ඉතින් මහ කැලේ නිසා හරි පාරක් අහගන්නත් කවුරුවත් නෑනේ. මේ වෙද්දි වැස්සවත් අඩුවෙලා තිබ්බෙ නැද්ද? 

යොමාල් අයියා: මොනව කරන්නද? ආයෙ හැරිල ඇවිත් අනිත් පාරෙ ගියා. හරි පාරෙ යද්දි ආයෙ වැස්ස. වළලුකරට උඩින් වතුර, හරි පාරෙ යද්දි.

මදුක අයියා: වතුර එනව නිකන් ඇලේ වගේ. මායි ජයනිදුයි තමයි පිටිපස්සෙන්ම ගියේ… බෑග් ගොඩක් බර නිසා හෙමින් හෙමින් තමයි ගියේ…

යොමාල් අයියා: ඔව්, මෙයයි ජයනිදුයි තමයි අන්තිමට, දුමිඳුයි, ශාලිකයි, ප්‍රනීතුයි ඉස්සරහින්, දෙගොල්ලොන්ම මඟහැරෙයි කියල මායි භානුකයි මැදින් ගියේ දෙපැත්තම බල බල. 

අයියලට පාර වැරදුනේ, අර ‘ටි’ ජන්ක්ෂන් එකේදි කිව්වනේ… දැන් ඒ පාරවල් දෙකෙන් හරි පාර මොකක්ද? එතනින් වම් පැත්තටද දකුණු පැත්තද හරි පාර? 

මදුක අයියා: වමට තමයි යන්න ඕන. ඇත්තම කිව්වොත් දකුණු පැත්තෙ පාර කොළ අත්තක් දාල වහලත් තිබ්බෙ. අපි ඉතින් ඒකත් අයින් කරගෙන තමයි වැඩ්ඩො ටික වගේ ගියේ. 

යොමාල් අයියා: ඇත්තටම ඒ හන්දිය, ‘ටි’ ජන්ක්ෂන් එකක් නම් නෙවෙයි ‘වයි’ ජන්ක්ෂන් එකක් කිව්වොත් හරි. අනික පාරවල් කිව්වට, ඒවා අඩි පාරවල්, ගස් පඳුරු එහෙම පාර වැහෙන්නම. වැදගත්ම දේ තමයි අඩි පාර දෙපැත්තෙ තිබුණු පොඩි ගල් කණු, අඩියකට වඩා උස නැහැ ඒවා. අපිට වැරදිලා ගියපු පැත්තෙ අඩි පාරෙ එහෙම ගල් කණු තිබ්බෙ නැහැ. ඒව අවුරුදු ගානක් පරණ ගල් කණු මන් හිතන්නෙ. හරි පාර හොයාගන්න වෙන්න ඇති ඒවා ඉන්ඳන්න ඇත්තෙ. අඩි පාර වැහෙන තරමටම ගස්.

දැන් දෙවෙනි කන්දෙ උඩට යන ගමන් තමයි අයියල ඉන්නෙ. ගොඩක් මහන්සි ගමනක් වෙන්න ඇති. මොකද කඳු දෙකක ගමනක් වගේම අනෙක් අතට හොඳටම තෙමිලත් නිසා. 

මදුක අයියා: ඔව්, සෑහෙන්න මහන්සියක් නම් දැනුන. මොකද බෑග් ඇඳුම් සේරම තෙමිල බර වැඩී, සේරම පෙඟිල.

යොමාල් අයියා: මගේ රේන් කෝට් එකට පින් සිද්ද වෙන්න පාන් ටිකයි දුමිඳුගෙ කැමරාවයි නම් තෙමුනෙ නැහැ. වෙලාවට ලැප්ටොප් එක දුමිඳුගෙ ගෙදර තියල ආවේ… කොහොමහරි ඉතින් වැස්සෙම කන්දෙ උඩට ආවා. 

ඒ කියන්නෙ දැන් අපි ඉන්නෙ අපේ ගමනාන්තයේ… කන්ද මුදුනෙ, ලොකු සතුටක් දැනෙන්න ඇතිනේද උඩට ආවම. අපේ පාඨක පිරිස ගොඩක් නොඉවසිල්ලෙන් ඇත්තෙ වටපිටාව ගැන දැනගන්න. 

මදුක අයියා: තනිකරම ලොකු ග්‍රවුන්ඩ් එකක් වගේ. එකගහක්වත් නැහැ ලොකු. වටේට විතරයි ලොකු ගස් තිබුණේ. 

යොමාල් අයියා: ඒකෙ තණකොළ හරි නීට් එකට වැවිල තියෙනව. එකම මට්ටමට. කරත්ත රෝදපාරවල්  වගේ පාරවල් හිටල තියෙනව තණකොළ බිස්සෙ. ඒ පාරවල් වල තණකොළ වැවිලම නැහැ. සමාන්තරව පිහිටල තිබුණෙ. කාටවත් කිව්වට විශ්වාස කරන්නෙ නැහැ ඒ තරමට මාරම නීට් එකක්. 

කරත්ත රෝද පාරවල් ඉවර වෙන තැන බැලුම් ගලක් තියෙන්නේ… පොඩි ස්ලෝප් එකක් වගේ තියෙනව, ඉතුරු ටික තනිකරම බෑවුම. විශේෂම දේ තමයි මේ කන්ද උඩ සානුවක් තියෙනව කියල පහළ ඉන්න කිසිකෙනෙකුට පේන්නෙ නැහැ. අපි බැහැල යද්දිත් බැලුව, ඒක පේන්නෙ අහසෙ ඉඳන් බැලුවොත් විතරමයි. ඒ තරමට අදහගන්න බැහැ.

අයියල දැන් චැරියට් පාත් වලටම ඇවිත්නේ ඉන්නෙ, ගමනෙ මහන්සිය වගේම මේ වෙද්දි ගොඩක් හවස් වෙලත් තියෙන්න ඇති මන් හිතන්නෙ. රාත්‍රිය ගත කරන්න කොහොමද සූදානම් වුණේ…?  

මදුක අයියා: මෙගේ ජීවිතේට ගත කරපු දිගම රාත්‍රිය තමයි ඒක. අපි උඩට එද්දිත් හොඳටම වැස්ස. කොහොමහරි කුඩේකුත් ඉහළ ගෙන, කූඩාරම ගහ ගත්ත. ඒක ඇතුළෙත් වතුර. ටික ටික වතුර පාර මතුවෙනව. 

යොමාල් අයියා: ගිනි මැලයක් නැතුව ඉන්න බැහැ. මහ හීතලේ ගල් ගැහි ගැහි හිටියෙ. අපි අත්විඳපු දීර්ඝතම රාත්‍රිය, උදේ වෙනකොට මැරෙයි කියල හිතුවෙ. අපේ ඇඳුම් වලින් දුම් පිටවෙනව. 

එතකොට අයියලගෙ රෑ කෑමට මොකද උනේ…? 

මදුක අයියා: අරන් ගියපු පාන් එහෙම චුට්ටක් විතර තෙමිල. ඒත් අවුලක් උනේ නෑ…

ජීවිතේ ගෙවපු දිගම කෑම්පින් නයිට් එක කියල කිව්වනේ… ඉතින් එළිවෙනකන් අයියල මොකද කළේ…? 

යොමාල් අයියා: ඒ වෙද්දි වැස්ස නම් අඩු වෙලා. එකපාරක් චුට්ටක් වැස්ස. 

මදුක අයියා: දරත් නෑ… ගිනි මැලේකුත් නෑ… ගත්ත ගිනි පෙට්ටියත් පෙඟිල වතුරට. ගෙනාපු ඇඳුම් සේරම තෙමිල. මන් අරගෙන ගියා ලොකු ටෝච් එකක්, ඒකත් ඕෆ් උනා බැට්‍රි බැහැල. උෂ්ණත්වය බලන්නවත් විදියක් නැහැ. මන් එෆ් බී පෝස්ට් එකකින් දැක්ක එතන උෂ්ණත්වය සටහන් කරල තිබුණෙ සෙල්සියස් අංශක ඍණ තුන කියල. 

ගිනිමැලේකුත් නැතිව හරි අමාරුවෙන් ගත කරපු, රාත්‍රියක්. ඒ කියන්නෙ අයියල මේ ගමන ගිහින් තියෙන්නේ වැස්ස ගොඩක් සැර කාලේ… 

යොමාල් අයියා: ඔව්, ඒ දවස්වලට හවසට වහිනවලු හැමදාම. උදේට පායනවා… හවස තුනට විතර වගේ වැස්ස පටන් ගන්නවා. 

මදුක අයියා: මන් රෑ නිකමට පොඩ්ඩක් කූඩාරමෙන් ඔලුව එළියට දාල බැලුව. තරු අහස පුරාම… වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පුදුම ලස්සනක්. 

යොමාල් අයියා: තරු බලන්න උඩ බලන්න ඕන නැහැ. කෙලින්ම බැලුවම පේනවා වටේටම අහස.

දීර්ඝ රාත්‍රියකට පස්සෙ, උදේ නැගිට්ටම චැරියට් පාත් වල මොනවගේ සුන්දරත්වයක් ද තිබුණේ? 

යොමාල් අයියා: අපි හැමෝම මොන වෙලාවෙද එළිවෙන්නෙ කියල බලන් හිටියෙ. විනාඩි දහයෙන් දහයට වගේ වෙලාව බැලුව මන් නම්. උදේ 5:30ට විතර වගේ ඇහැරුනේ… එළියට ආවම වටේටම වලාකුළු, අපි වලාකුළු උඩ. මන් කිව්වෙ බැලුම් ගලක් තියෙනව කියල එතන පාර ඉවර වෙන තැන. ඒක හරියට නිකන්, සීරී පාදෙටම යන්නම තියෙන පාරක් වගේ… සමන්ගිර හොඳටම පේනවා.

මදුක අයියා: දුමිඳුට නම් හොඳම චාන්ස් එකක් වුණා මේ වීව් එක. වලාකුළු අතරින් සිරී පාද කන්ද පෙනුනෙ. 

යොමාල් අයියා: කවුරුත් සූර්‍ය සේවය බලන්න යන්නෙ සමන්ගිරට. ඒත් අපිට පුළුවන් උනා චැරියට් පාත් මුදුනෙ ඉදන්, සමන්ගිරත් එක්කම සූර්‍ය සේවය දැක ගන්න. මගේ ජීවිතේ දැකපු ලස්සනම වීව් එක. ඔයාලට ෆොටෝස් වලින් බලාගන්න පුළුවන් වෙයි ඒ වෙලාවෙ කොච්චර ලස්සනක්ද තිබ්බෙ කියල. ඒ ෆොටෝස් එඩිට් කරන්න කලර්ස් දාන්න ඕන නැහැ. අහස ඒ තරමට පුදුම ලස්සනයි. 

මේ වෙද්දි වැස්ස පොඩ්ඩක් වත් නැහැ මන් හිතන්නෙ, සීතලත් ටික ටික අඩු වෙනව එහෙමනේද? 

යොමාල් අයියා: චැරියට් පාත් වල තියෙන්නේ හරි ඉක්මනින් වෙනස් වෙන කාලගුණයක්. උදේ නැගිටිද්දි, තණකොළ වල වතුර මිදිල. තුහින වැටිල වගේ… උදේ අටහමාර විතර වෙද්දි හොඳටම අව්ව. මාරම සැර අව්වක්. මීදුම පොඩ්ඩක් වත් නැහැ. උදේ නැගිට්ටම තමයි දැක්කෙ  එතන තවත් කන්දක් තියෙනව කියල. අපි හිටපු තැනින් ටිකක් උඩට ගියාම දොළපාරක් යනවා. මායි මදුකයි උදේ දහයට විතර බැස්සෙ ඒකට. බැස්ස ගමන් කකුල් දෙක ගල් වුණා. 

මදුක අයියා: ඔව්, පට්ටම සීතලයි.

මන් අහල තියෙනවා චැරියට් පාත් වල, අවුරුද්දේ මොනම කාලෙකදිවත් වතුර හිඳෙන්නෙ නැති පොකුණක් තියෙනව කියල. ඒක ජනප්‍රවාද වලට අනුව සීතා දේවියගේ කඳුළු වලින් නිර්මාණය වුණා කියල, ඒකට කියන්නේ… ‘සීතා පොකුණ’ කියල. 

මදුක අයියා: ඔව් නංගි, අපි රෑ හිටපු තැනින් උඩට ගියාම තමයි සීතා පොකුණ තියෙනව කියල කියන්නේ… අපිට නම් එතනට යන්න බැරිවුණා. ඒ හරියෙ සීතා මල් පිපෙනව කියල නම් මාත් අහල තියෙනව. ඒ පොකුණෙ වතුර හිඳෙන්නෙ නැහැලු කවදාවත්.

යොමාල් අයියා: කලින් දවසෙ හොඳ කට්ටක් කාල හිටපු නිසා… අපිට ඕන වුණේ ඉක්මනට එන්න. තෙමුණු රෙදි සේරම හොඳට වේල ගත්ත. රෙදි වේලෙන්න තරම් මාරම සැර අව්ව. අනික් වැඩේ තමයි රෑට සිග්නල් ඇත්තෙම නැහැ කන්දට. ඒ වුණාට දවල්ට හොඳටම සිග්නල් තිබුණා. 

මදුක අයියා: උදේට කෑවෙත් කලින් දවසෙ අරන් ගියපු පාන්. චිලි පේස්ට් එක්ක. මට නම් හොඳටම ගැස්ටික් තදවෙලා හිටියෙ. කාල රෙදිත් වේලගෙන අපි එන්න ලෑස්ති වුණා. 

කොහේ කොතන ගියත්, ඒ අතිසුන්දර තැන් වල සුන්දරත්වය රැක ගන්න, අපේ දේ රැක ගන්න අපිට පැවරුණ ලොකු වගකීමක් තියෙනව. ඒ ගැන පොඩ්ඩක් මතක් කරොත් හොඳයි නේද?

යොමාල් අයියා: ඔව් ඇත්තටම, අපි ගෙනිච්ච කිසිම දෙයක් ඒ පරිසරයේ දාලා ආවේ නැහැ සේරම අරගෙනයි ආවේ. එතනට කලින් දවස්වල ආපු අනිත් අයත් එතන කිසිම විදියකින් අපවිත්‍ර කරල ගිහින් තිබුණේ නැහැ. පත්තු කරපු ගිනි මැලේ අඟුරු විතරයි ඉතිරි වෙලා තිබුණේ… අපිට ඉතින් එහෙම ගිනි මැලයක් වත් මුකුත් නැහැනේ.

මදුක අයියා: පාරිසරික සුන්දරත්වයට නම් කිසිම හානියක් වෙලා නැහැ. 

චැරියට් පාත් පිහිටල තියෙන්නේ මහ ඝන කැලයක් මැද්දෙ පිහිටි කන්දක. පිදුරුතලාගල අන්තයේ… මේ භූමිය කොටින්ගේ, දරුණු වන සිව්පාවුන්ගේ වාස භූමියක් කියල මන් අහල තියෙනව. අයියලගෙ ගමන අතරතුර එහෙම අත්දැකීම් වලට මුහුණ දුන්නෙ නැද්ද? 

මදුක අයියා: ඔව් නංගි, අපිත් යන ගමන් සත්තු ඉන්නවද කියල බල බල ගියේ. ඒත් වැස්ස නිසා වෙන්න ඇති කිසිම සලකුණක් දැක්කේ නැහැ. අඩුම තරමේ සර්පයෙක්වත් දැක්කේ නැහැ.

යොමාල් අයියා: ඒ දවස්වල අපේ සෙට් එකේ ගොඩක් අය මස් මාළු කන එක නවත්තල හිටියෙ. හරියට පේවිලා ගියපු ගමනක් වගේ. මොනව වුණත් රාවණ අඩවියට නේ ගියේ. ඒත් රෑ නම් පොඩි සද්දයක් ඇහුණා. අපි සද්ද නැතුව හිටියා. මන් හිතන්නෙ වල් ඌරො වෙන්න ඕන. 

ඉතින් ගමන ඉවර වෙලා කන්ද පහළට එනකොටත්, කලින් දවසෙ වගේ අත්දැකීම් ගොඩකට මුහුණදෙන්න ඇති.

යොමාල් අයියා: එහෙම විශේෂ දෙයක් නම් වුණේ නැහැ. අපි කන්ද නඟින්න ගියාට වඩා ඉක්මනට කන්ද බැස්සා. 

මදුක අයියා: ඔව්, අපි ඉක්මනට ආවා පහළට. පෙරෙට්ටාසි වලින් පුස්සැල්ලාව බස් එකේ නැගල, ඊට පස්සෙ මහනුවරට ආවා. එතනින් යාලුවෝ ටික විසිර ගියා. 

ජීවිතේට අමතක නොවන ලස්සන අත්දැකීම් ගොඩක් එක්ක තවත් කෑම්පින් නයිට් එකක් ඉවර වුණා එහෙනම්, ගිනි මැලයකුත් නැතිව ගෙවපු දීර්ඝ රාත්‍රියක්. ඒ වගේම අපේ පාඨක පිරිසට කණගාටුවෙන් වුණත් කියන්න විශේෂ කරුණක් තියෙනවා. දැන් නම් මේ අතිසුන්දර ස්ථානයේ සිරි විඳගන්න ඔබට ඉඩප්‍රස්ථාව ලැබෙන්නේ නැහැ.  

මදුක අයියා: ඔව් නංගි, දැන් එහේ යන්න තහනම්. පෙරෙට්ටාසි කියන්නෙ ගොඩක් දුෂ්කර, හුදෙකලා වුණු ලස්සන ගම්මානයක්. එහේ මිනිස්සුත් වැඩිය කැමති නැහැ කට්ටිය එනවට. ඒ නිසාම වෙන්න ඇති, දෙස් විදෙස් සංචාරකයන්ට චැරියට් පාත් තහනම් කරන්න ඇත්තේ… 

යොමාල් අයියා: ඒ මොනව වුණත් අපි වාසනාවන්ත වුණා, වැස්සෙ හරි අපි කොහොමහරි ගියා. දැන් මඩොල්සිම ගවරවිලතැන්නත් සංචාරකයන්ට තහනම් කලාප වෙලා. 

අපේ පාඨක පිරිසට, චැරියට් පාත් සුන්දරත්වය තම දෑසින්ම විඳගන්නට නොහැකි වුණත්, සොහොයුරන්ගේ චැරියට් පාත් ගමන, ඔබ තමන්ගේම අත්දැකීමක් කරගෙන එය විඳින්නට… ඇති කියල අපි විශ්වාස කරනවා. ඉතින් අද රූ ධාරා වැඩසටහනට සහභාගි වෙලා… අපිත් එක්ක ඒ සුන්දර අත්දැකීම් බෙදාගත්තු, අපිව රාවණ අඩවියේ සිරි අසිරි විඳගන්න එක්කරගෙන ගිය යොමාල් අයි‍යටත්, මදුක අයියටත් රූ ධාරා අපේ ස්තූතිය පල කරනවා. ස්තූතියි අයියල දෙන්නටම වටිනා කාලය කැපකරල අපිත් එක්ක එකතු වුණාට. 

ඉතින් එළඹෙන සතියේ බදාදා රාත්‍රී අටට, තවත් මෙවැනිම වූ දෑස් මානයෙන් සැඟවුණු සුන්දරත්වයකට ඔබව කැන්දාගෙන යාමේ පොරොන්දුව ඇතිව, සමුගන්නට අවසරයි අදට ඔබේ ආලින්දයෙන්. මේ… මුතුධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා Colombo Beacon අපේ රූ සැරිය.

සුන්දර පිදුරුතලාගල අන්‍තයේ සිට. 

විශේෂ ස්තූතිය:

  • යොමාල් බිම්සර
  • මදුක දේශාන්
  • දුමිඳු සසංක
  • ප්‍රනීත් නිමේෂ
  • ශාලික දේශාන්
  • චිත් ජයනිදු
  • භානුක අශ්වින්

සේයා රූ:

  • දුමිඳු සසන්ක

Design by : Nisal Vimukthi

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්මුනි නවෝදා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment