“අනේ මාව බේරගන්න දෙවියනේ…”
ඇය යදියි.
“අනේ මට ගොඩක් රිදෙනවා…”
ඇයට වේදනයි.
“මන් මැරෙන්නද යන්නේ…?”
ඇය වැලපෙයි.
“කාටහරි මාව ඇහෙනවද…? කවුරුවත් නැද්ද…?”
ඇය විලාපදෙයි.
“අනේ කෝහොමහරි මාව බේරගන්න…”
ඇය සුසුම්ලයි.
“පෘථිවිවාසී බුද්ධිමත්ම සත්ත්වයා කවුද?” කවුරු කාගෙන් ඇහුවත් උත්තරය නම් ‘මිනිසා’ යන්නයි. ඒත් මෑතකාලීනව මේ බුද්ධිමතා විසින් කළ කී දෑ බුද්ධි ගෝචර දැයි කියා නම් පැන නගින්නේ මහත් වූ සැකයකි. කණගාටුවට කරුණ වන්නේ ඔහුට බොහෝ දෑ ඉක්මනින් අමතක වී යාම ය. ඔවුන් නිසාවෙන්ම ඇය දැන් සිටිනුයේ ඉතා ඛේදනීය තත්වයක ය. බොහෝදෙනාට ඇය අමතකව ගොස් ය.
ඇය අන්කවරකුවත් නොව, ධරණීතලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වසා සිටින, මිහිතලයේ හරිත හදවත වූ ඇමේසන් නිවර්තන වැසි වනාන්තරය යි. ඇය පෘථිවියේ ඉතිරිව ඇති වැසි වනාන්තරවලින් අඩක් නියෝජනය කරන අතර ලොව විශාලතම හා වඩාත්ම ජෛව විවිධත්වයකින් යුක්ත නිවර්තන වැසි වනාන්තරය වේ. දකුණු ඇමරිකාවේ ඇමේසන් ද්‍රෝණියේ වර්ග සැතපුම් 2,100,000ක් පුරා පැතිරුනු ඇය, රටවල් නවයකට අයත් භූමි ප්‍රදේශයකට හිමිකම් කියයි.
වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක්, එනම් 60%ක් බ්‍රසීලයටද, 13% ක් පේරු රාජ්‍යට ද, 10%ක් කොලොම්බියාවට ද, ඉතිරිය වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයානා, සුරිනාම් සහ ප්‍රංශ ගයානාව යන රටවල් වල විහිදී ඇත.
ජෛව විවිධත්වයෙන් අනූන මේ මහාර්ඝ වූ පරිසර පද්ධතිය තුළ, ශාක විශේෂ 40,000ක්, පක්ෂි විශේෂ 1,300ක්, මාළු වර්ග 2,200ක්, ක්ෂීරපායින් වර්ග 427ක්, උභය ජීවී විශේෂ 430ක්, උරග විශේෂ 380ක් සහ විවිධ වර්ගයේ කෘමීන් මිලියන 2.5ක් පමණ වාසය කරයි. එය ලෝකයේ හඳුනාගෙන ඇති ජෛව විවිධත්වයෙන් 10% කට රැකවරණය සපයයි. ලෝකයේ ජීවත්වන කුරුලු හා මාළු විශේෂ පහෙන් එකක් ඇමේසන්හි ජීවත් වේ. ඇමේසන් වැසි වනාන්තරයේ ජීවත් වන සමහර සතුන් විවිධාකාර සහ මාරාන්තික ස්වභාවයක් ගනී. රෝස පැහැති ඩොල්ෆින් සහ කොළ පැහැති ඇනකොන්ඩාවන්ගේ සිට විෂ ඩාර්ට් ගෙම්බන්, බුලට් කුහුඹුවන්, විදුලි ආඳන් සහ මස් අනුභව කරන පිරනා දක්වා මෙම වනාන්තරය තුල ජීවත් වේ. මෙම වනාන්තරය තුල ජීවත් වන සත්වයින්ගේ හැකියාවන්ගෙන් මිනිසුන්ව ක්ෂණිකව කම්පනයට පත් කළ හැකි ය.

එපමණක් නොව ඇමේසන් වනය තම නිජබිම කරගත් අමෙරින්ඩියානු ආදිවාසීන් වනාන්තරය තුල ජීවත් වෙති. ඔවුන්ගෙන් වර්ග 50 කට පමණ ඔවුන්ගේම භාෂාවක් හා සංස්කෘතියක් ඇති අතර කිසි විටෙකත් බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පවත්වා නැත. ඔවුන් සංචාරක දඩයම්කරුවන් ය.
එකී නොකී ඇගේ ඇකයේ සිටින සියල්ලගේම පවස නිවන්නේ ඇමේසන් නදිය යි. ඇමේසන් වැසි වනාන්තරය හරහා දිවෙන ඇමේසන් ගඟ, නයිල් ගඟෙන් පසු ලෝකයේ දෙවන දිගම ගංගාවයි. ජල පරිමාව අනුව එය ලොව විශාලතම ගංඟාව වේ. ඇමේසන් ගඟ කිලෝමීටර් 6,840 ක් පුරා දිවෙන ජල මාර්ගයකි. අතු ගංගා 17 ක් ඇති අතර සෑම තත්පරයකම ජලය ගැලුම් මිලියන 55 ක් අත්ලාන්තික් සාගරයට රැගෙන ගොස් මුදාහැරීම සිදුකරයි.

ඇය ධරණියේ හදවත වුවත් ඈ ගැන බෙහෙවින් කතාබහට ලක්වන්නේ පසුගිය වසරේ ඇයට මුහුණපෑමට සිදුවූ ඛේදවාචකය නිසාවෙනි. ඒ ඇමේසන් වැසි වනාන්තරයේ 2019 අගෝස්තු මාසයේ දී දින 20 කට අධික කාලයක් පුරා පැතිරී ගිය ලැව් ගින්න ය. මේ නිසාවෙන් ඇයට මෙන්ම ඇගේ සෙවණේ සිටි බොහෝ සත්ත්ව කොට්ඨාසයන්ට උන්හිටි තැන් අහිමි විය. බොහෝ ගින්නට හසු වූ සත්ත්වයින් උන්හිටි තැනම අඟුරු පිළිම වූයේ ලොවපුරා ජනයාගේ හදවත් ගිනි ගන්වමින් ය. එහෙත් ඒ දිනවල ඇය වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනා, අදත් ඇය සමඟ ඈ වෙනුවෙන් පෙනීසිටින්නේ දැයි යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ මන්දයත් ඒ ඇති වූ වනසංහාරයෙන් ඇය සුව වීමටත් පෙර ඈ නැවතත් රෝගාතුර වීමය.

බොහෝදෙනා ඇයට සිදුවූ මේ හානියේ වරදට ඇඟිල්ල දිගුකරනු ලැබුවේ සොබාදහමටම ය. එහෙත් ඒ ඇඟිල්ල දිගුකළ අතේම අනෙකුත් ඇඟිලි යොමු වී තිබෙන්නේ තමාට බව ඔවුන්ට අමතක විය. මිනිසා මිහිමත බිහිවී ඔවුන්ගේ අණසක පෘථිවිය මත රජ කරන්නට වූ පසුව එතෙක් පෘථිවියේ වාසය කළ සතුන් බොහෝමයකට සමුගැනීමට සිදුවිය. එපමණක් නොව ශාක වර්ග බොහෝමයක් ද මෙලොවින් තුරන් කර දැමීමට මනුසතාගේ අවිධිමත් ක්‍රියාකාරකම් රුකුලක් වී හමාරය. කෙසේ වෙතත් ඉදිරියට එළඹෙන කාල වකවානුව තුළත් මහා විනාශයක පෙර නිමිති පෙන්නුම් කරන බවත්, ඒ හේතුවෙන් ශාක හා සත්ව සංතතියේ මහා වඳවී යාමක් නුදුරු අනාගතයේදීම එළඹෙන බවට බොහෝ පරිසරවේදීහු අනතුරු අඟවති.
ට්‍රාන්ස්-ඇමසෝනියානු අධිවේගී මාර්ගය නිර්මාණය කිරීම සඳහා වන විනාශය හේතුවෙන් ඇමේසන් වනාන්තරයට එහි ප්‍රමාණයෙන් 20% ක් මෑත වසරවල දී අහිමි වී ඇත. වර්තමානයේ ඇමේසන් වනයේ සෑම දිනකම ශාක, සතුන් සහ කෘමීන් විශේෂ 137 ක් පමණ වඳ වී යන්නේ වනාන්තර විනාශය, ගවයන් විශාල වශයෙන් බොවීම හා ගව පාලනය ඇතිවීමත් සමඟ වනාන්තරයේ විශාල කොටසක් මිය ගොස් ඇති නිසාවෙනි. පරිසරවේදීහු අනාවැකි පළ කරන්නේ මෙම ගැටළුව විසඳීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගතහොත් වසර 40 ක් වැනි කෙටි කාලයක් තුළ වැසි වනාන්තරය සම්පූර්ණයෙන්ම ක්ෂය විය හැකි බවයි.
“අපි, ඇමේසන් වනාන්තරයේ ව්‍යසනයකට මුහුණ දී සිටිනවා” යැයි ලෝක වනජීවී අරමුදලේ බ්‍රසීල කාර්යාලයේ විද්‍යාත්මක අධ්‍යක්ෂිකා මරියානා නැපොලිටානෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉකුත් වසරේ ඇමසන් වනයේ සිදු වූ වන විනාශය පෙර වසරවලට වඩා 12%කින් ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මුළු ලොවටම අතිමහත්වූ ව්‍යසනයකට තුඩුදෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමද ඇමේසන් වනය මහත් අපහසුතාවකට පත්කර හමාර ය. විද්‍යාවේදීන් පවසන්නේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ඇය වසර 100ක් වැනි කෙටි කාලයක් තුළ දී මිය යා හැකි බවයි.
කණගාටුවට කරුණ නම්, ඇය වෙනුවෙන් මේ ව්‍යසනය නැවැත්වීමට කිසිවෙකුත් හඬ නොනැගීමයි. ගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් වැඩි ප්‍රමාණයක් උරා සියළු සත්වයින්ට හුස්ම දුන් ඇය, අප වෙනුවෙන් කළ මෙහෙය නම් සුළුපටු නොවේ. ඇය රැකගැනීමට නොහැකි වුවහොත් වර්තමානයේ අප කියා ගන්නා ඇමේසන් වැසි වන මියුලැසිය නුදුරු අනාගතයේදීම අවසන් හුස්ම හෙලා, තණ පිඩක් හෝ නොවැඩෙන මහා කර්කශ කාන්තාරයක් වනු ඇති. “මෙතෙක් කල් සියල්ලන්ම වෙනුවෙන් පෙනී සිටි ඈ රැකගැනීම ලොව බුද්ධිමත් සත්වයාගේ පරම වගකීමක් නොවන්නේ ද?” මිනිසා ද සොබාදහමේ කොටසක් මිස, එහි අයිතිකරුවා ඔහු පමණක්ම නොවන බව අප දත යුතුය. ලොව බුද්ධිමතාට සිතන්නට යමක් ඉතිරි කර ඈ අදටත් සුසුම්ලමින් බලා හිඳින්නී ය. අප තවමත් ප්‍රමාද නැත.
Image sources –
https://pin.it/1l7pias
https://pin.it/4iRRVXa
https://pin.it/53PpOHL
https://pin.it/673pBU2
https://pin.it/2uC226o
https://pin.it/1ftZ4Qx
https://pin.it/qnkwHvD
https://pin.it/3NLGQOb
https://pin.it/6XaIKSr
References –
https://yhoo.it/3eaSXQ5
https://bit.ly/30TtdUy
Leave a Comment