නිසදැස්

ඉතින් මතු බුදුවෙයි ද අපෙ අම්මා ?

බණ කියනා බණ මඩුවේ
කෙළවර ඉඳ
පිරිකරකුත් ගෙන දෑතින්
දරැවන් කෙලෙසින් නිවසේ
උයා පිහා තම කුසගිනි
නිවාගනීදැයි සිතමින්
විපිලිසරව බලා හිඳී අම්මා…

බෝධිය යට වැහි හෙවණේ
පැන් කළයක් අත දරාණ
හෙමි හෙමිහිට පැන් වත්කර
වකුටු ගැසුණු කඳින් යුතුව
පුතුනගෙ පැතුමන් ඉටුවන්නට
පැතුම් පතයි අම්මා…

කඨින දවසේ පන්සල් බිම
පොරකාගෙන පොරකාගෙන
පිරිකරකුත් පූජා කර
පාසැල වෙත හනික දුවයි
මුනුබුරාලා ගෙන එන්නට
පිං ගන්නට පමානොවී අම්මා…

පොහොය දිනයෙ පන්සල වෙත
සිල් ගන්නට යන්න හිතක් ඇතත්
රෙදි සෝදා දරැවන්ගේ
කවා පොවා මුණුබුරන්ට
පොහොය දිනත් ගෙදරට වී
වැඩ කර කර දරැවන්ගේ
දවස පුරා යකඩ කටට සවන් යොමා
කාන්සියෙන් හිඳී
ඉස්සර දවසක සිල් ගත් අම්මා…

බුදුන් ජනිත දඹදිව වෙත
ගිහින් එන්න ආශා ඇතත්
හිත පතුලේ එය සඟවන්
දරැවන්ගේ දියුණුව දක්නට
පැතුම් පතයි
පුදබිම් වෙත පියනගන්න
පැතුමන් ඇති අම්මා…

තම සිතැඟී සඟවාගෙන
සිනහ වෙන්න වෙහෙස ගනියි
අම්මා මතු බුදුවේවා යැයි
ටැටූ ගැසූ දරැවන්ගේ
ජීවන බර අදිමින්
දරැවන් තම හදෙහි දරන්
සැහැල්ලුවෙන් හිනාවෙලා
ඉන්න කැමති අම්මා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හිඟුරක්ගොඩ සුමන තිස්ස පොඩි හාමුදුරුවෝ

පාලි හා බෞද්ධ අධ්‍යයනංශය
පේරදෙණිය විශ්ව විද්‍යාලය

Leave a Comment