Colombo Beacon දැනුම සාමාන්‍ය

ඉතිහාසය අලුත් කළ ශෛලාසනපුර බිසෝවරු

උඩරට රාජධානියේ රජවරුන්ගේ අගබිසව, දෙවන බිසව, අන්තඃපුර අනෙකුත් බිසෝවරුන් රන්දෝලිය, රිදීදෝලිය, යකඩදෝලිය ලෙස ද පිළිවෙලින් හඳුන්වනු ලබයි. බොහෝවිට උඩරට රජවරුන්ගේ බිසෝවරුන් වූයේ නායක්කර් වංශික කාන්තාවන් වූව ද උඩරට සිංහල රදළ කාන්තාවන් මෙන්ම මුස්ලිම් කාන්තාවන්ද මේ අතර දැකගත හැකි වේ. උඩරට ඇසළ පෙරහැරෙහි රන්දෝලි පෙරහැර උඩරට රජුගේ බිසව නියෝජනය කරනු ලබයි. අතීතයේ රජ බිසව මෙම පෙරහැරෙහි ගමන් කර ඇති බව කියැවෙන අතර පසුව බිසව නොමැතිව දෝලාව පමණක් පෙරහැරෙහි ගමන් කොට ඇත.

🔅 දුකින් බර වූ දෝන කතරිනා

මහනුවර රාජධානියේ විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමය සහිත එකම බිසව වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිණයි. කුසුම් අස්ථාන දෝන කතරිනා ලෝකනාථා මහා බිසෝ බණ්ඩාර ඇයගේ සම්පූර්ණ නාමය විය. දොන් පිලිප් කුමරු, පළමුවන විමලධර්මසූරිය රජ, සෙනරත් රජ කුසුමාසන දේවියගේ වල්ලභයන් විය. සිරි සඟබෝ රාජ වංශයට උරුමකම් කියූ කුසුමාසන දේවිය මහඅස්ථාන කුමරු, සූරිය ‍දේවි, සාම දේවී, කුමාරසිංහ හස්තානේ, විජයපාල, දේව අස්ථාන කුමරු යන කුමර කුමරියන්ට මව විය. සුවිශාල රාජ්‍යයක බල අරගලයට මැදි වූ සොඳුරු ස්ත්‍රීත්වයක් ලෙස කුසුමාසන දේවිය විවරණය කිරීමට හැකිය. කරලියද්දේ බණ්ඩාරගේ දියණිය වූ කුසුමාසන කුමරියට පෘතුගීසින්ගේ බල ලෝභීත්වය හමුවේ පරාජය වු කරලියද්දේ බණ්ඩාර මෙන්ම බෑණා වූ යමසිංහ බණ්ඩාරද සමඟ පෘතුගීසීන්ගේ රැකවරණය පතා පලා යාමට සිදු විය. මෙහිදී මොවුන් බෞතීස්ම කරන ලදී. ඒ අනුව, යමසිංහ බණ්ඩාර දොන් පිලිප් ලෙසත්, කුසුමාසන දේවිය දෝන කතරිනා ලෙසත් නම් කරන ලදී. මේ ආකාරයේ පසුබිම් කතා පුවතක් කුසුමාසන දේවිය යටතේ ගොඩ නැගී තිබේ. පෘතුගීසින්ගේ පරගැති රූකඩ පාලකයා වූ යමසිංහ බණ්ඩාර මිය ගිය පසු කොන්පපු බණ්ඩාර උඩරැටියන්ගේ සහය රැගෙන උඩරට රජ විය. පළමුවන විමලධර්මසූරිය නමින් මොහු ඉතිහාසයට එක් විය. මොහුට තිබූ ප්‍රමුඛම ගැටළුවක් වූයේ රාජ්‍යය තුළ උරුමය තහවුරු කර ගැනීමයි. එහිදී කුසුමාසන දේවිය විවාහ කර ගැනීමට මොහු කටයුතු කරන ලදී. රාජධානිය දේශපාලන ආර්ථික සෑම අංශයකින්ම දියුණු කරන පළමුවන විමලධර්මසූරිය රජ 1604 දී දරුණු උණ රෝගයක් වැළඳී ජීවිතයෙන් සමු ගන්නා ලදී. තනි වූ කුසුමාසන දේවිය ඉන්පසු බලයට පැමිණි සෙනරත් රජුගේද අගමෙහෙසිය බවට පත් වන්නට සිදු විය.

🔅 මුතුකුඩය බිසව

දෙවන රාජසිංහ රජු තම අගබිසවගෙන් දරුවෙක් නොලැබූ නිසා රජ කුලයෙන් බැහැර රදළ කාන්තාවක් තම බිසව ලෙස පත් කරගන්නා ලදී. මැය මුතුකුඩේ වලව්වේ කුමාරිහාමියක වූ නිසා මුතුකුඩේ බිසව ලෙස හැඳින් විය. ඇයව බිසවක් ලෙස පත් කර ගත්තේ ඇගේ අසාමාන්‍ය රූපශ්‍රීය හා දක්ෂකම නිසාවෙන් බව කියැවේ. මුතුකුඩය බිසවට දෙවන රාජසිංහ රජුගේ විශේෂ ආදර සැලකිලි හිමි වූ බැවින් රජුගේ අගමෙහෙසිය හා අන්තඃපුරය බිසෝවරු එක්ව මුතුකුඩේ බිසව සහ ඇයගේ පුත් කුමරු දියේ ගිල්වා මරා දැමීමට තැත් දැරූ අවස්ථාවේ ඇය සහ කුමරු දිවි ගලවා ගෙන ඇත්තේ ඉතා අපහසුවෙනි. රජු මියගිය පසු මුතුකුඩේ බිසවගේ පුත් කුමාරයා රජකමට පත් විය. මොහු ලංකාවේ අවසන් සිංහල රජු ලෙසින් හැඳින්වෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ය.

🔅 මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ

මාම්පිටියේ දුග්ගන්නා උන්නාන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝලියකි. රජු අතිශයින් පෙම් කළ යකඩ දෝලිය ඇය බව කියනු ලැබේ. එපමණක් නොවේ. ඇය රජුට දාව පුතුන් දෙදෙනෙකුත් දියණියන් සය දෙනෙකුත් බිහි කළා ය. ඇය කීර්තිමත් මාම්පිටියේ රදළ පෙළපතේ කුමරියකි. ඇගේ පියා සහ සීයා යන දෙදෙනාම දිසාවේවරු වූහ. කීර්ති ශ්‍රී රජුට සිය නායක්කර් බිසොවුන් වෙතින් දරුවන් නොලැබිණි. කෙසේ වූවද නායක්කර් බිසෝවරුන්ට වඩා ඔහුගේ ආදරය දිනා ගත්තේ රූමත්, ගුණවත් මාම්පිටියේ කුමරියයි. එහෙත් රජු ඇගේ දරුවන් රාජ්‍යත්වයට නම් නොකළේ ය. ඒ සඳහා සිය නායක්කර් ඥාතීන්ගේ බලපැම් රජුට හේතු වන්නට ඇත. පසුව ඇගේ පුතකු වූ මාම්පිටියේ බණ්ඩාර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කුළුපග මිතුරෙකුව සිට රජුගේ යකඩ දෝලියකට පෙම් බැන්දේයැයි සැක පිට රජ අණින් මරා දමන ලද්දේ ය.

🔅 වෙන්කත රංගම්මා

මෙරට බිසවක වෙනුවෙන් ඉදි කළ එකම මාළිගය වශයෙන් මැදවාසල වැදගත් වේ. 1798 වසරේ සිට 1815 පෙබරවාරි 18 දා දුම්බර බෝමුරේ දී ඉංග්‍රීසීන්ට අසුවන තෙක් වසර 17 ක් මෙරට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වන්නේ වෙන්කත රංග ජම්මාල් නම් බලබාර් ජාතික බිසවයි. වෙන්කත රංගම්මාල්, වෙන්කත රංගම්මා යන නම් වලින්ද ඇය හඳුන්වා ඇත. ඉංග්‍රීසීන් ඇඳි සිතුවමකට අනුව ඇය රූමත් කාන්තාවක් බව පෙනෙයි. රාජධානියේ මහ රජුගේ අගමෙහෙසිය වුවද මෙරට තුළදී රංගම්මා බිසව ගතකර ඇත්තේ නිදහස ඇහිරුණු හුදෙකලා ජීවිතයක් බව මේ ගොඩනැගිල්ලට පිවිසෙන ඕනෑම අයෙකුට වැටහී යයි. මැද වාසලට ඇතුළු වන උළුවස්ස විශාල දැව කඳන් වලින් තනා ඇත. නමුත් දොර පියන ඉතා කුඩා ය. චන්ද්‍රවංකය සහිතව නිමවා ඇති දොර සඳහා ලෝහ සරනේරු භාවිතා කර නැත. උඩරට බොහෝ ගොඩනැගිලි මෙන් දොර උළුවස්සට සවිකර ඇත්තේ ද දැව සරනේරුවලින්ම ය. මෙම දොරටුව නිර්මාණය කර ඇත්තේ එය ඇතුළතින් පමණක් අගුළු දැමිය හැකි පරිදිය.

Content – Ilanka Laksiri
Design – Janani Kithmini

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Madhushi Ilanka Laksiri

පළමු වසර

Leave a Comment