සප්ත ස්වර ගී සුයාමයක හඬ පෞරුෂය වූයේ ඔහු ය.
භාරතීය ගී සරසවිය තුළ යුගයක් තැනුවේ ඔහු ය.
KK ලෙසින් නම් දැරූ ප්‍රචලිත නාම මාත්‍රය ඔහු ය.
ඒ අන් කවරකුත් නොව, භාරතීය ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් ය.
වර්ෂ 1968 අගෝස්තු මස 23 වනදා C.S. මෙනෝන් සහ කුන්නාත් කනකවාලී මව්පියන්ට දාව නවදිල්ලියේ දී උපත ලද ක්‍රිෂ්ණකුමාර් කුන්නාත්, භාරතය පුරා ප්‍රචලිත වූයේ චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස යි.
ගායකයකු ලෙස අතිශය ජනප්‍රිය නාමයක් දරා උන් මොහු සිය ගීත සරසවිය වෙත දායාද කල හින්දි, දමිළ, මලයාල,තෙළිඟු, මාර්ධි, බෙංගාලි මෙන්ම ගුජරාට ඇතුළු විවිධ භාෂා ඇසුරින් රසගැන් වූ ගී නිර්මාණ බොහෝමයකි. ඒ අතර දෙස් විදෙස් සංගීත ලෝලින්ගේ රසාලිප්ත හද උන්මාද කළ ගී නිර්මාණ ලෙස “Tu Jo Mila, Aankhon Mein Teri, Zindagi Do Pal Ki, Khuda Jaane, Dil Kyo Ye Mera, Ding Dong Dole, Tuhi Meri Shab Hai, Tadap Tadap Ke” යන ගී නිර්මාණ ද රසික දෙතොලෙහි මුමුණනා බැව් නම් නොරහසකි.
නවදිල්ලි යේ සාන්ත මේරි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ක්‍රිෂ්ණකුමාර් කිරෝරීමල් විද්‍යාලයෙ හි උපාධීදරයෙක් ද වෙයි. වර්ෂ 1991 දී ජෝතී නම් කාන්තාවක සමඟ විවාහ දිවියට එළඹෙන මොහු දියණියකගේ මෙන්ම පුතනුවකගේ ද ආදරබර පියෙකි.
AR රහුමාන් හඬපටයක් ඔස්සේ සිනමා ගායනයට පිවිසි ක්‍රිෂ්ණකුමාර් විවිධ සම්මාන සඳහා නිර්දේශ වීම් මෙන්ම සම්මාන ලාභියකු ලෙස අභිසෙස් වන්නට තරම්ම වාසනාවන්ත විය. ඒ අතර හොඳම දමිළ භාෂා පසුබිම් ගායකයා ලෙස Hub නම් සම්මානය ද, හොඳම පිරිමි පසුබිම් ගායනය සඳහා වූ දකුණු කන්න ද සිනමා සම්මානය ද, මලයාලම් ගීත උදෙසා වූ Eenam-Swaralaya Singer of the Year සම්මානය ද ඔහුගේ වූ ප්‍රතිභාපූර්ණ ගායන හැකියාව මනාවට විද්‍යාමාන කරයි. හින්දි චිත්‍රපට ක්‍ෂේත්‍රයේ, Bachna Ae Haseeno චිත්‍රපටයේ Khuda Jaane සඳහා වූ ඔහුගේ ගායනය සඳහා හොඳම පසුබිම් ගායකයා සම්මානය දිනා ගත් අතර විවිධ ගීත සඳහා ඔහු, පිරිමි හොඳම පසුබිම් ගායකයා ලෙස නම් ලබා ඇත්තේ ය.
ගායකයකු යනු, මුවින් දැකිය යුතු චරිතයක් නොවන බවත් ගායකයාට ඇහුම්කම් දීම පමණක් ප්‍රමාණවත් බවත් වරෙක ක්‍රිෂ්ණකුමාර් පවසා ඇත්තේ සම්මාන ලැබීම ද නොලැබීම ද තමන්ගේ ගායන දිවියෙහි සන්ධිස්ථාන ලෙස නොදකින චරිතයක් ලෙස සිය හඩින් කළ හැකි උපරිමය ක්ෂේත්‍රයට දායාද කළ උතුම් මිනිසකු නිසාවෙන්ම ය.
ලියන්නකු මෙන්ම සංචාරකයකු ලෙස ද සිය විවේක කාලය ගත කළ මානව හිතවාදියකු වූ ක්‍රිෂ්ණකුමාර් සිය දිවියේ අවසන් නිමේෂය ද සංගීතය උදෙසාම කැප කළ ගායකයකු වූයේ ඒ වෙත ඔහුගේ වූ ලැදියාවේ යදම තවත් බැඳ තබමිනි. ප්‍රසංගයක් නිම කර නාවාතැන් ගතව සිටි ඔහු හදිසි හෘදයාබාදයකින් මෙලොව හැර දා යන්නේ සුවහසක් KK නාමයට පෙම් බැඳි රසික තෙත් කඳුළට බර කරවමිනි. 53 වසරක් තරම් වූ කුඩා වියක සිය දිවිය මහපොළව මත ශේෂ කරන්නට ඔහු කිසිදා නොසිතන්නට ඇත. භාරතීය ගී යුග පුරුක වූ ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් ගායකයාණනි, ඔබට සුබ ගමන්!
Images Link :
Leave a Comment