ඉන්දුනීසියාවෙන් මෙරටට සංක්‍රමණය වූ රජ පෙළපතකින් පැවත එන සංගීතමය පවුලකින් බිහිව, සප්ත ස්වරයෙන් මිහිර මවා ලාංකේය සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගනිමින් වර්තමාන ලාංකේය සංගීතයේ ස්වකීය රාජධානිය ගොඩ නගා ගත් දැවැන්ත කාන්තා හඬ පෞරුෂය වූ ඇය, නමින් උමාරියා සිංහවංශ ය.
සංගීතමය කලාකරුවන් දෙදෙනෙකු වන ටෝනි සිංහවංශ සහ අයේෂා සිංහවංශ දෙපළට දාව 1991 ජනවාරි 05 දින උපත ලබන උමාරියා සිංහවංශට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සිටින අතර ලාංකේය සංගීතයේ තවත් නොමැකෙන චරිතයක් වන උමාරා සිංහවංශ ඇගේ සෙවනැල්ල බඳු වූ සහෝදරිය වේ.
කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සහ ග්‍රේට්වේ අන්තර්ජාතික පාසලෙ හි තම පාසල් අධ්‍යාපනය හැදෑරූ ඇය, තම සංගීත දිවිය ආරම්භ කරනුයේ ද පාසල් වියේ දී ම ය. වයස අවුරුදු 11 දී පමණ සිට තම සහෝදරිය වූ උමාරා සිංහවංශ සමඟ තම ගායන දක්ෂතා එළිදක්වන ඇය තම සහෝදරිය සමඟ ම ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ශ්‍රී ශ්‍යාමලංගන් සමඟ මුල් කාලීනව සංගීත වැඩ කටයුතු සිදු කරන අතර, ඒ හරහා ඔවුන් මෙරට සංගීතයේ දැවැන්ත සලකුණක් වන භාතිය-සන්තුෂ් යුගලය මුණගැසීම සිදු වන ලදී. එය උමාරියා සිංහවංශගේ ගායන දිවියේ එක් හැරවුම් ලක්ෂයක් ද වන අතර ම ඔවුන්ගේ සුසංයෝගයෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ කලා නිර්මාණ කිහිපයක් ම ඒ හරහා බිහි විය.
ඒ අනුව 2007 වසරේ එළිදැක්වු ‘ආසයි මන් පියාඹන්න’ චිත්‍රපටය වෙනුවෙන් භාතිය-සන්තුෂ් සමඟින් ගායනා කළ ‘පැතූ පෙම් පැතුම් මල්’ ගීතය වඩාත් ජනප්‍රිය වූ අතර එය ඇගේ ගායන දිවියේ හැරවුම් ලක්ෂයක් ද විය. 2007 වසරේ දී සරසවිය සම්මාන උළෙලේ දී හොඳම පසුබිම් ගායිකාව සඳහා නිර්දේශ වූ ලාබාලතම ගායිකාව බවට ද ඇය පත් විය. අනතුරුව ‘රෝස කැලේ’ චිත්‍රපටය සඳහා ඇය ගායනා කළ ‘ගුම් නාදේ’ ගීතය ද වඩාත් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.
මෙයින් අනතුරුව ඇයට වයස 19 ක් වන විට චීනයේ බීජින් හි පැවති ‘Pan Asia Music Festival’ 2010 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ඇය එහි අවසන් පූර්ව තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. ඇයට අනුව එය ඇයගේ ජීවිතයේ වැදගත් හැරවුම් ලක්ෂයක් විය.
“මට පුංචි කාලේ සංගීතය කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. මං පුංචි කාලේ ගොඩක් කන්න ආස ළමයෙක්. ඒ නිසා හෝටේලියර් කෙනෙක් වෙන්න තමා ඕන වුණේ…
ඒත් චීනයේ බීජින් හි පැවත් වුණු ගායන තරගයේ සෙමි ෆයිනල් ගෝල්ඩ් මෙඩල් එක උමාරියා කියද්දි මට හිතුණා මට මොකක් හරි දක්ෂතාවක් තියනව කියලා. ඊට පෙර ‘පැතු පෙම් පැතුම්’ වැනි සිංදු ගායනා කරල තිබ්බත්, එතනින් තමා මං සංගීතය කරන්න ඕන කියන විශ්වාසය ගොඩ නැගුණේ…”
ඇය පවසන පරිදි කුඩා කල තම පෙනුම හේතුවෙන් තමන්ව සමාජය විසින් කළ අධෛර්යමත් කිරීම “සංගීතය” තම අනාගතය ලෙස තෝරා ගැනීම වැළැක් වීමට හේතු වූ නමුත් මෙම ජයග්‍රහණය ඇයව තම ජීවිතයේ නියම අරමුණ කරා යොමු කරවන ලදී.
එයින් පසුව ඇයට තුර්කියේ පැවති අන්තර්ජාතික ගායන තරගයකට ආරාධනා ලැබෙන අතර ඇය එහි එකම ආසියානු නියෝජනය ද විය. එමෙන්ම එහි දී ද ඇයට ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිණි.
ඒ අනුව මුලින්ම ජීවිතයේ ඉතා ලාබාල අවධියේ දී ම අන්තර්ජාතික වේදිකාව ජයගනිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව ඇරඹුණු තම සංගීත ගමන් මග මේ දක්වා ඉතා සාර්ථකව ඇය පැමිණ ඇත. පසුව තම සහෝදරිය සමඟ යුක්‍රේනයේ පැවති ගායන තරගයකට ද සහභාගී වී එහිද තුන් වන ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් විය.
ඇය ජීවිතයේ තරුණ වියේ දී ම ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පීන් වන ආශා බෝස්ලේ(Asha Bhosle), ශන්කර් මහදේවන් (Shankar Mahadevan) වැනි දැවැන්ත චරිත මෙන්ම ලංකාවේ දැවැන්ත සහ ප්‍රවීණ ගායන ශිල්පීන් සමඟ ඇසුරු කිරීමට, කලා නිර්මාණ කිරීමට වාසනාව හිමි කරගන්නා ලදී.
ලංකාවේ මහා ගාන්ධර්වයාණෝ වන පණ්ඩිත් අමරදේවයන් තම නිර්මාණයක් සඳහා එතුමන් සමඟ ගායනා කිරීමට යම් ගායිකාවක් තෝරාගන්නා ලද නම් ඇය බොහෝ දක්ෂ ගායිකාවක් වන බව මෙන්ම අතිශයින්ම වාසනාවන්ත බව නොරහසකි.
එකී වාසනාව ලත් උමාරියා සිංහවංශ මෑතකාලීනව ලාංකේය සංගීතයේ බහුලවම කතාබහට ලක් වූ, අතිශය ජනප්‍රිය ගීතයක් වූ ‘හන්තාන සිහිනේ’ ගීතය පණ්ඩිත් අමරදේවයන් සමඟ ගායනා කිරීමේ භාග්‍ය උදා කරගන්නා ලදී.
“ඒ වගේ දැවැන්ත චරිතවලින් අපිට ඉගෙන ගන්න තියන දේවල් බොහොමයි.
ආෂා බෝස්ලේ මහත්මිය මට කිව්ව දෙයක් තමයි අපි වයසට යද්දි අපෙ ගායන පරාසය අඩු වෙනවා. ඒ නිසා අපි නිතර පුහුණු විය යුතුයි. එය අතරමග නැවැත් වීම නොකළ යුතුයි කියලා…”
“ඒ වගේම වර්තමානයේ තාක්ෂණය එක්ක අපිට ගායනයක අඩුපාඩු හදන්න පුලුවන්. හැබැයි හන්තාන සිහිනේ ගීතය පටිගත කළ මොහොතෙ අමරදේව මාස්ටර් අසනීපයෙන් හිටියත් එතුමාම ස්වරයෙන් ස්වරයට ගීතයේ ඔක්කොම ගායනා කළා. ඒ වගේ දේවල් වලින් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා.”
“දැන් මිනිස්සු ගොඩක් හොයන්නෙ ශෝර්ට්කට්. ඒත් කෙටි මාර්ගයකින් නොයා අපි නිවැරැදි දිගු මාර්ගයෙන් යම් දෙයක් කළොත් අපිට ඒ වැඩේ දී අපි අසාර්ථකවෙන තැන් , අපි හදාගන්න ඕන තැන් අපිට අවබෝධ කරගන්න පුලුවන්. කෙටි මාර්ගයක ප්‍රතිඵල කෙටි කාලයයි. නමුත් අපිට ඕන දිගු කාලීන ප්‍රතිඵල. ඒ නිසා මං දෙන උපදෙස ශෝර්ට්කට් භාවිතා කරන්න එපා.”
“සමහරු අහනවා මන් කෙට්ටු වුණේ බෙහෙත් බීල ද කියල. නැ මං බෙහෙත් බිව්වේ නෑ. මං ව්‍යායාම් කරලා තමා ඒ ප්‍රතිඵල ගත්තෙ.”
වර්තමාන තරුණ පරපුර පහසුව උදෙසා නිතර කෙටි මාර්ග තම වැඩකටයුතු උදෙසා භාවිතා කරයි. නමුත් එය කොතරම් ප්‍රතිඵලදායක ද යන්න එහි ප්‍රතිඵලයන්ගේ ආයුකාලයත් සමඟ අවබෝධ කර ගත හැක. ගායන ක්ෂේත්‍රයේ පවා නිතර දැකිය හැකි දෙයක් වනුයේ එක් නිර්මාණයක් එළිදක්වා එය ජනප්‍රිය වීමෙන් පසු එයින් එහාට වඩාත් හොඳ නව නිර්මාණයක් කිරීමේ උවමනාවක් නොවීමයි. ඒ තුළ එම නිර්මාණකරුට හෝ නිර්මාණයට පැවත්මක් නොමැති වී යයි.
නමුත් උමාරියා සිංහවංශ ආරම්භයේ සිට මේ දක්වා ම විවිධ හැඩතලවල විවිධ නිර්මාණ කරමින් එදාටත් වඩා වර්තමානයේ රසික හදවත්වල ඇගේ නම සනිටුහන් කිරීමට සමත්ව ඇත. ‘දෙනුවන් පියා, කුමුදුනියා, සඳක් ලෙසින් පායා, අරලියා, මලක් නොවේ, ආයාචනා, යුධ ගිනි දුමාරය, රතු එළි’ වැනි ඉතා මිහිරි සහ වෙනස් ආකාරයේ නිර්මාණ මෙන් ම ‘පැතු පෙම් පැතුම්, ගුම් නාදෙ, සරාගී ඇසිල්ලේ, හිරු මල් කිනිත්තක් දරා’ වැනි භාතිය-සන්තුෂ්, රුවන් හෙට්ටිආරච්චි වැනි ගායකයින් සමඟ ගායනා කළ ඉතාමත් ජනප්‍රිය වූ ගීත ඇගේ ගීත එකතුවෙහි ඇත.
සංගීතයේ වැට කඩුලු, පවුරු ප්‍රාකාර බිඳ දමා ජනප්‍රිය වෙමින් youtube නැරඹුම් වාර මිලියන විස්සත් ඉක්මවා වාර්තා අතරට එක් වූ ගීතයක් වූ ‘මන්ද පමා’ ගීතය මෑතකාලීනව ප්‍රේක්ෂක සිත් පැහැරගත් ඇයගේ වඩාත් නිර්මාණශීලී ගායනයක් සහ රංගනයක් විය. එමෙන්ම 2021 SLIM Nielsen Awards හී “වසරේ ගීතය” සඳහා වූ සම්මානය උමාරියාගේ ‘මන්ද පමා’ ගීතයට හිමි විය.
තම අරමුණු ළඟා කර ගැනීම වෙනුවෙන් පැහැදිලි දැක්මක් සහ සැලසුමක් සහිතව ක්‍රියා කරන ඇය, අද දවස තුළ තමන් අවසන් කළ යුතු, ළඟා කරගත යුතු වැඩ කොටස ලැයිස්තු ගත කරන බව පවසයි.
“මං පුංචි කාලෙ ඉඳන් ම කරන්න ඕන ඒව කොලේක ලිව්ව. මන් අදටත් කරන්න ඕන වැඩ ටික ලියන්න වයිට් බෝර්ඩ් එකක් තියාගෙන ඉන්නෙ.”
කාර්යබහුල ජීවිතේ නිසි සැලැස්මක් සහිතව ගත කරන, ධනාත්මක චින්තනය කෙරේ විශ්වාසය තබන තවමත් තරුණ වියේ පසුවන ඇය වර්තමාන තාරුණ්‍යයට නිසැකවම ආදර්ශයකි. ගීතයෙන් රසික හදවත් සුවපත් කරන්නට ඇයට ඇති හැකියාව නොරහසකි.
නමුත් ඇය ගැන කරුණු සොයමින් ඇගේ කතාවලට සවන් දුන් මා හට හැඟී ගියේ ඇය ගායනයට, නර්තනයට, රංගනයට මෙන්ම උපදේශනයට ද එක හා දක්ෂ බවයි. වඩාත් වැදගත් වනුයේ උපදේශයට සීමා නොවූ ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ක්‍රියාවට නංවා පෙන්වා දීමයි.
“මට O/L වලට A 10 ක් ගන්න ඕන වුණේ නැ. මගෙ අරමුණ වුණේ හොඳින් O/L සමත් වෙන එක. මං ඒක කළා. ඊට පස්සෙ මට අවුරුදු 18 වෙද්දි රියදුරු බලපත්‍රයක් ගන්න ඕන වුණා. මං ඒක ඒ වෙද්දි කළා. අවුරුදු 21 වෙද්දි මගේ ම වාහනයක් ගන්න මට අරමුණක් තිබ්බා. මං ඒ වෙද්දි කොහොම හරි සල්ලි එකතු කරලා වාහනයක් ගත්තා.”
තමන් දකින අරමුණ සිහිනයක් වන්නට නොදී පියවරෙන් පියවර යථාර්ථයක් කර ගැනීමට ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන ඇය මෙතරම් ලාබාල අවදියක දී ම සාර්ථක වීම අරුමයක් නොවනු ඇත.
තවදුරටත් ඇගේ කැපකිරීම වටහා ගත හැකි මනා නිදසුනක් නම් ඇය වරක් රූපවාහිනී වැඩසටහනක දී පැවසුව පරිදි “රැඟුම” නම් ගීතයෙහි රූප රචනයෙ හි ආරම්භයේ දී ඇය කරන අපූරු වික්‍රමය සිදු කිරීම උදෙසාම මාස දෙකක පමණ කාලයක් ඇය පුහුණු වූ බවය.
කාන්තා හා ළමා අයිතිවාසිකම් කෙරේ බොහෝ අදහස් දක්වන ඇය ඒ වෙනුවෙන් “one promise” නමින් ෆේස්බුක් පිටුවක් පවා නිර්මාණය කර ඇත.
බොහෝ අය උත්සව පවත්වමින් සමරන උපන් දිනය පවා ඇය ගිය වසරේ සැමරුවේ කුඩා දරුවන්ගේ මුවඟට සිනාවක් ගෙනෙමින් ගැහැණු ළමුන් සඳහා විශේෂ වූ පාසලක් සහ නිවාසයක් සඳහා ආධාර කරමින්ය.
ගායනයට පමණක් සීමා නොවූ උමාරියා සිංහවංශ “හිරු මෙගා ස්ටාර්” වැනි රියැලිටි වැඩසටහන් හරහා ද තම ගායන හැකියාව මෙන්ම අති විශිෂ්ට වූ තම රංගන කුසලතා මැනවින් එළිදක්වන ලදී.
එමෙන්ම සිරස නාළිකාවෙහි විකාශනය වූ දිවයිනේ අතිදැවැන්ත පුහුණුකරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ “The Voice Sri Lanka 2021” තරගයේ ජයග්‍රාහී පුහුණුකරු බවට පත් වෙමින් උමාරියා සිංහවංශ තම හැකියාව තවදුරටත් තහවුරු කරන ලදී. එමෙන්ම එහි දී මවක තම දරුවෙකුගේ ජයග්‍රහණයේ දී සතුටු වන්නාක් මෙන් තම ශිෂ්‍යාගේ ජයග්‍රහණය දැක අතිශයින් සතුටු වූ උමාරියා සිංහවංශ තමන් ආදරණීය පුහුණුකරුවෙකු බව ලොවට පසක් කරන ලද්දාක් මෙන්ම තරගය පුරාවටම ඉතා නිහතමානී චරිත ලක්ෂණ ද ඇයගෙන් පිළිඹිබු විය.
ලාංකේය සංගීතය ජාත්‍යන්තරයට රැගෙන යාම උදෙසා සිහින දකින, ඒ සඳහා කැපවෙන ගායන තරු කිහිපදෙනෙකු ම ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ දැකිය හැකිය. ඒ අතරින් මුලින්ම ජාත්‍යන්තර වේදිකාව ජය ගෙන ම ලාංකේය සංගීතයට විශ්වාසයෙන් යුතුව පා තබන උමාරියා සිංහවංශ ද ජාත්‍යන්තරය තුළ තම නිර්මාණයක් ඔසවා තැබීමේ අරමුණෙන් ක්‍රියා කරයි. එකී සිහිනය යථාර්ථයක් ම වී ඇයගේ නිර්මාණයක් ලෝකවාසීන් පවා ආදරයෙන් වැළඳ ගන්නා දිනයක් එන තුරු අප ද ආදරයෙන් බලාපොරොත්තු දල්වා සිටින්නෙමු.
මුල් අවදියේ පටන් වර්තමානය දක්වාම සමාජයේ, ජීවිතේ විවිධ හැළහැප්පීම් වලට ලක් වෙමින් ඒවා සියල්ල අභිබවා තම උත්සහයෙන් ඉතා ලාබාල අවදියේ දී ම බොහෝ සාර්ථක ගමනක් පැමිණ ලාංකේය සංගීතයේ නොමැකෙන සටහනක් තබා ජාත්‍යන්තරයටත් ලාංකේය සංගීතය ගෙන යාමේ පරම අරමුණ වෙනුවෙන් කැපවෙන අපේ කාලයේ ගායිකාවක් වූ උමාරියා සිංහවංශ නම් වූ ආදරණීය චරිතයට තම තිස් එක් වන ජන්ම දිනය සමරන අද දිනයේ ඇයගේ සියලු සුබ ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ උපන් දිනයකට colombo Beacon අපි මෙලෙස සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
Design by : Shanaka Vishwantha
References :
- https://bit.ly/31pNtj5
- https://bit.ly/3HG455P
- https://bit.ly/3pX2VMY
- https://bit.ly/3sZh4vi
- https://bit.ly/3HB2vlt
- https://bit.ly/3mYqW4r
- https://bit.ly/3eTsBDX
Images :
Leave a Comment