සසල සිතුවිලි දිගේ ඔබ මොබ
දිවෙන සුසුමක රිද්මයද එය
රිදුම් පිරිමැද ඇසෙන නද මැද
හැඬුම් තනුවක් නැගෙයි තැතිගෙන
ගලන ඔබගේ කඳුලුවල බර
නොහැක වාවනු තවත් අම්මේ………
මන්දබුද්ධික පුතෙක් ලෙස හෙට
ලොවට උපදා ඵලක් නැති කොට
පමා නොගෙනම අද හෙටම මා
මරන්නට අණ දුන්නෙ දොස්තර
උගත්කම යට සින්න වත්කම
මිනිස්කම බව පසක් කරලද අම්මේ…….
ඉරූ කිරිවල රසය නොදැනුන
මිනිස් හැඟුමක අගය නොහැගෙන
උන්ගෙ ලේවල කිලිටි පුසුබට
කෙමෙන් මුසුකර හිස් වචන පෙල
ලොව කියන විට මා මරන ලෙස
මටත් ඉහිලුම් නෑනෙ අම්මේ………
ඔබගෙ උකුලත තුරුල් වන්නට
පෙරුම් පිරුවත් පෙර භවයෙ සිට
කුමන හෝ පව් කරන්නට ඇත
කුසයෙ පමණක් ලැඟුම් ගන්නට
කුමක් කරමුද ඉතින් ඔබ මම
අසරණව පටු ලොවේ අම්මේ………

දිරන සතුටක් වටේ ලුහුබැඳ
මහා සුවිසල් ධනය රැස් කර
මිනිස් හැඟුමන් සදා වලලන
කුරිරු මේ ලොව ඉපිද කුමටද
ඔබව තනිකර මියෙනු මිස මට
වෙනත් කිසිවට දුකක් නෑ අම්මේ……..
ඉවෙන් මෙන් දැන් දැනෙනවා මට
ඔබව අතහැර යන්න වන බව
පෙකනි වැලකින් වෙන් කරනු බැරි
සදා බැඳුමන් මරනු නොහැකිය
වැඩිත් ආයුෂ නැතත් ඔබ මදහස
ටිකක් පෙන්වනු යන්න පෙර මට
මගේ සුදු අම්මේ…….
Leave a Comment