Interview

ඉවාන් පවුළුෂා නිර්මාණයේ දැවැන්තයින් සමඟ කළ සොඳුරු කතබාහ…

මේ ඉවාන් පාවුලුශා ගීතයේ ගේය පද රචක චාරුක සුරවීර මහතා, සංගීත අධ්‍යක්ෂණය කල ප්‍රියන්ත ඩිරෙක්ස් මහතා හා එහි මියුරු හඬ සුගායනය කල අප්සරා ඩී සිල්වා මහත්මිය සමඟ “Colombo Beacon“සිදු කල සොඳුරු කතාබහයි.

“ඉවාන් පවුළුශා” ගීතය ගැන කතා කරන්න මත්තෙන් අපි කතා කලේ ඔවුන්ගේ ජීවන පසුබිම ගැනයි.

-මම ප්‍රියන්ත ඩිරෙක්ස්.මම කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබුවේ.කැම්පස් ආවේ අසූ හයේ අවුරුද්දේ වුනාට කැම්පස් එකින් අවුට් වුනේ අනූ දෙකේ අවුරුද්දේ.හේතුව කවුරුත් දන්න අසූව දශකයේ අග භාගයේ ලංකාවේ සමාජ දේශපාලන තත්වය.දැන් ඉතින් මම ඔයාලගේ මාර්ශල් සර් නේ(සිනාසෙයි).හ්ම්ම්ම්..මගේ විශ්ව විද්‍යාල ජීවිතේ සමකාලීනයෝ මතක් කලොත් හරිත් ගුණවර්ධන, ප්‍රභාත් ජයසිංහ,ලියනගේ අමරකීර්ති,විපුලි හෙට්ටිආරච්චි,සර්ණ ගුණවර්ධන,ලලිත් වික්‍රමරත්න,තිබිරියාගම බණ්ඩාර,උදයසිරි වික්‍රමරත්න.ඔය තමයි මගේ කැම්පස් සගයන්ගේ දැවැන්තයෝ.ඒ අතර මම පුංචි මනුස්සයෙක් .

-මගේ නම චාරුක සුරවීර.මම ඉතින් බැඳලා ලමයි ඉන්නවා දැන්.ලමයිත් ලොකු යි.(සිනාසෙයි).වැඩ කරන්නේ ශ්‍රී FM රේඩියෝවේ.මමත් කොලඹ විශ්ව විද්‍යාලයේම ශාස්ත්‍ර පීඨයේ.මගේ කැම්පස් ජීවිතයේ සමකාලීනයෝ තමයි අරුණ ප්‍රේමරත්න,අජන්තා සියඹලාගොඩ,ඉමාලි මාකුඹුර,අකිල විරාජ් ඇමතිතුමා,නියෝජ්‍ය පොලිස්පති රාජිත දමින්ද ජනාධිපති ආරක්ශක අංශයේ ප්‍රධානියා එහෙම.

-මම අප්සරා ඩී සිල්වා.මමත් කොලඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ. ප්‍රියන්ත අයියා කිව්වා වගේ ඒ කාලේ සමාජ තත්වය නිසා මමත් කැම්පස් ආවේ අනූ එකේ අවුරුද්දේ වුනාට කැම්පස් එකින් එලියට එන්න දෙදාහේ අවුරුද්දේ.දැන් ඉතින් දරුවෝ දෙන්නයි මහත්තයයි එක්ක කුවේට් වල තමා ජීවත් වෙන්නේ.

මී ලඟට අපි කතා කලේ එදා මෙදා තුර ඉතිහාසයේ එක ලෙස ජනප්‍රිය “ඉවාන් පවුලුශා” ගීතය පිලිබඳවයි.

1.ඉවාන් පාවුලුශා ගීතය රචනා වෙන්නේ රුසියන් නව කතාවක් ආශ්‍රයෙන් ද?

නෑ…මෙහෙමයි ,අපිට ඒ දවස්වල රුසියන් ජිප්සීස්ලා ගැන සිංහලින් ගීතයක් ලියන්න ඕනකම තිබුනා.කැම්පස් එකේ සෝවියට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තිබුනා. ඒකේ”ජිප්සි කැම්ප් වැනිෂශ් ඉන් ටු ද බ්ලූ” කියන චිත්‍රපටය පෙන්නුවා.ඒ චිත්‍රපටිය හැදුවේ ගෝර්කි ගේ “මකාර් චුද්‍රා” කෙටි කතාවෙන්.අපි ඒ පොතත් කියවලා තිබුණා.ඊට පස්සේ රුසියන් නව කතා පොත් ගොඩක් කියවලා චාරුක තමා සිංදුව ලිව්වේ.
මුලින් ම විනාඩි විස්සක් විතර කියන්න පුලුවන්  දිග සිංදුවක් චාරුක ලියාගෙන ආවා.(සිනාසෙයි) පස්සේ ඉතින් පද පේලි උඩ යට මාරු කරලා, වෙනස් කරලා විනාඩි පහේ සිංදුවක් කරගත්තා.ඔය ගීතයට ටිකක් සමානව සිංහලින් තියන එකම ගීතය “තවලම ” චිත්‍ර පටියේ “පෙම්බර ස්වාමි” ගීතය.ඔහොම තමයි “ඉවාන් පාවුලුශා ” ගීතය සඳහා අපට අදහසක් එන්නේ.

 

2.”ඉවාන් පාවුලුශා” ගීතයේ නිර්මාණ කටයුතු කල ආකාරය ගැන කතා කරන්න කැමතියි.

මේ ගීතයට අපි බලාපොරොත්තු වුනේ ජිප්සීස් මියුසික් එකක්. (අහිගුණ්ඨික ජන සංගීතය) .එකෝඩියන් එකයි , වයලීන් එකයි හැර අනිත් ඔක්කොම සංගීත භාණ්ඩ වාදනය කලේ අපේ කැම්පස් එකේ ලමයි.ඊට පස්සේ ඒ දවස් වල නීති පීඨයේ කලා උළලේ හොඳම ගායිකාව වුනු අප්සරා ඩී සිල්වා අපි මේ ගීතය ගායනා කරන්න තෝරගත්තා. ගීතය රෙකෝඩ් කලේ බොරැල්ලේ බිශොප් පැලස් එකේ.ඒ දවස්වල කැලණිය කැම්පස් එකේ ඉගෙන ගත්ත සෙනේශ් ජාතික රූපවාහිනියේ වැඩසටහනක් කලා “යාත්‍රා” කියලා.සෙනේශ් ව හමුවුනා අපේ පීච්චම ළඟ තෙල් බැම්මේ දී.දැන් ඔය කැෆටේරියා,කැන්ටිම් කියලා පොශ් නම් තිබුනට ඉස්සර කිව්වේ පීච්චම කියලා.(සිනාවෙයි).සෙනේශ් කිව්වා අපි හරියට ගීතය කලොත් ඒක රූපවාහිනියේ එයාගේ වැඩසටහනට ගන්නවා කියලා.සෙනේශ්ලා තමයි ගීතයේ රූප රචනය ඒහෙම කලේ.අපිත් ඉතින් ගියා  නුවර එලියේ රඟපාන්න.විනාඩි පහේ ගීතයට මුලු දවසක් ම රඟපෑවා.අප්සරා ගීතයට ඕන කල විදියේ ජිප්සීස් නැටුම්  ඉගෙන ගන්න රුසියන් බැලේ ඩාන්ස් ගැන ඒ දවස් වල හොඳට ඉගෙන ගෙන හිටිය රුවිනීතා සුබසිංහ පෙරේරා ගාවටත් ගියා.

3.”ඉවාන් පාවුලුශා” ගීතයෙන් ඉස්මතු කරන කතාව මොකද්ද?

ගීතයක් ඕනම විදියට ඕනම කෙනෙක්ට රස විඳින්න පුලුවන්.ඒ සඳහා බලපාන්නේ රසිකායගේ ගීතය රස විඳීමේ හැකියාවේ ප්‍රමාණය.මේ ගීතයෙන් කියන්නේත් නිදහස් ජීවිතයක් ගතකරන්න කැමැති අහිගුණ්ඨික තරුණියක් ඒ ජීවීතය බෙදාගන්න තවත් අහිගුණ්ඨික තරුණයෙක්ට කරන ප්‍රේමනීය ආරාධනාවක් වගේ එකක්.මෙහෙමයි රසිකයෙක්ට තමන්ට චිත්‍ර රූප මැවෙන විදියට මේ ගීතය ගැන අපි හිතන්නේම නැති දෙයක් දැනෙන්න පුලුවන්.ඒක පුද්ගලබද්ධයි.

4.”ඉවාන් පාවුලුශා ” ගීතයේ සංගීතය ගැන කතා කරමුද?

අහිගුණ්ඨිකයෝ නැත්නම් ජිප්සීස්ලා නිර්මාණය වෙන්නේ ඉන්දියාවෙන්.ඊට පස්සේ ඒ අය යුරෝපයටත් ,පෙරදිග අනිත් රටවලටත් සංක්‍රමණය වුනාලු.ඒ  හේතුව නිසා එයාලා ලඟ තියන සංගීතයටත් හින්දුස්තානී රාගධාරී සංගී‍තයේ ආභාෂය තියනවා.අපි අදාල විදියට රුසියානු ජිප්සීස් සංගීතය තනුවට යොදාගත්තා අපේ ක්‍රමයට.

5. අසූ අට අග භාගයේ ඉදලා අනූව දශකයේ මුල් භාගය කියන්නේ විප්ලවීය මතවාද නිසා කැරලිකාරයෝ, විප්ලවකාරයෝ කියලා හංවඩු ගැහුණු වයස පරතරය වැඩි සිසුන් කැම්පස් එකේ හිටි කාලයක්.ඒ කාලෙදි රුසියාව කියන නමත් විප්ලවයේ සංකේතයක්.මේ විදියට රුසියාව ගැන සිංදුවක් ලියලා ,සිංදුවක් කියලා විශ්ව විද්‍යාලය ඇතුලේ විප්ලවකාරයෙක් කියලා  අනවශ්‍ය ලේබල්කරණයක් වුනේ නැද්ද?

නෑ…අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම රුසියන් පොත්පත් කියෙව්වා.සාමාන්‍ය පෙල කාලේ ඉඳලම ” අම්මා, මකාර් චුද්‍රා, වානේ පන්නරය ලබපු හැටි” වගේ කතා අපි පිස්සුවෙන් වගේ කියෙව්වා.අපේ  දෙමව්පියොත් ගොඩක් පොත් කියවපු අය.ඒ නිසා අපට රුසියන් පොත පත ගැන ගෞරවනීය හැඟීමක් තිබුනා.අපේ  ගෙවල්වල ගොඩක් පොත්පත් තිබුනා.ඉස්සර රුපියල් දෙකේ සාහිත්‍යය කියලා කිව්වේ රුසියන් සාහිත්‍යයට.ඒ කිව්වේ ලාබෙට ගන්න පුලුවන් පොත් නිසා.මිලත් අඩු නිසා අපි ඒ පොත් ගොඩක් කියෙව්වා .ඒ නිසා අපට රුසියන් ආභාශය සහිත ගීතයක් ලියන්න ලොකු උවමනාවකුත් තිබුනා. ඒ හැර විප්ලවකාරයෙක් වෙන්න ඕන වුනේ නෑ.

6.අසූව දශකය අග භාගය හා අනූව දශකයේ මුල් භාගය කියන්නේ විවිධ වයස් පරතරවල දේශපාලන වශයෙන් ඉහල දැනුමක් තිබුනු කලාවට ආදරේ කල පිරිසක් කොලඹ කැම්පස් එකෙත් හිටි කාලයක්.ඒ පරිසරය ගැන දැනුනේ කොහොමද?

මම හිතන්නේ ඒ කාලේ තමයි හොඳටම කට්ට කාලා පදම් වෙලා ආපු ළමයි කැම්පස් එකේ හිටියේ.ඉස්සර දැන් සයන්ස් එක තියන පැත්තේ තමයි හැමෝටම වගේ ලෙක්චර්ස් තිබුනේ. KG හෝල් එකට ආර්ට් එකේ අයත් ලෙක්චර්ස් ආවා. KG එකයි පිසික්ස් එකයි අතර පීච්චම කියලා අපේ කැන්ටින් එක තිබුනේ.ඒකේ ඇතුලේ ඉඳන්, තෙල් බැම්මේ ඉඳන් තමයි අපි කලාව, දේශපානය ගැන කතා කලේ.සයන්ස් අය කියලත් වෙනසක් නෑ…සයන්ස් එකේ කොල්ලෙක් තම අපේ ඔකෙස්ට්‍රා එක ලීඩ් කලෙත්.මෙහෙමයි ඒ කාලෙත් ලෙක්චර්ස් ගිය අය හිටියා.ඒත් අපි ගියේ නෑ.අපි අරහේ මෙහේ ඉඳන් පොත්පත් කියෙව්වා. චිත්‍ර පටි , නාට්‍ය බලන්න ගියා.හැමදාම ලෙක්චර්ස් ගියපු අය දැන් ෆස්ට් ක්ලාස් අරන් ප්‍රාදේශීය ලේකම්ලා. (සිනාවෙයි)ක්ලාස් ඕන වෙන මොකුත් ම කරගන්න බැරි ලමයින්ට මිසක වෙන හැකියාවන්  තියන  ලමයින්ට ක්ලාස් එක්ක ඩිග්‍රී නැතුවට කමක් නෑ.

අපි ඉතින් අපිට කන්න ඕන නිසා කැන්ටිමේ ම කොනක අපිම බුලත් විඩ විකුණා, විකුණා මේ වගේ ගීත හදන්න, ෆිල්ම් ෆෙස්ටිවල් තියන්න, නාට්‍ය පෙන්නන්න, කලා උලෙලවල් තියන වැඩ සංවිධානය කලා.(සිනාසෙයි) කලාව ,දේශපාලනය ගැන අපි එකතු  වෙලා තර්ක විතර්ක, සංවාද කලා.අද කැම්පස් එකේ ලමයින්ට ඉතින් නිදහසේ ආදරේ කරන්න වත් වෙලාවක් නැතිව ඒ වගේ ඒවට කොහෙත්ම වෙලාවක් නැතුව ඇති.ආදරේ කරන අතරෙත් ෆේස් බුක් ගිහින් ලයික් දාන්න තියනවනේ.(සිනාසෙයි).ඒ කාලේ හොඳට රැග් එක තිබුනා.දැන් ඉතින් ඉස්සර වගේ රැග් එහෙමත් නැහැනේ.කොහොම වුනත් ඒ කාලේ කැම්පස් එක අද දකින කැම්පස් එකට වඩා ගොඩක් සුන්දරයි.

7.ඒ කියන්නේ වර්ථමාන විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවගේ කලාව හා සාහිත්‍යයට නැඹුරුතාවක් අඩුයි කියලා අපි  නියෝජනය කරන තරුණ පරම්පරාවට ඇඟිල්ල දිගු කිරීමක් ද?

නෑ…දැනුත් හොඳ නිර්මාණ කරනවා.වර්තමාන තරුණ පරම්පරාවේ ප්‍රමුකතා ලැයිස්තුව,වටිනාකම් හර පද්ධතිය අපේ තරුණ කාලෙට වැඩිය වෙනස්.ඒකට කාටවත් බනින්න බෑ.දැන් කාලේ අයගේ රොමෑන්ස් එක අපට අහුවෙන්නේ නෑ.ඒ ඒ යුගවල අදහස් ඒ ඒ යුගවල පාලක පන්තියේ අදහස් කියනවලුනේ.දැන් ලමයි ගැඹුරු පොත් පත් කියවන්නේ නෑ.අනිත් හේතුව දැන් ගීතය ගැන විද්වත් කතිකාවතක් වෙන්නේ නැති තරම්.පියසීලී ,ගම්ලත්ගෙනුයි පස්සේ ඒ අඩුව හරියට පිරවුනේ නෑ කියලා හිතෙනවා.ඊට පස්සේ සරත් විජේසූරිය,සෞම්‍ය ලියනගේ දේශපාලනය පැත්තට විසි වෙද්දී සාහිත්‍ය කාලාව කියන තැන රික්තකයක් ඇති වුණා.ඒ රිත්තකේ ඒ හැටි හොඳට පිරවුනෙ නෑ.අපිට සුනිල් ශාන්ත වෙන්න බෑ.අපිට  සේකර වෙන්න බෑ.ඒ වගේ ඔයාලගේ පරම්පරාවට අපි වෙන්න බෑ.ඒ නිසා ඔයාලට ඒකට ඇඟිල්ල දිගු කරලා වැඩකුත් නෑ.

8.හැකියාවට ගැලපෙන තැනක නතර වුනා කියලා හිතනවද?ඊට පස්සේ මේ වගේ සුන්දර නිර්මාණ කරන්න පෙලබුනේ නැද්ද?මට හිතෙන්නේ අප්‍රකට ජීවිතයක් ගත කරනවා කියලා.ඒ ඇයි?

අප්‍රකට ජීවිතයක් ගත කරන්නේ ප්‍රකට වෙන්න කැමති නැති නිසානේ.(සිනාසෙයි).මෙහෙමයි ඔතන තියෙන්නේ පරම්පරා කිහිපයක වෙනසක්.අපේ පරම්පරාව නිර්මාණ කලේ ආත්ම වින්දනයට.අපි අපේ අතින් සල්ලි වියදම් කරගෙන නිර්මාණ කලේ.අපේ කාලේ කලාවෙන් සල්ලි හම්බ කලේ නෑ.අද කාලේ තමයි සිංදු කියලා සල්ලි හොයන්නේ.අපි සිංදු කියලා සල්ලි හොයන  පරම්පරාවට ගැලපෙන්නේ නෑ.අපිට ඒ පරම්පරාවේ ටිකක් රැඳෙන්න අමාරුකමක් තියනවා අපි හිතන විදිය වෙනස් නිසා.ඒත් තාමත් හැම පරම්පරාවක් අතරම ඉවාන් පවුලුශා ගීතය එක වගේ ජනප්‍රියයි.අපි කරන දෙයින්  , අපි කල දෙයින් අපි සන්තෝශයි.ඊට පස්සේ ගීත කිහිපයක් කලා.ඒත් අපි  වර්තමාන ගීත රැල්ලට ගියේ නෑ.

9.”ඉවාන් පාවුලුශා” ගීතය පරම්පරා වෙනසක් නැතුව තවමත් හැමෝම ආදරේ කරන ගීතයක්.රැල්ලට නොගියත් තරුණ පරම්පරාව ඒ ගීතයට දක්වන ලෙන්ගතුකම මොන විදියට ද දැනෙන්නේ?

ඔව්.මෙහෙමයි අද අපිට ලැබෙන පද රචනාවල ගුණාත්මක තත්වය අඩු යි.ඒ වගේ ගීතයකට අපිට ආයෝජනය කරන්න හිතෙන්නේ නෑ.”ඉවාන් පාවුලුශා” ගීතය ලියද්දිත් පද රචනා කිහිපයක් අතරෙන් චාරුකගේ පද රචනය තෝරා ගත්තේ.අපි ගොඩක් සංවාද කරලා සංගීත නිර්මාණය පවා කලේ.එතකොට මේ ගීතයේ ගුණාත්මක බව වැඩියි.ඒකයි තාමත් ඒ ගීතය ජනප්‍රිය.ඒකයි මිනිස්සුන්ට තාමත් මතක.අපට  ඒක සතුටක්.වර්තමානේයේ දී බහුතරයක් කරන්නේ තනුවට වචන දාන එක.එතකොට දැන් සිංදු මිනිස්සුන්ට මතක හිටින් නෑ.හැබැයි ඒකම තමා වර්තමාන ගීතයේ වාසනා ගුණයත්.එකම පද පේලී හැම අලුතෙන්ම එන සිංදුවේ ම තිබුනත් මිනිස්සුන්ට වෙනස 

10.ඒ යුගයේ විශ්ව විද්‍යාලයේ හිටිය දැනට කලාවේ හෝ දේශපාලනයේ ඉහල තැන් වල ඉන්න සමකාලීනයෝ එක්ක තාමත් සම්බන්ධතා තියද?

මොකද නැත්තේ…අපි ගොඩක් අය තාමත් ඉඳලා හිටලා සෙට් වෙනවා පුංචි පුංචි සාද වලට හිටිය ගමන් හැන්දෑවට.(සිනාසෙයි).ඒත් අපි තුන් දෙනා කැම්පස් එකින් අවුට් වුනාට පස්සේ කැම්පස් එක ඇතුලේදිම හමුවෙන්නේ අවුරුදු දහයකට , පහලොවකට විතර පස්සේ අද.අපි ආයෙත් මුණගැස්සුවට ඔයාලට  ස්තූති කරන්න ඕන.

ගීතය:

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ…//

ඉවාන් පවුළුෂා… ඉවාන් පවුළුෂා…
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ…

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ…//

ඉවාන් පවුළුෂා… ඉවාන් පවුළුෂා…

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා…//
ඉවාන් පවුළුෂා….ඉවාන් පවුළුෂා….

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..
කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද…//
ඉවාන් පවුළුෂා… ඉවාන් පවුළුෂා…
ඇයි හොරැහින් මදෙස බලන්නේ..
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ…
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ…

ගායනය – අප්සරා ද සිල්වා
සංගීතය – ප්‍රියන්ත ඩිරෙක්ස්
පද රචනය – චාරුක සුරවීර

(අප විසින් සිදු කල ඉතා කෙටි ඇරයුම පිලිගෙන Colombo Beacon සමඟ සොඳුරු කතාබහට එක් වූ ප්‍රියන්ත ඩිරෙක්ස් මහතාට,චාරුක සුරවීර මහතාට,අප්සරා ඩී සිල්වා මහත්මියට “Colombo Beacon” වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු)

කතාබහ : යශෝද සොයිසා,ජයනි කල්පනා,විශ්වරංගි හෙට්ටි ආරච්චි,හිමාල් මෙලන්ක,කසුන් ගුණවර්ධන

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment