විශේෂ දිනයන්

උදුරාගත් යෞවනයේ නොමියෙන මතකය

ජීවිතය කියන්නේ හීන ගොන්නක්. මනසින් ගොඩ නගන හැම හීනයක්ම යතාර්ථයක් කරගන්නට පුළුවන් වෙන්නෙ කීයෙන් කීදෙනාටද? සමහර හීන, හීනයක්ම වන අවස්තා ද නැතුවාම නොවේ. ඉතින් මේ සටහන අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න සිදු වුවත්, තමන්ගෙ හීන ජීවමාන කරගන්නට හැකි වූ කෙනෙක් පිළිබදව. ඒ ලෝක ප්‍රසිද්ධ දින පොතක හිමිකාරියක වූ ඈන් ෆ්‍රෑන්ක් මෙනෙවිය ගැන.

ඇය දිනපොත් ලිවීම ඇරඹුවේ 1942 දීයි. ඒ කියන්නේ ‘කිටී’ දිනපොතට මේ අවුරුද්දට අවුරුදු 78ක් පිරෙනවා. ඈන් ෆ්‍රෑන්ක්ගේ උපන්දිනය යෙදී තියෙන්නෙත් ජුනි 12 දිනටයි. ඒ නිසාමයි ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ දින පොත ගැන කතා කරන්න හිතුවේ.

1929 ජුනි 12, (අදින් වසර 91කට පෙර) ජර්මානු ජාතික යුදෙව් පවුලක, ඔටෝ ෆ්‍රෑන්ක්ට හා එඩිත් ෆ්‍රෑන්ක්ට දාව, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි දී මෙලොව එළිය දකින ඇය නමින් ඇනිලීස් මේරි ෆ්‍රෑන්ක්‍. පවුලේ බාලයා වූ ඈන්ට, ඇයට වඩා වයසින් අවුරුදු තුනක් වැඩිමහල් සහෝදරිය, මාර්ගෝ ෆ්‍රෑන්ක් ය.

1933 මාර්තු 13 වැනි දින ජර්මනියේ නාසි (Nazi Party) පක්‍ෂය ජය ලබා ඇඩොල්ෆ් හිට්‌ලර් රාජ්‍ය පාලනයේ සියලු බලතල තමා සතු කරගනිද්දී බොහෝ ජර්මානුවාසීන් භීතියෙන් ඇලලී යනවා. ඔහු තම විරුද්ධ පාක්‍ෂිකයන්, ආබාධිතයන් සහ ජර්මන් ආර්යයන් නොවූ සියලුම යුදෙව් ජාතිකයින් ද සමූල ඝාතනය කිරීමේ බිහිසුණු ක්‍රියාව ආරම්භ කරනවා. ඔහු මේ සඳහා යොදාගත්තේ ගෙස්‌ටාපෝ (Gestapo) නම් වූ රහස්‌ පොලිස්‌ සේවාව. මේ නිසාම ෆ්‍රෑන්ක් පවුල ෆ්‍රෑන්ක්ෆර්ට් සිට නෙදර්ලන්තයට පලා යනවා. වර්ෂ 1940 මැයි මස වන විට, ජර්මනිය, නෙදර්ලන්තය යටත් කර ගන්නා අවස්ථාවේදී ඔවුහු ඈම්ස්ටර්ඩෑම්හි කොටුවෙනවා.

උපන් දිනයක් කියන්නෙ පුංචි දරුවෙකුට හරි ලස්සන දවසක් වගේම ගොඩක් සතුටු දවසක්. ඒ එයාලට එදාට හිත පිරෙන්න තෑගි ලැබෙන නිසා. ඈන්ටත් ඒ වගේමයි. ඈන්ගේ 13 වැනි උපන්දිනයට ඇයට තෑගි ගොඩක් ලැබුනත්, ඒ හැම තෑග්ගකටම වඩා ඈන්ගෙ හිත ඇදිල යන්නේ ඇගේ දෙමව්පියන් දුන්නු තෑග්ගට. ඒ තමයි ඇයට උපන්දිනය දා ලැබුණු හොඳම තෑග්ග. ඒ මොකක්ද දන්නවද? ඒ තමයි රතු හා සුදු කොටු වැටුණු රෙදි කවරයකින් ආවරණය කළ තද කවරය සහිත දිනපොතක්.

ඉන්පසු ඈන් දිනපොතේ සටහන් තබන්න පටන් ගන්නවා. ඇය මේ අපූරු දින පොතට ‘කිටී’ යැයි නමකුත් තබනවා.

“මගේ හිතට එන හැමදෙයක්ම හිතන්නෙ නැතුව ඔයාට කියන්න පුළුවන් වෙයි කියල මං හිතනවා. මං මගේ හිතේ තියෙන දේවල් කවදාවත්ම කාටවත් කියල නෑ. ඒ නිසා ඔයා මගේ හිත සනසන, මට උදව් කරන හොඳම යාළුවෙක් වෙයි කියල මං විශ්වාස කරනවා”

ඈන් කිටී දිනපොතේ තබන පළමු සටහන එයයි. ඒ 1942 ජුනි 12 දිනයයි.

වර්ෂ 1942 ජූලි මස වන විට යුදෙව්වන්ට එරෙහි වධ හිංසා තවදුරටත් වැඩි වෙමින් පැවති නිසා ඈන් ඇගේ පියා වැඩ කල ගොඩනැගිල්ලේ පිහිටි රහස් කාමරයක සැඟවෙනවා. එහෙත් අවාසනාව නොහිතූ පරිදි ෆ්‍රෑන්ක් පවුල සොයා එන්නේ ගෙස්ටාපෝ පොලිස් සේවයට ෆ්‍රෑන්ක් පවුල ගැන ලැබුණු ඔත්තුවත් එක්ක. ඈන් තම දිනපොතේ අවසාන සටහන තබා ඇත්තේ 1944 අගෝස්‌තු මස පළමුවැනිදා. අගෝස්‌තු 4 වැනි දා, ෆ්‍රෑන්ක්‌ පවුල ගෙස්‌ටාපෝ රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නවා. 1944 සැප්තැම්බර් මාසයේ දී දින 3ක අප්‍රසන්න දුම්රිය ගමනකින් අවුෂ්විට්‌ස්‌ (Auschwitz) වධ කඳවුර වෙත අනෙකුත් යුදෙව් සිරකරුවන් සමඟ පිටත් කරනවා. මේ දුම්රිය ගමනේදී ඈන්ට හා පවුලේ අයට ඔටෝ ෆ්‍රෑන්ක්ගෙන් වෙන් වෙන්න සිදුවෙනවා. එතැන් පටන් අවුෂ්විටිස් වධකාගාරයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දෙන ෆ්‍රෑන්ක් සොයුරියන් දෙදෙනා, ඔක්‌තෝබර් මස 28වන දින තවත් අටදහසක්‌ කාන්තාවන් සමග ‘Bergen Belsen’ සිර කඳවුරට මාරුකර යවනවා. මේ අතර ඈන්ගේ මව අවුෂ්විට්‌ස්‌ කඳවුරේ දී නිරාහාරවම අවසන් සුසුම් හෙලනවා. වර්ෂ 1945 මාර්තු මාසයේදී කඳවුරේ සිටි සිරකාරියන් හට ටයිෆස්‌ (typhus) නම් වූ උණ වසංගතයක්‌ වැළඳෙනවා.

වර්ෂ 1945 දී අවාසනාවන්ත ලෙස ටයිෆස් රකුසාට බිලිවෙන ඈන් හා ඇගේ සොයුරිය, සදහටම ජීවිතෙන් සමුගන්නේ බ්‍රිතාන්‍ය හමුදාවන් මගින් සිරකරුවන් ගලවාගන්නට දින කිහිපයකට කලින්. ෆ්‍රෑන්ක් පවුලේ දිවි ගලවා ගත් එකම කෙනා ඈන්ගෙ තාත්තා ඔටෝ ෆ්‍රෑන්ක්, යුද්ධයෙන් පසු වර්ෂ 1947 දී ඈම්ස්ටර්ඩෑම් වෙත පැමිණි අවස්ථාවේදී එතෙක් සුරැකිව පැවති ඈන්ගේ දිනපොත සොයා ගන්නවා.

කුරිරු යුද්ධය නිසා ඈන් ජීවිතයෙන් සමුගත්තත්, ඇය ලියූ ‘කිටී’ දිනපොත මිය යන්නේ නැහැ. වර්ෂ 1942 ජුනි මස 12 වැනි දින සිට වර්ෂ 1944 අගෝස්‌තු මස 01 දා දක්‌වා ලියවුණු ඈන්ගේ දින පොත, ඇගේ ජීවිතයේ දුක්‌ඛ දෝමනස්‌සයන් පමණක්‌ නොව ඇඩොල්ෆ් හිට්‌ලර්ගේ නපුරු නාසිවාදී පාලනය ගැන ද බොහෝ දේ ලොවට හෙළිකරනු ලැබුවා. කුඩා කල නිළියක්‌ වීමේ සිහිනය සිත දරා සිටි ඈන්ගේ පසුකාලීන සිහිනය වී තිබුණේ පුවත්පත් කලාවේදිනියක වීම බව කිටී සාක්ෂි දරනවා.

දෙවන ලෝක යුධ සමයේ සැබෑ තතු ඉතා අනුවේදනීය ලෙස සටහන් කර තිබූ කිටී, පළමු වරට 1947 දී ලන්දේසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වෙනවා. ඒ ඈන්ගේ තාත්තාගේ මූලිකත්වයෙන්. ඔටෝ ෆ්‍රෑන්ක් ඈන්ගේ පියා වුවත්, තම දියණියගේ හැඟීම් හඳුනා ගන්නේ කිටීගේ උපකාරයෙන්. ඉන්පසු ක්‍රමයෙක් ඈන්ගේ දිනපොත ලොව පුරා ජනප්‍රිය වෙනවා. එය ලෝකයේ විවිධ භාෂා රැසකට පරිවර්තනය වෙනවා. එහි නියම ප්‍රකාශිත භාෂාව වූ ලන්දේසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කර 1952 වර්ෂයේ දී ‘යෞවනියකගේ දිනපොත’ ලෙස ප්‍රකාශයට පත් කරනවා. එපමණක් නොව, ඈන් සැඟව සිටි ඇම්‍ස්ටර්ඩෑම්හි පිහිටි නිවස කෞතුකාගාරයක් බවට පත් කරනවා. ඒ නිවස අද ලොවපුරා සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. අදටත් ඈන් නොමැතිවුවත්, ‘කිටී’ තවමත් ඇම්ස්ටර්ඩෑම් නිවසේ ජීවත්ව සිටිනවා. ඈන් වෙනුවෙන් නෙදර්ලන්තයේ ස්ථාන කීපයකම ඇගේ ප්‍රතිමා නිර්මාණය වෙනවා. පසුකාලීනව දිනපොත ඇසුරින් චිත්‍රපට, වේදිකා නාට්‍ය ද නිර්මාණය වෙනවා. දිනපොත කියවූ ලෝ පුරා ජනතාව දෙවන ලෝක යුද්ධයේ දී මිය ගිය දස ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන්ගේ සංකේතයක් බවට ඈන්ව හඳුන්වනවා.

යුද්ධය මනුෂ්‍යත්වය කෙලසන, වසංගතයකටත් වඩා පිළිලයක් බව ‘කිටී’ ඈන්ගේ ජීවිතය තුළින් පෙන්වා දෙනවා. ජීවත්ව සිටියානම් ඇය, අද තම ජීවන මගේ 91වන ජන්ම දිනය සතුටින් සමරාවි. ඇය නොමැති වුවත් ඇගේ හොඳම යහළුවා වන ‘කිටී’ ඈන්ගේ උදුරාගත් යෞවනය අද නොමියෙන මතකයක් බවට පත්කර, ඈන්ගේ හොඳම යහළුවා තමා බව මුළු ලොවටම ඔප්පු කර අවසන්.

මේ පුංචි සටහන ඈන්ගේ ඒ 91වන ජන්ම දිනය වෙනුවෙන්.

Image source :
https://pin.it/5tGAPW7    
https://pin.it/1esopZo     

References: Anne Frank Diary

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්මුනි නවෝදා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment