ක්‍රීඩා දැනුම

උපක්‍රමශීලී වේග පන්දු යැවීමේ වමත් දක්ෂයා

රෝමානු කතෝලික භක්තිකයෙකු වූ පූජකවරයෙකු වීමේ කැමැත්ත ඇතිව සෙමනේරියේ අධ්‍යාපනය ලැබීමට ද ගොස් පසුව දෙවියන්ගේ කැමැත්තට ක්‍රිකට් ක්‍රීඩාවට බට ඔහු සුවිශේෂී ක්‍රිකට් තරුවකි.

බොහෝ දෙනෙකු ආදරයට “වාසි” යැයි හඳුන්වන මොහු නමින් චමින්ද වාස් ය. වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසෆ් චමින්ද වාස් වර්ෂ 1974 ජනවාරි 27 දින මන්තුමගල නම් ගමේ දී උපත ලබා ඇත. ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් හිමි කරගෙන කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට ගොස් පසුව සිප්සතර උගෙන ඇති වාස් ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ වර්ෂ 1994 දී එකතු වී ඇත. මොහු තම අන්තර්ජාතික ක්‍රිකට් දිවිය තුළ පළමු වර්ෂයේ දී ම නැපියර් හි දී නවසීලන්තයට එරෙහිව කළ තරගයේ දී ටෙස්ට් ජයක් ලබා ගැනීමට තරම් දක්ෂයෙක් විය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මව් රටින් පිට දී ලබා ගත් ප්‍රථම ටෙස්ට් ජය විය. මේ තරගයේ දී වාස් පළමු ඉණිමේ දී ම 5-42 ද දෙවන ඉණිමේ දී 5-43 ද ලබා ගෙන ඇත.

1994 අගෝස්තු 26 දින පාකිස්තානයට එරෙහිව කළ තරගය වාස්ගේ මංගල ටෙස්ට් තරගය විය. එසේම 2009 ජූලි 20 දින පාකිස්තානයට එරෙහිව කළ තරගය අවසාන ටෙස්ට් තරගය ද විය.

 එක් දින තරග බිමට ද බට වාස්ගේ මංගල එක් දින තරගය 1994 පෙබරවාරි 15 දින ඉන්දියාවට එරෙහිව පැවති තරගය වේ. එසේම 2008 අගෝස්තු 27 දින ඉන්දියාව සමඟ පැවති තරගය වාස්ගේ එක් දින පිටියේ අවසන් තරගය විය.

2001-2002 කාලයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තරගාවලියක දී වාස් කඩුලු 26 ක් ලබා ගෙන ඇති අතර එම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වීය. මෙවැනි දක්ෂතාවන් පෙන් වූ වාස් ඇෆ්‍රෝ ඒෂියා කුසලානයට තෝරාගනු ලැබුව ද තම රටට වී තිබුණු පොරොන්දුව නිසා මොහු ඉන් ඉවත් විය.

2007 ජුනි 26 වාස් තම ප්‍රථම ටෙස්ට් ශතකය බංගලාදේශයට එරෙහිව කොළඹ දී වාර්ථා කරන ලදී. ටෙස්ට් පිටියේ ද හපන්කම් දැක් වූ වාස්, තරගාවලි 111 ක ට සම්බන්ධ වී ඇති අතර ලකුණු 3089 ක් ලබා ඇති පිතිකරුවෙක් ද වන අතර, වේග පන්දු යවන්නෙකු ලෙස වාස් පන්දු යැවීම් 23,438 ක් සහ කඩුලු 355 ක් ලබාගෙන ඇත.

එසේම වාස් දේශීය කණ්ඩායම් රැසක ද ක්‍රීඩා කරමින් ඔහුගේ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත. එනම් 1990 සිට 1991 කාලය තුළ Colts Cricket Club තුළ ද, 2003 වසරේ Hampshire කණ්ඩායමේ ද, 2003-2004 කාලයේ Uva කණ්ඩායමේ ද, 2005 වර්ෂයේ Worcestershire කණ්ඩායමේ ද, 2007 වර්ෂයේ Middlesex කණ්ඩායම තුළ ද, 2007 සිට 2010 දක්වා Deccan Chargers කණ්ඩායමේ ද, 2010 සිට 2012 දක්වා Northamptonshire කණ්ඩායමට සම්බන්ධ වී ක්‍රීඩාවේ නිරත වී ඇත.

එක් දින තරගයක දී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකින් දවාලීමේ වාර්තාව තවමත් හිමි රට ශ්‍රී ලංකාව වන අතර එයට මුල් වූයේ වාස් ය. එනම් 2004 වසරේ සිම්බාබ්වේ සමඟ පැවති තරගයේ දී ලකුණු 35 ක ට දැවී යන්නට සිම්බාබ්වේ කණ්ඩායමට සිදු විය. තරගයේ කඩුලු හතරක් බිඳ දමමින් චමින්ද වාස් එක් දින තරගවල දී කඩුලු 300 සීමාව පසු කරන්නට ද සමත් විය. මෙම තරගයේ දී ශ්‍රී ලංකාව බිඳ දැමූ වාර්තාව නම් දකුණු අප්‍රිකාව පැවති ලෝක කුසලානයේ දී කැනඩාව ලකුණු 36 ක ට දවාලූ ලෝක වාර්තාව වේ.

2003 ICC ලෝක කුසලානයට බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී එක් දින තරගයක දී මුල්ම පන්දු වාරයේ මුල්ම පන්දු තුනට විකට් තුනක් ලබා ගත් පළමු ක්‍රීඩකායා බවට ද වාස් පත් වී ඇත.

ලොව බිහිවූ විශිෂ්ටම වමත් වේග පන්දු යවන්නෙකු වූ වාස් එක් දින තරග 322 ක දී කඩුලු 400 බිඳ දමමින් ශ්‍රී ලංකාවේ වැඩිම කඩුලු ගණනක් බිඳ දැමූ වේග පන්දු යවන්නා බවට ද පත් විය. එසේම ලකුණු 2025 ක් ද රැස් කර ඇත. අදටත් එක් දින තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව වන ලකුණු 19 ට කඩුලු 8 ක් බිඳ හෙලූ ක්‍රීඩකයා වන්නේ ද වාස් ය. තව ද මොහු 1996 ලෝක කුසලාන ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ප්‍රබල සාමාජිකයෙක් ද වේ.

වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගත් පසු 2012 වසරේ නවසීලන්තයේ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද, 2013 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද, කටයුතු කළ අතර 2015 දී එම තනතුරෙන් ඉල්ලා අස් වූ වාස් 2016 වසරේ අයර්ලන්ත වේග පන්දු පුහුණුකරු ලෙස ද, එම වසරේම නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු බවට ද පත් වීම් ලබා ඇත.

ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ විවිධ ජයග්‍රහණ උරුම කර ගනිමින් ලෝකයේ ලාංකේය ක්‍රිකට් නාමය නොමැකෙන ලෙස සටහන් තැබූ වේග පන්දු ශූරයාණනි, ඔබගේ 48 වැනි උපන් දිනයට Colombo Beacon අපි සුබම සුබ උපන් දිනයක් වේවා! යි පතන්නෙමු.

Design by : Pramodya Madhushani

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තුෂාරි සංජීවනී

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment